රශ්මිකා, චමෝදි සහ දෙව්මි එක් ව එංගලන්තය වනසා දමයි

Sri Lanka Tri-Nation Women's Under-19s ODI Tournament

100

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් සහභාගී වු තුන් කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (09) නිමා වු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 108ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ඔවුන් පෙර පැවැති ඔස්ට්‍රේලියාව හා සමඟ තරගයෙන් ලකුණු 88ක පරාජයක් ලබමිනුයි මෙම තරගය හා එක් වූයේ. එමෙන් ම එංගලන්තය ද මෙම තරගය හා එක්වෙන්නේ ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 2ක පරාජයකට මුහුණ දෙමිනුයි.

3rd Match, ගාල්ල, 09 අප්‍රේල් 2024, Sri Lanka Tri-Nation Women’s Under-19s ODI Tournament

o කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල.

මෙම තරගයේ දී පෙර සහභාගී වූ ඔස්ට්‍රේලියාව හා සමඟ තරගයට එක් වූ අශානි කෞෂල්‍යා, දැහැමි සනෙත්මා, හිරුණි හංසිකා වෙනුවට එංගලන්තය හා තරගයට විමෝක්ෂා බාලසූරිය, රිස්මි සංජනා සහ යසන්ති නිමන්තිකා කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම: මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), විමෝක්ෂා බාලසූරිය, දෙව්මි විහංගා, රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, රිස්මි සංජනා, ශෂිනි ගිම්හානි, චමෝදි ප්‍රබෝධා, යසන්ති නිමන්තිකා.

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:  Jodi Grewcock (නායිකාව), Davina Perrin, Abi Norgrove, Amu Surenkuma, Katie Jones, Charis Pavely, Maddie Ward (කඩුලු රකින්නිය), Sophia Smale, Mary Taylor, Alexa Stonehouse, Ava Lee.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක් වූයේ රශ්මිකා සෙව්වන්දි. ඇය පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා විසින් ලකුණු 27ක් බැගින් ලබා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනා. සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා විසින් එම කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 63ක්.

කඩුලු ලබා ගැනීමේ දී Charis Pavely, Amu Surenkuma සහ Sophia Smale කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිම ලකුණු 118කට සීමා කිරීමට ශ්‍රී ලංකා යෞවනියෝ සමත් වූයේ 24 වැනි පන්දුවාරයේ දීයී. එහි දී වමතින් දඟ පන්දු යවන චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තා. ඇයත් සමඟින් එක් වූ දකුණතින් පිට දඟ පන්දු යවන දෙවිම් විහංඟා ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත්තා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වූයේ නායිකා Jodi Grewcock. ඇය පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. ඊට අමතර ව Amu Surenkuma පන්දු 26කට හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 226 (48.4) සංජනා කාවින්දි 27, සුමුදු නිසංසලා 27, මනුදි නානායක්කාර 25, දෙවිම් විහංඟා 25, රශ්මිකා සෙව්වන්දි 59, Amu Surenkuma 2/21, Sophia Smale 2/34, Charis Pavely 2/16

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 118 (23.3) Jodi Grewcock 26, Amu Surenkuma 25, දෙවිම් විහංඟා 4/34, චමෝදි ප්‍රබෝධා 5/42

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 108ක ජයක්.

 

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<