පසිඳූ සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

SLC National Super League 4 Day Tournament 2024

88

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති Galle සහ Jaffna අතර තරගයේ දී Galle කණ්ඩායම නියෝජනය කරන පසිඳු සූරියබණ්ඩාර ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වූවා.  

24 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර අද රැස් කළේ තම තරග 36ක් වන පළමු පෙළ තරග දිවියේ 2 වැනි ද්විත්ව ශතකයයි. ඔහු අද තරගයේ දී පන්දු 346කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 242ක් ලබා ගත්තා. 

මෙම ඉනිම ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම ඉනිම බවට ද පත් වූ අතර ඊට පෙර ඔහුගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2023 වසරේ පැවැති National Super League තරගාවලියේ Kandy කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නොදැවී ලබා ගත් ලකුණු 214යි. එම ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 341කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 18ක් එක් කර තිබුණා.  

17 වැනි තරගය, කොළඹ, අප්‍රේල් 04 – 07, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Jaffna 
  • ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ. 

තරගයේ පළමු දිනය අවසන් වෙද්දී තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 312ක් ලබා සිටි ගාලු ක්‍රීඩකයෝ අද දවස අවසානයේ දී තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 711ක් ලබා සිටියා.  

පෙර දිනයේ දී සිවු වැනි කඩුල්ලට ලකුණු 126ක සබඳතාවක් ගොඩ නගමින් සිටි පසිඳු සූරියබණ්ඩාර සහ ලක්ෂාන් එදිරිසිංහ අද ඊට තවත් ලකුණු 124ක් එක් කළා. ඒ අනුව ඔවුන් දෙදෙනා සිවු වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 250ක්.  

ලක්ෂාන් එදිරිසිංහ අද ගාලු ඉනිමේ පළමු ක්‍රීඩකයා ලෙසින් දැවී යද්දී පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 122ක් ලබා සිටියා. එය ඔහුගේ තරග 73ක් වන පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි.  

අනතුරු ව පිටියට පිවිසි විශාද් රන්දික ද පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. පසිඳු සූරියබණ්ඩාර සහ විශාද් රන්දික අතර 5 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 135ක්.  

පසිඳු සූරියබණ්ඩාර ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී ගාලු ඉනිම ලකුණු 655ක් ව තිබුණා.  

ගාලු ඉනිම වෙනුවෙන් පසු පෙළින් පිටියට පිවිසි නිමේෂ් විමුක්ති පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා. අද තරගය නතර කරන විට මිලාන් රත්නායක නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.  

ගාලු ඉනිම පාලනය කිරීම සඳහා යාපනය නායකයා පන්දු යවන්නෝ 10 දෙනෙක් ගේ ම සහාය ලබා ගත්ත ද ඒ අතුරින් වඩාත් සාර්ථක වූයේ ජනිත් ලියනගේ සහ කල්හාර සේනාරත්න පමණයි. ඔවුන් දෙදෙනා කඩුලු 2ක් බැගින් දවා ගත්තා. ඊට අමතර ව නිපුන් කරුණානායක, සංතුශ් ගුණතිලක, රවිඳු ප්‍රනාන්දු, ලහිරු මධුශංක සහ ශෂික දුල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Galle – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 711 (172.0) සංගීත් කුරේ 49, ඔෂද ප්‍රනාන්දු 22, ෂෙහාන් ප්‍රනාන්දු 56, පසිඳු සූරියබණ්ඩාර 242, ලක්ෂාන් එදිරිසිංහ 122, විශාද් රන්දික 66, ධනංජය ලක්ෂාන් 26, නිමේෂ් විමුක්ති 40, මිලාන් රත්නායක නොදැවී 26, කල්හාර සේනාරත්න 2/145, ජනිත් ලියනගේ 2/86

මෙම තරගය හෙට (06) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

18 වැනි තරගය, දඹුල්ල, අප්‍රේල් 04 – 07, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Kandy 
  • ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල. 

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 276ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයන්ට අද ලබා ගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.  

එම ඉනිම වෙනුවෙන් රිසිර වීරසූරිය පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත් අතර ඊට අමතර ව පවන් රත්නායක පන්දු 57ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී සිතුම් දිසානායක සහ නිම්සර අතරගල්ල කඩුලු 3ක් බැගින් දවා ගත් අතර රොෂාන් ජයතිස්ස කඩුලු 2ක් ද සහ ලසිත් ඇඹුල්දෙණිය සහ වනුජ සහන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

ලකුණු 69ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ මහනුවර ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් සිතාර ගිම්හාන් පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත් අතර කමිල් මිෂාර පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ කඩුලු 2ක් දවා ගත් අතර ලක්ෂාන් ගමගේ සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 276 (72.4) කමිල් මිෂාර 34, අහන් වික්‍රමසිංහ 64, වනුජ සහන් 31, රොෂාන් ජයතිස්ස 50, නිම්සර අතරගල්ල 23, මොහොමඩ් ශිරාස් 2/49, මර්වින් අබිනාශ් 2/40, ලක්ෂාන් ගමගේ 3/19  

 

Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (58.5) රිසිර විරසූරිය 42, පවන් රත්නායක 39, සොනාල් දිනූෂ 33, දුශාන් හේමන්ත නොදැවී 21, සිතුම් දිසානායක 3/43, නිම්සර අතරගල්ල 3/53, රොෂාන් ජයතිස්ස 2/36 

 

Kandy – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 156 (4) සිතාර ගිම්හාන් 58, සහන් කෝසල 22, කමිල් මිෂාර 46, සොනාල් දිනූෂ 2/16 

මෙම තරගය හෙට (06) තෙවැනි දිනට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<