විශාල් රන් සටන සියතට ගනී

26th Battle of the Gold

161

වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර 26 වැනි වරටත් පැවැති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව පසුගියදා නිමා වූවා. යසරත්න තෙන්නකෝන් අභියෝගතා පළිහ වෙනුවෙන් පැවැත්වෙන මෙම තරග මාලාවේ විසඳුමකින් තොරව අවසන් වූ 22 වැනි තරගය මෙයයි.

මෙම තරගමාලාවේ මෙතෙක් පැවැති තරග අතුරින් ශ්‍රී සුමංගල විද්‍යාලය අවස්ථා 4ක දී ජයග්‍රහණ ලබා ඇති අතර ශ්‍රී රාහුල විද්‍යාලයට මෙතෙක් තරගයක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව උදා වී නැහැ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී රාහුල විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 303ක් ලබා ගනිමින් තම ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී ශ්‍රී සුමංගල විද්‍යාලයට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 159ක් පමණයි.

ප්‍රතිවාදින් ඉදිරයේ තවත් ලකුණු 144ක් පිටුපසින් සිට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 145ක් ලබා සිටියා.

මෙම තරගයේ දී ශ්‍රී රාහුල විද්‍යාලයීය නායක විශාල් ගාර්දිවසම් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.

26th Battle of the Gold, පල්ලෙකැලේ, 08-09 අප්‍රේල් 2024

o කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: භානුක දිසානායක (නායක සහ කඩුලු රකින්නා), තුවාන් රසින්, තෙමුර භාශ්වර, නිමේෂ් සෙනවිරත්න, නිම්සර රණසිංහ, මොවිඳු දිනෙත්, නිහාර ඒකනායක, විසල් භාරත, සවිඳු චානුක, සයුරංග විජේරත්න, චමෝද් සෙනෙවිරත්න.

ශ්‍රී රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: විශාල් ගාර්දිවසම් (නායක), කනිශ්ක ප්‍රභාත්, ගගන කවිශාන්, තවීෂ ශෙනාල්, දිනෙත් අබේසේකර, කාව්‍ය අශාන් (කඩුලු රකින්නා), අතීක්ෂ රත්නායක, සුමේධ ප්‍රසාද්, කවිඳු තියුම්, කවීෂ ගීත්, පහන් බණ්ඩාර.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී සුමංගල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඔවුන්ගේ එම තීරණය අභියෝගයට ලක් කළේ ලකුණු 303ක් ලබා ගනිමිනුයි. ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් අහිමි වූයේ කඩුලු 6ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක විශල් ගාර්දිවසම්. ඔහු පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 149ක් ලබා ගත්තා.

ඔහුගේ එම ගමනේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් තවීෂ ශෙනාල් සමඟ එක් වෙමින් ලකුණු 58ක සබඳතාවක් ද, දිනෙත් අබේසේකර එක් ව සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් ද සහ කාව්‍ය අශාන් සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113ක සබඳතාවක් ද එක් කිරීමට පෙරමුණ ගත්තා.

දිනෙත් අබේසේකර පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ද, දිනෙත් අබේසේකර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද සහ කාව්‍ය අශාන් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් එම සබඳාවලට එක් කළා.

ශ්‍රී රාහුල ඉනිම පාලනය කිරීම සඳහා පන්දු යවන්නෝ 9 දෙනෙක් යොදා ගත් අතර ඒ අතුරින් වඩාත් සාර්ථක පන්දු යවන්නා බවට පත් වූයේ සවිඳු චානුක යි. ඔහු ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත්තා.

ඊට අමතර ව නිමේෂ් සෙනෙවිරත්න, තුවාන් රසින්, සයුරංග විජේරත්න සහ මොවිදු දිනෙත් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 159කට සීමා කිරීමට ශ්‍රී රාහුල විද්‍යාලය සමත් වූවා. එහි දී නැවත වතාවක් ක්‍රියාත්මක වීමට විශල් ගාර්දිවසම් පෙරමුණ ගත්තා. ඔහු ප්‍රතිවාදී කඩුලු 3ක් ලකුණු 23කට දවා ගන්නවා.

ඊට අමතර ව දිනෙත් අබේසේකර සහ තවීෂ ශෙනාල් කඩුලු 2ක් බැගින් ද සහ කවීෂ ගීත් සහ සුමේධ ප්‍රසාද් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මොවිඳු දිනෙත්. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගන්නවා. ඊට අමතර ව නායක භානුක දිසානායක ද පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.

ලකුණු 144ක් පිටු පස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා නැවත වතාවක් පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය එවර සාර්ථක ඉනිමක් ක්‍රියාත්මක කිරීමට සමත් වූවා. තරගය අවසන් වන විට ඔවුන්ගේ ඉනිම දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 145ක් ලෙසයි.

එහි දී නිහාර ඒකනායක පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.  ඔහු නායක භානුක දිසානායක සමඟින් එක් වෙමින් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 58ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වෙනවා.

භානුක දිසානායක පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුනු 39ක් ලබා ගන්නවා. ඊට අමතර ව විසල් භාරත් ද පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගනිමින් එම ඉනිම සුරක්ෂිත කිරීම සඳහා දායකත්වය දක්වනවා.

කඩුලු දවා ගැනීමේ දී දිනෙත් අබේසේකර, පහන් බණ්ඩාර සහ විශල් ගාර්දිවසම් කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු ලකුණු පුවරුව

ශ්‍රී රාහුල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 303 (69.3) තවීෂ ශෙනාල් 43, විශල් ගාර්දිවසම් 149, දිනෙත් අබේසේකර 34, කාව්‍ය අශාන් 35, සවිඳු චානුක 2/52

 

ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 159 (60.2) නිමේෂ් සෙනවිරත්න 25, මොවිඳු දිනෙත් 31, භානුක දිසානායක 27, විශල් ගාර්දිවසම් 3/23, දිනෙත් අබේසේරක 2/19, තවීෂ ශෙනාල් 2/19

 

ශ්‍රී සුමංගල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 145 (55.0) නිහාර ඒකනායක නොදැවී 44, විසල් භාරත් 21, භානුක දිසානායක 39, දිනෙත් අබේසේකර 1/26

 

තරගයේ විසඳුමක් නෑ.