ජය හොයන අම්බලන්ගොඩ සුනිල සහෝදරයෝ

76
55th Battle of the Blues

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වෙන “සුනිල සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 30 සහ 31 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි. 

1963 වසරේ දී ආරම්භ වෙන මෙම තරගය මෙරට මිශ්‍ර පාසල් අතර පැවැත්වෙන පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසිනුයි සැලකෙන්නේ. විවිධ හේතුවෙන් මත වසර කිහිපයක් මෙම මහා තරගය නොපැවැති අතර මෙවර පැවැත්වෙන්නේ 55 වැනි වරටයි.

ඒ අනුව මේ දක්වා නිමා වූ සුනිල සංග්‍රාම ක්‍රිකට් තරග අතුරින් අවස්ථා 12ක ජයග්‍රහණය ධර්මාශෝක විද්‍යාලය සතු ව ඇති අතර ශ්‍රී දේවානන්ද විද්‍යාලය ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 2ක දී පමණයි. විසඳුමකින් තොරව අවසන් වූ සුනිල සංග්‍රාම තරග ප්‍රමාණය 40ක්.

සුනිල සංග්‍රාම ඉතිහාසයේ අවසන් වරට තරගයක ජයග්‍රහණයක් වාර්තා වෙන්නේ 2022 වසරේ දීයි. ෂෙහාන් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලැබූ එම ජයග්‍රහණය ඔවුන් වාර්තා කරන්නේ වසර 56කට පසුව වීමත් විශේෂත්වයක්. ධර්මාශෝක විද්‍යාලය අවසන් වරට සුනිල සංග්‍රාම කුසලානයක් හිමිකර ගෙන ඇත්තේ 2019 වසරේ දී දිනුක ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුතුවයි.

සුනිල සංග්‍රාම ඉතිහාසය

 සුනිල සංග්‍රාම ඉතිහාසය වර්ණවත් කරමින් ලියැවෙන සටන්කාමීන් අතර ටෙස්ට් සහ එක්දින නායකයෙක් ලෙසත් සහ  වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙසත් කටයුතු කරන උපුල් තරංග ගේ නම ඉහළින් ම ලියැවෙනවා. ඊට අමතර ව එක්දින ක්‍රීඩකයෙක් ලෙසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක් වූ සමන් ජයන්ත ගේ නම ද එහි සටහන් වෙනවා.

එමෙන් ම සුනිල සංග්‍රාම ඉතිහාසයේ තවත් සුවිශේෂී ක්‍රීඩකයන් වූ ධර්මාශෝක විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය දිනේෂ් චන්දිමාල් ද සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ධර්මාශෝක විද්‍යාලයට ගිය රමේෂ් මෙන්ඩිස් ද මේ ලැයිස්තුවට එක් වෙනවා.

මේ අතරට 70 දශකයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය දඟ පන්දුවෙන් කැළඹූ අජිත් ද සිල්වා ගේ නම මේ ඉතිහාසයට එක් වෙන්නේ ධර්මාශෝකයෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩක ගොන්නටයි.  ධර්මාශෝක විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ගොස් ජාතික කණ්ඩායම හා එක් වූ අජිත් ද සිල්වාට ගමෙන් කොළඹට සංක්‍රමණය වීම හේතුවෙන් ම සුනිල සංග්‍රාම ඉතිහාසයට ඔහුගේ නම ඇතුලත් කර ගැනීමට හැකි වෙන්නේ නැහැ.

ඔවුන්ට අමතර ව ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසීමට එළිපත්තට පැමිණි ක්‍රීඩකයන් ලෙසින් ජේ. ඩබ්ලිව්. ආනන්ද (ශ්‍රී දේවානන්ද), ටී. අරුණ (ධර්මාශෝක), හැළඹගේ ප්‍රේමසිරි (ධර්මාශෝක),  සරත් අශෝක (ශ්‍රී දේවානන්ද), පී. මිල්ටන් (ශ්‍රී දේවානන්ද), ඒ. ඩී. බන්දුල (ධර්මාශෝක), ජනක කුමුදු (ධර්මාශෝක),  සුරාජ් සංජීව (ශ්‍රී දේවානන්ද) සහ පුලින තරංග (ශ්‍රී දේවානන්ද) ගේ නම් සටහන් වෙනවා.

ඔවුන් ශ්‍රී ලංකා ඒ සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම්වල සමාජිකයන් සේ කටයුතු කළ අතර දෙවිදුහල් නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අතුරින් ශ්‍රී දේවානන්ද විද්‍යාලය නියෝජනය කළ ධම්මික නිරෝෂන් 2002 වසරේ දී නවසීලන්තයේ පැවැති යොවුන් ලෝක කුසලානයේ නායකයා ලෙසින් ද කටයුතු කරමින් එම කාණ්ඩයෙන් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වෙනවා.

එමෙන් ම ක්‍රිකට් තරග පිටියේ තරග තීරකයන් ලෙසින් කටයුතු කරන රංජිත් ප්‍රියන්ත (ශ්‍රී දේවානන්ද) සහ ජනක කුමුදු (ධර්මාශෝක) ද සහ ජාත්‍යන්තර තරග පිටියට එළිපත්තේ සිටින යොවුන් ක්‍රිකට් තරග විනිසුරු චාමර ද සොයිසා (ධර්මාශෝක) සහ පළමු පෙළ තරග විනිසුරුවන් ලෙසින් කටයුතු කරන ඩිල්ශාන් ද සිල්වා (ධර්මාශෝක), ලලිත් නන්දන (ධර්මාශෝක), චතුරාන් සංජීව (ධර්මාශෝක), සමන් මොහාන් (ධර්මාශෝක) සහ චමින්ද බණ්ඩාර (ශ්‍රී දේවානන්ද) වැන්නෝ ද සුනිල සංග්‍රාම ඉතිහාසයේ මතකයන් අතර සැරි සරන්නන් ලෙසින් හැඳින්වෙනවා.

මීට අමතර ව මෙවර වයස අවුරුදු 60ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ලාල් රණසිංහ ද සහ දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනයට එක් ව සිටින හැළඹගේ වසන්ත කුමාර ද සුනිල සංග්‍රාම ඉතිහාසයට ධර්මාශෝක විද්‍යාලයෙන් එක් වූ පැරණි මතක සටහන් තැබු ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වෙනවා.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙවර තරගාවලිය අවසන් කරන්නේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසෙමිනුයි.

ඔවුන් විසින් නිමා කරන ලද එම තරග වාරයේ දී ශ්‍රී දේවානන්ද පිතිකරුවන් අතුරින් ඉදියෙන් ම සිටින්නට දක්ෂතා දැක් වූවේ සිතුම් සත්සිඳු. ඔහු මෙවර තරගාවලියේ දී තරග 14කට සහභාගී වෙමින් ඉනිම 22ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 494ක් ලබා සිටිනවා.

ඔහුට අමතර ව මයුර මල්ශාන් අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 488ක් ද, විහඟ මලිත් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතකයක් සමඟින් ලකුණු 459ක් ද සහ උප නායක චමෝද් චන්දුප අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 437ක් ද ලබා ගනිමින් ඉදිරි පෙළින් දක්ෂතා දක්වන පිතිකරුවන් ලෙසින් වැජඹෙනවා.

ඊට අමතර ව කණ්ඩායමේ තවත් ශතකලාභියෙක් වූ සඳලු රශ්මික ලකුණු 361ක් ලබා ගනිමින් කණ්ඩායමේ තවත් විශ්වසනිය පිතිකරුවෙක් බවට පත් ව සිටිනවා. ඔහුත් සමඟින් ලකුණු 263ක් ලබා සිටින මිනිඳු ද සිල්වා සහ ලකුණු 250ක් ලබා සිටින දනිඳු ඉනෝෂ ද විශ්වාසය තැබිය හැකි පිතිකරුවන් ලෙසයි සැලකෙනවා.

පන්දු යැවීමේ දී කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා වී සිටින්නේ දකුණතින් පිට දඟ පන්දු යවන රවිඳු ද සිල්වා. ඔහු නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී කඩුලු 79ක් ලබා ගනිමින් එකී විශ්වාසය ද සමඟින් සුනිල සංග්‍රාමයට එක් වෙනවා.

ඔහු ලබා ගත් කඩුලු අතරට ඉනිමක දී කඩුලු 5ක් දවාගත් අවස්ථා 7ක් සහ තරගයක දී කඩුලු 10කට වඩා දවාගත අවස්ථා 2ක් ද ඒ අතර වෙනවා. ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වූයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහි ව ලකුණු 98කට දවා ගත් කඩුලු 9යි.

කණ්ඩායමේ අනෙක් පන්දු යවන්නන් අතුරින් පෙරමුණේ පසුවෙන්නේ දකුණතින් මඳ වේග පන්දු යවන කවීෂ් හංසක යි. ඔහු කඩුලු 31ක් දවා ගෙන ඇති අතර ඊට අමතර ව තෙනුජ රශ්මින් කඩුලු 28ක් ලබා ගනිමින් ද, සිතුම් සත්සිඳු කඩුලු 27ක් ලබා ගනිමින් ද සහ මිනිඳු ද සිල්වා කඩුලු 23ක් ලබා ගනිමින් ද පන්දු යවන්නන් ලෙසින් කණ්ඩාමට සේවය සැලසුවා.

මේ අයත් සමඟින් වමතින් දඟ පන්දු යවන නායක වනිත් ද සිල්වා කඩුලු 22ක් සහ ලකුණු 113ක් ද ලබා ගනිමින් ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවමින් මෙම තරගය හා එක් වෙනවා.

Big Match 2024

ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

වනිත් ද සිල්වා (නායක), චමෝද් චන්දූප (උප නායක), විහඟ මලිත්, සිතුම් සත්සිඳු, මයුර මල්ශාන්, කවීෂ් හංසක, රවිඳු ද සිල්වා, දනිඳු ඉනෝෂ (කඩුලු රකින්නා), සඳලු රශ්මික, මිනිඳු ද සිල්වා, සවීන් තියුනුවන්, ලුදීෂ නිම්සර, තෙනුජ රශ්මින්, මහිම් දේශායි, රාජිත මෙන්ඩිස්, නිශිත් ද සිල්වා.

ධර්මාශෝක විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier A කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ධර්මාශෝක විද්‍යාලය මෙවර එම තරගාවලිය අවසන් කරන්නේ පළමු පෙළ තරගාවලිය අහිමි වන අවධානමක් ද සහිතවයි.

කෙසේ වෙතත් නිමා කළ තරග අතුරින් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීයා වී සිටින්නේ උප නායක සෙනිත හැළඹගේ. ඔහු මෙවර පාසල් තරගාවලියේ දී ලකුණු 643ක් ලබා ගන්නේ දෙවිදුහල් හී ම එක ම ද්විත්ව ශතකලාභියා ලෙසින් ද ඉතිහාසයට එක් වෙමිනුයි. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පන්දු 263කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 222ක් ලබා ගන්නවා. එය ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ද්විත්ව ශතක ලබා සිටියේ උපුල් තරංග (210) සහ දිනුක ඩිල්ශාන් (216) පමණයි.

ධර්මාශෝක විද්‍යාලයේ නායක රන්දුල් සමරහේවා ද ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන අතර මේ වසරේ දී ලකුණු 597ක් ලබා ගනිමින් පිතිකරුවන් අතර ඉහළ ස්ථානයක් හිමිකර ගෙන සිටිනවා. ඔහුගේ ලකුණු අතරට බම්බලපිටියට සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතකයක් ද ඇතුලත්.

එමෙන් ම ලකුණු 387ක් ලබා සිටින ආකාශ් මෙන්ඩිස් සහ ලකුණු 275ක් ලබා සිටින ජිතිර සංසික ද ධර්මාශෝක පිතිකරු ලැයිස්තුව ශක්තිමක් කරන පිතිකරුවන් ලෙසින් හැඳින්වෙනවා.

ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් කැපී පෙණෙන පන්දු යවන්නා වී ඇත්තේ ඉශාන් අනුරාධ. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කඩුලු 34ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටිනවා.

ඊට අමතර ව පිතිකරුවන් ලෙසින් ද විශ්වාසය දිනා සිටිනා ජිතිර සංසික කඩුලු 33ක් ලබා ගනිමින් ද සහ සෙනිත හැළඹගේ කඩුලු 27ක් ලබා ගනිමින් ද පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ පැතුම් මලිත ද ධර්මාශෝක විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ බලඇණියේ ප්‍රධාන ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායම හා එක් ව සිටිනවා.

Battle of the Blues

ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

රන්දුල් සමරහේවා (නායක), සෙනිත හැළඹගේ (උප නායක), ඉෂාන් අනුරාධ, පැතුම් මලිත, ආකාශ් මෙන්ඩිස්, චනුක ජය ශ්‍රී, සෙනුර සදයුරු, ජිතිර සංසික, විශ්ව දිමුතු, පසිඳු ජයකොඩි, චන්දුප කවීෂ, සුහස් ද සිල්වා, පසිඳු නදීශ, කවීෂ මතීෂ්, ඔශාන් මිහිරාන්, දිනෙත් ගිම්හාන්, ඔමේග කරුණාරත්න, නෙතුජ බාෂිත.

අම්බලන්ගොඩ පුරවරය නිලෙන් බැබළෙන සුනිල සංග්‍රාමයට එක් වෙන ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය සහ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට Thepapare.com හී උණුසුම් සුබ පැතුම්!

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<