ලියන්න උගනිමු


  • නිශාන්ත කමලදාස

ලියන එක පණ යන වැඩකි. ඔබ කිසියම් කෙනෙකු හෝ කිසියම් පිරිසක් සමග මුහුණට මුහුණ ලා කරන කතා බහක දී නම් ඔබ කියන කරුණ ඔවුන්ට තේරේ ද ඔවුන් එය අනුමත කරන්නේ ද ඒ ගැන ඔවුන්ට ඇත්තේ කුමන උනන්දුවක් ද යන්න ඔවුන්ගේ අභිනයෙන්, හැසිරීමෙන් හා ප්‍රතිචාරයෙන් පෙනේ. එහෙත් ඒ වාසිය ලියන්නෙකුට නැත. කියවන්නා පළමු වාක්‍යයෙන් ම ලියවිල්ල ඉවත දැම්මේ දැයි ඔහුට/ඇයට දැන ගන්නට ක්‍රමයක් නැත. ඔබට මුහුණ දී සිටින මිනිසුන්ට මෙන් නොව කිසි ම පැකිළීමකින් තොර ව ලියන්නෙකුගේ සංවාදයට තිත තියන්නට කියවන්නාට හැකි ය. ලියන්නාට වෙනස් වීමට වෙනත් අයුරකින් ඒ දෙය ම කීමට වඩා ගැළපෙන ලෙස කීමට අවස්ථාවක් ඉන් ලැබෙන්නේ නැත. කතා බහක දී ඔබට වචන උස් පහත් කරමින් කට හඬ පාලනය කරමින් ඉරියව් භාවිතා කරමින් අවධාරණය කරන්නට ඉඩ ලැබෙන්නේ ය. ලියවිල්ලක් තුළ ඒ ඉඩ ද නැත. ඒ නිසා ම ලේඛන කලාව පහසු නැත. ඒ නිසා ම ලේඛන කලාවේ යෙදෙන අය විසින් මේ අභියෝග අතික්‍රමණය කරනු පිණිස උපක්‍රම සොයා ගත යුතු ය

“පුදුම හෑලි එව්ව… 😀… සාහිත්‍යක පසුගාමිත්වය නිසා… අර ගිලෙන අය තුත්තිරි ගහක එල්ලුනාවගෙ… news ගැන නම් කෝමත් වැඩක් නෑ… හිට් උනොත් මොන කාරනේද අදාල නෑ කියනඑක හරි අවධානම්… මේව නැට්ටෙන් අල්ලන අය සහ negstive matkerters ල ඕන ජරා වැඩක් කරන්නෙ මේ වගෙ influnce හෑලි වලින් නිසා…”.

මේ තිබෙන්නේ මුහුණු පොතේ මා විසින් බෙදා ගත් සටහනකට ලැබුණු ප්‍රතිචාරයකි. එය එක ද අකුරක් හෝ වෙනස් නොකොට උපුටා ගෙන තිබේ. මුල් සටහන මගුල් ගෙදරක මනමාලි නැටීමේ සිද්ධියක්, එය සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වීම හා එය රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය වීම දෙස හෙළන දයාර්ද්‍ර බැල්මකි. මනමාලියගේ සුන්දර නැටුම ඒ හිට් වීමට හේතුව බව ද එහි සඳහන් ය.

“පුදුම හෑලි එව්වා..” කියමින් ප්‍රතිචාරය පටන් ගන්නේ ම මුල් සටහන බිම දමා පෑගීමෙන් පසු ය. ඒ තෝරා ගත් වචන තුළ තිබෙන්නේ මුල් සටහන ගැන ඇති වූ කෝපයක සේයාව ය. එයින් කියවන්නාට හැඟී යන්නේ මේ ප්‍රතිචාරය ලියන්නාට මුල් සටහනෙන් රිදී ඇති බවකි. ඒ වචන වල ලියා තිබෙන්නේ ඔහුගේ විශ්වාස පද්ධතියට එල්ල කළ අභියෝගයක ලකුණු ය. කරුණු සංඛ්‍යාලේඛන හෝ තර්ක විතර්ක නැතිව ම නිගමනයකට පනින්නේ ඒ නිසා ය.

අප සාමාන්‍යයෙන් ලියන්නේ අප සිතන ආකාරයට සමාන්තරව ය. ඒ අනුපිළිවෙළට ය. ඒ කියන්නේ අපි නිගමනයකට හැගීම් වලින් පිවිසෙන්නේ නම්, කරුණු කාරණා හෝ තර්ක විතර්ක නැතිව පිවිසෙන්නේ නම්, අප මුලින් ම නිගමනය ලියන බව ය. අප ඒ සඳහා එළඹෙන්නේ කරුණු කාරණා හා තර්ක විතර්ක කිරීමෙන් පසු නම් අප ලියන්නේ ද ඒ අනු පිළිවෙළට ය. ඒ නම් කරුණු කාරණා මුල ට ය. තර්ක විතර්ක ඊට පසු ය. නිගමන එහි ප්‍රතිඵලයක් ලෙස ය.

ප්‍රතිචාරය දක්වන අපේ මිත්‍රයා ද කරුණු කාරණා ගෙන එන්නේ ය. තර්ක විතර්ක ගෙන එන්නේ ය. එහෙත් ඒ පසුව ය. මුලින් කී නිගමනය සනාථ කරනු පිණිස ය. මේ සියල්ල ලේඛකයෙකු විසින් නොකට යුතු දේ ය.

ලේඛනයක තිබෙන මතයට ඔබ විරුද්ධ ව අදහසක් පළ කරන්නේ නම් පළමු ව ඔබ විසින් එහි යම් සාධනීය යමක් තිබේ නම් අගය කළ යුතු ය. මගේ ප්‍රතිචාර දැක් වූ මිත්‍රයාට එවැන්නක් සොයා ගැනීමට නොහැකි වූවා ද ඊට උනන්දුවක් නොතිබුනේ ද යන්න ගැන නිගමනයකට එළඹෙන්නට මට බැරි ය. එහෙත් ඔහු එය නොකළේ ය. ප්‍රතිචාරය දැක් වූ මගේ මිත්‍රයා කියන එක කාරණයකට මා එකඟ ය. එනම් හිට් වෙන (මේ කියන්නේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙන අර්ථයෙනි) හැම එකක් ම සාධනීය නොවන බව ය. ඒ නිසා ම මා මේ ප්‍රතිචාරයට උත්තර දෙන්නට යන්නේ නම් මා පළමු ව කියන්නේ එය ය. ඔහුගේ සමස්ත මතයට නොවෙතත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් මට එකඟ විය හැකි ය. ඒ බව සඳහන් කිරීමෙන් ඔහුගේ ආවේගය දමනය කර ගැනීම ප්‍රඥාගෝචර ය. අපේ දෙබස සමාජ මාධ්‍ය තුළ අපි දෙන්නාගේ දෙබසකට එහා යන නිසා ද එය වැදගත් ය. ඒ නැතත් එය වැදගත් ය. අප එදිරි විය යුත්තේ මිනිසුන්ට නොව ඔවුන් දරණ ඇතැම් මතයන්ට පමණක් නිසා ය.

මෙයින් මා ගෙනෙන පොදු පණිවුඩය නම් අප කතා කරන්නට යන්නේ විවාදාත්මක මාතෘකාවක් ගැන නම් අප අපේ අපක්ෂපාතිත්වය පෙන්විය යුතු බව ය. එය ඉදිරිපත් කරණ කරුණු වලින් හා අනුපිළිවෙළින් පමණක් නොව තෝරා ගන්නා වචන වලින් පවා පෙන්විය යුතු බව ය.

මා විසින් ඊළගට ඉදිරිපත් කරන්නේ “හිට්” වෙන ඒවා තුළ වෙනත් ඒවා තුළ නැති යමක් ඇතැයි අප පිළිගත යුතු බව ය. ඒ කුමක් දැයි සෙවිය යුතු බව ය. ඒ හරහා මිනිසුන් ව අවබෝධ කර ගත යුතු බව ය. දැන් මා කරන්නේ මගේ මිත්‍රයා සිටි තැනින් ක්‍රමානුකූල ව ඔහු ව රිසි තැනට ඇද ගෙන යෑම ය.

එක් කලෙක දොළුකන්දේ පළාතට සෙනඟ ඇදී ගියේ ඒ විහාරයේ දෙසන පිරිතේ අමුතු බලයක් ඇතැයි යන ආරංචිය ට ය. මගේ මිත්‍රයාගේ වචන වලින් කියන්නේ නම් එය ද හිට් වුනු එකකි. වෙනත් වචනයක් යොදා කියන්නේ නම් එය සමාජය හරහා එක වකවානුවක හමා ගිය සුළි සුළගකි. සමාජය ගිල ගත් රැල්ලකි. ඒ රැලි වැඩි කලක් පවතින්නේ නැත. සෝඩා බෝතලය ඇරියාක් මෙන් ලොකු සද්දයක් ද සහිතව සිසාරා විහිදෙන නමුත් ඉක්මණින් සන්සුන් වෙන ස්වභාවයකින් ද යුක්ත ය. ඒ නිසා මා ඔහුට ඒ බව දක්වමින් කියනු ඇත්තේ හිට් වෙන දේවල් සම්බන්ධයෙන් කම්පා වීම අනවශ්‍ය බව ය. ඒවා ස්වභාවික ව මරණයට පත් වන තුරු ඉවසිය යුතු බව ය.

එහෙත් එවැනි රැල්ලකින් අපට ගෙනෙන පාඩම තේරුම් ගැනීම වැදගත් ය. දොළුකන්දේ සිද්ධියෙන් අපට කියන කතා බොහෝමයකි. එකක් මිනිසුන් අසරණ බව ය. එයින් මිදීමට පරිශ්‍රමයක් දරණු වෙනුවට කොහේවත් නැති දෙයක පිහිට පතන බව ය. කෙටි මාර්ග සොයන බව ය. ඒ තත්වය කපටි ව්‍යාපාරිකයන් විසින් අනලස්ව ප්‍රයෝජනයට ගන්නා බව ය. ඒ දැනුම ඇති ව සමාජය දෙස හැරී බැලූ විට පෙනෙන්නේ මාධ්‍ය වේදීන් හා දේශපාලකයන් ද මේ අවබෝධය ඇති ව වැඩ කරන බව ය. ඒ නිසා ම මුල් සටහනේ ඇති මගුල් ගෙදරක මනමාලි නැටීමේ සිද්ධිය, එය “හිට්” වීම හා එය ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය වීම දෙස ද ඒ සංයමයෙන් ම යුක්ත ව බැලිය යුතු බව ය. දේශපාලනය ගැන හසරක් නොදන්නා සුරූපි නිළියන් අති විශාල මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට යැවූ රටක සිටින අපට සුන්දර කාන්තාවකගේ මනරම් නැටුමක් ජනප්‍රිය වීම ගැන කම්පා විය නොහැකි බව ය.

ලියන කලාව හරි හැටි නොදන්නා නිසා බොහෝ පොහොසත් අවසානයකට විභවයක් ඇති සංවාද අතර මග මරා දැමීම සංවේග ජනක ය. අපක්ෂපාතී ව හැගීම් වලින් පරල නොවී කරුණු කාරණ හා හරවත් තර්ක විතර්ක සහිත ව ලියන්නට උගනිමු.

Leave a comment