ශ්‍රී ලංකා යෞවනියෝ එංගලන්තයටත් පරාජය වෙයි

Women’s U19 Tri Nation Series 2024

60
Women’s U19

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පිට පිට ලත් දෙවැනි පරාජයටත් මුහුණ දීමට ශ්‍රී ලංකා යෞවනියන්ට ඊයේ (03) සිදු වුනා.  

ඔවුන් පෙර තරගයේ දී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වූ අතර මෙම තරගයේ දී එංගලන්තය හමුවේ පරාජය වූවා. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තමන් මීට පෙර සහභාගී වූ මෙම කණ්ඩායම් හා සමඟ තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා.   

5 වැනි තරගය, හම්බන්තොට, 01, අප්‍රේල් 2024, Women’s U19 Tri Nation Series 

  • කාසියේ වාසිය – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 
  • ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සූරියවැව. 

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ලේ දී හොඳ ආරම්භයක් ලබා ගැනීමට සංජනා කාවින්දි සහ අශානි කෞෂල්‍යා සමත් වූවා.  

ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කළේ පන්දු 42ක් පමණක් වැය කරමිනුයි. එහි දී සංජනා කාවින්දි පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද සහ අශානි කෞෂල්‍යා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ පන්දු 20ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත් රශ්මිකා සෙව්වන්දි.  

ශ්‍රී ලංකා ඉනිමේ 2 වැනි කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව පන්දු 14ක දී ලකුණු 5ක් තුළ කඩුලු 5ක් දවා ගැනීමට සංචාරක එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

කඩුලු දවා ගැනීමේ දී  Charlotte Stubbs සහ Ava Lee කඩුලු 2 බැගින් දවා ගත්තා. 

හඹා යන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනී Davina Perrin ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ දැමීමේ ප්‍රමුඛ මෙහෙවර කළා. ඇය තම ඉනිම අවසන් කරන්නේ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිමිනුයි.  

ඊට අමතර ව ඇය Erin Thomas සමඟ එක් වෙමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කළා. Erin Thomas ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්. ඇය ඊට පන්දු 25කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද එම ඉනිමට ඇතුලත් වුනා.  

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Charis Pavely පන්දු 9කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.  

කඩුලු ලබා ගැනීමේ දී හිරුණි හංසිකා ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත් අතර නායක මනුදි නානායක්කාර සහ හෂිනි ගිම්හානි අතර කඩුල්ල බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 126 (20.0) සංජනා කාවින්දි 20, අශානි කෞශල්‍යා 24, රශ්මිකා සෙව්වන්දි නොදැවී 21, Charlotte Stubbs 2/23, Ava Lee 2/19 

 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 127 (14.4) Davina Perrin 54, Erin Thomas 27, Charis Pavely නොදැවි 24, හිරුණි හංසිකා 2/21 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්. ‍ෙදෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<