සංජනා කාවින්දි ගේ අර්ධ ශතකය අපතේ යයි

57
Women’s U19 Tri-Nation Series

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 88ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 228ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 140ක් පමණයි.

1 වැනි තරගය, ගාල්ල, 05, අප්‍රේල් 2024, Sri Lanka Tri-Nation Women’s U 19 ODI Tournament

o කාසියේ වාසිය – ඔස්ට්‍රේලියාව

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මනුදි නානායක්කාර (නායක), සංජනා කාවින්දි, අශානි කෞශල්‍යා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දෙවිම් විහංගා, දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, හිරුණි හංසිකා, ශෂිනි ගිම්හානි, චමෝදි ප්‍රබෝධා.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Amy Smith (නායක), Kate Pelle (කඩුලු රකින්නිය), Grace Lyons, Lucy Hamilton, Ella Briscoe, Hasrat Gill, Eleanor Larosa, Tegan Williamson, Maggie Clark, Sienna Eve, Bonnie Berry.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුල්ල ලකුණු 9 දී දවා ගැනීමට ශ්‍රී ලංකා යෞවනියෝ සමත් වූව ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක සබඳතාවක් එක් කරගනිමින් සංචාරක ක්‍රීඩිකාවෝ තරගයට අවතීර්ණ විමට සමත් වූවා.

Grace Lyons සහ Lucy Hamilton අතර වූ එම සබඳතාව බිඳ වැටෙන්නේ Grace Lyons පන්දු 66ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියදීයි. අනතුරුව ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් Lucy Hamilton පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 80ක් ලබා ගනිමින් 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා.

කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා සහ ශෂිනි ගිම්හානි කඩුලු 3 බැගින් දවා ගන්නවා. ඊට අමතර ව හිරුණි හංසිකා කඩුලු 2ක් ද සහ දෙව්මි විහංගා කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 16ක් වෙද්දී දවා ගැනීමට සංචාරක පන්දු යවන්නියෝ සමත් වූවා. අනතුරුව සිවු වැනි කඩුල්ල සඳහා එක් වූ ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි සහ නායිකා මනුදි නානායක්කාර විසින් ලකුණු 28ක සබඳතාවක් එක් කරමින් කණ්ඩායමේ ලකුණු පුවරුව යම් තරමකට ගොඩ නැගුවා.

නමුත් මනුදි නානායක්කාරගේ ඉනිම ලකුණු 10කට සීමා වූවා. අනතුරුව ඉනිමේ 7 වැනි කඩුල්ලට එක් වූ සංජනා කාවින්දි සහ රශ්මි නේත්‍රාංජලී නැවත වතාවක් ශ්‍රී ලංකා ඉනිම ගොඩ දැමීමට වෙහෙස වූවා. ඔවුන්ගේ සබඳතාව ලකුණු 39ක් බවට පත් වෙද්දී රශ්මි නේත්‍රාංජලී ගේ ඉනිම ද අවසන් වූවා. ඇය දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.

අනතුරු ව ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් එතෙක් වේලා තම කණ්ඩායම ගොඩ නගමින් සිටි වමත් පිතිකාරිනී සංජනා කාවින්දි ද ඉනිම හැර ගියා. ඇය ඒ වෙද්දී පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී හිරුනි හංසිකා පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමට තවත් පන්දුවාර 6ක් ඉතිරිව තිබිය දී දවාගත් ඉනිමේ වැඩිම කඩුලුලාභිනියන් බවට පත් වූයේ ආරම්භක පන්දු යවන්නියන් වූ Bonnie Berry සහ Lucy Hamilton. ඔවුන් දෙදෙනා එක් ව කඩුලු 3ක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 228 (48.5) Grace Lyons 39, Lucy Hamilton 80, Ella Briscoe 27, Hasrat Gill 29, චමෝදි ප්‍රබෝධා 3/34, ශෂිනි ගිම්හානි 3/48, හිරුණි හංසිකා 2/38

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 140 (44.0) සංජනා කාවින්දි 54, රශ්මි නේත්‍රාංජලී 16, හිරුණි හංසිකා නොදැවී 22, Bonnie Berry 3/19, Lucy Hamilton 3/18

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 88ක ජයක්.

ශ්‍රී ලංකාව සහභාගී වෙන මීලඟ තරගය මේ මස 9 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්විමට නියමිතයි. තරගයේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්ත කණ්ඩායමයි.

Sri Lanka Tri-Nation Women’s වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<