මගේ ලංකා ගමන ආශ්‍රිත කතා…


අවුරුදු 5 කට පසුව උපන් රටට යාමට සිත්වූයේ ටිකක් සාධාරණ අඩු මුදලකට ගුවන් ටිකට් එකක් ලැබුනු නිසාය.මොන ආකාරයෙන් ගියත් ලංකාවට යන ගුවන් ගමන ශරීරයට දුක් දෙවන්නකි. දුෂ්කර ක්‍රියාවකි. එහෙත් නොයා බැරිය.ඇමරිකන් ඩොලරය රුපියල් 308 කි. ඒ නිසා අත දිග හැර වියදම් කල හැකිවේ.කටුනායක ගුවන් තොටුපළේද , කොළඹ නගරයේද මා දුටුවේ වියැලුණු මුහුණුය. බල්ලන්ද කොල්ලන්ද මෙලෝ වගක් නැතිව පාර පනිති. උන් දෙවර්ගයම මාර්ග නීති- මාර්ග සංඥා තුට්ටුවකට මායිම් නොකරයි. පාර දෙපස පිළිවෙලක් නැතිව ඉදිවුනු ගොඩනැගිලිය. ඒවා ඉස්සරහ ගොඩ ගසා ඇති අයිතිකරුවන් නැති කුණු ගොඩවල්ය.
දවසේ පැය 24 පුරාම ඉතා දැවැන්ත ගොඩනැගිළි , පළල් පාරවල් දැකීමෙන් , ලංකාවේ ඇති සියලු ගොඩනැගිළි කුඩාවටද , පාරවල් පටුවටද පෙනේ. උස මහත ගැහැණු හා පිරිමින් දැකීමෙන් ලංකාවේ හැම එකාම පෙනෙන්නේ කුඩාවටය. මටද විශාල ශරීරයක් ඇති බව දැනේ. මම පපුව පුම්බා ගමන් කරමි. මට ඇත්තේ දින 10 ක සොච්චම් කාලයකි. කළ යුතු දෑ ඉක්මණින් කල යුතුය. ලංකාවේ මිනිසුන්ගේ වැඩ ඉතා slow ය. හක්කේ ඇති දත් කුහර පුරවා ගැනීමට මස්සිනා දන්නා හඳුනන දත් දොස්තරයෙක් සොයා ගියෙමි. “ඩොක්ට.. මේ මල්ලි. ඊයෙ ඇමරිකාවෙ ඉඳන් ආවෙ.”

එතැන් පටන් දත් දොස්තර මා හා ඉන්ගිරිසියෙන් පමණක් කතා කලේය. ඔහුගේ තරුණ සහායිකාව යම් බටයක් වන් උපකරණයක් දෝතින් බදා සූදානමින් සිටියේ මගේ කටේ එකතු වන කෙළ ඉවත් කිරීමටය. දත් දොස්තර ඇයට suck කරන්න යයි කීප විටක්ම කීවේය.දත් කුහරය වසා දැමීමට සහ ඉතිරිවී ඇති දත් සුද්ධ කිරීමේ ගාස්තුව රුපියල් 8500 ක් හෙවත් 308 න් බෙදූ විට රුපියල් 27.60 කි.

අවුරුදු 5 ට රට සෑහෙන්න වෙනස් වී ඇත. වෙනස් වී නැත්තේ මිනිසුන්ගේ ආකල්ප පමණය.කොළඹ සිට නුවරට දිවෙන මාර්ගයේ අතරමැද , දුරගමන් යන බස් රත, තේ පානය සඳහා නවතන තැනකි. මීට වසර 25 කට පෙර එහි වැසිකිළියක් නොවූයෙන් අසල වූ තාප්ප බිත්තියේ හුජ්ජ ඇල්ලීමෙන් ඒ කාර්ය කර ගත්තද අත සෝදා ගැනීමට ක්‍රමයක් නොවීය. මම කලේ වස අප්පිරියාවෙන් කලිසම් සාක්කුවට අත දමා අත පිස ගැනීමය.මා සමඟ සිටි මස්සිනා අසල හෝටලයේ ෂෝටීස් තබා ඇති ෂෝ-කේස් එකට අත දමා එහි වූ කට්ලිස් පැටිස් උණුවෙන් ඇද්දැයි පරීක්ෂා කර බැලුවේද අර නොසේදූ අතින්මය.
කරන දේ හරියට කළ යුතුය. නොකර සිටීම ඊට වඩා හොඳය. තාරුණ්‍ය සඳහා වෙනසක් හෝ වෙනසක් සඳහා තාරුණ්‍ය .. නගරයේ එල්ලා තිබුණු විශාල බැනරයකි. එහි ඉන්ගිරිසියෙන් ලියා තිබුණේ Youth for CHEng කියලාය. ස්පෙලින්ග් වැරදිය. මෝටර් රත සර්විස් කරන ස්තානයේ wheel balancing යන්න ලියා තිබුණේ whell balancing කියාය.ගුරුන්ටත් අකුරු වරදී නමුත් කරන දේ හරියට කළ යුතුය.තවත් දැන්වීමක වූයේ තෙරපි ක්‍රමයට හබල් මසාජ් යනුවෙනි. එය herbal මසාජ් බව තේරුම් යන්නට ටිකක් කල් ගත්තේය.
අවුරුදු 60 කට පෙර මා පුවත්පත්වල දුටු කාන්තාවන්ගේ ඔසප් කෙතරම් පමා වුවත් නැවත රැගෙන දෙමි. මෙය අප්‍රබංශයක් වුවද එය කෙතරම් මාරාන්තික දැයි මට දැන් තේරුම් යයි. ඉන් වසර 60 කට පසුවද මෙවන් ලෝක විහිළු තවමත් අප අතර ඇත.පුම්බා ගත් මස් ගොබ සහිත යෝධයෙකුගේ පින්තූරය යටින් ;
ඉන්ද්‍රිය කුඩාද , ඉක්මණින් ධාතු පිට වෙනවාද — පාවිච්චි කරන්න හර්කියුලිස් ආලේපය.
ඊටත් වඩා මේක ශෝක්ය.අයිශ්වර්යාගේ පින්තූරයට යටින් ,පියයුරු එල්ලා වැටීම , තට්ටම් එල්ලා වැටීම සහ කළු වීම වලකන නාරිලතා ආලේපය.. මේවා මා දැක්කේ ගෙලිඔය ෆාමර්සියක් අසලය. බොරු කියනවා කියා හිතේ නම් හොයා බලන්න.

මට හැඟී ගියේ තරුණ පරම්පරාව – ප්‍රයිවට් බස් රියැදුරන්, ත්‍රී-වීල් මල්ලිලා දුම් පානය අතැර බුලත්විට කෑමට හුරු වී ඇති බවකි. මා ගමනක් ගිය බසයේ කොන්දොස්තර තැන; මේ පෑවිල්ලට නිදි මත එනවා. බුලත් විටක් හපන්නම ඕන..අර පාලම ළඟ කඩේ බුලත් විට හොඳයි..
මොන?
අර තට්ට බණ්ඩාරයගෙ…
මගේ මස්සිනාද තට්ටයෙකි. එවන් තට්ටයන් කීප දෙනෙක්ම බසය තුළ විය. අනෙකාට රෙස්පෙක්ට් එකක් ඇත්තේම නැත. ඩ්‍රයිවර් හාදයා කට රතු කර ගෙන , වීදුරුව ඇර රතුපාට කෙළ තැම්බක් එළියට මුදා හලේය. අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 හෝ ෆැරන්හයිට් අංශක 98 කි. දාදිය දෙකන්සෙන් වෑස්සේ. හොඳින් ඇඳ පැළඳ ගෙන යන මානවිකාවක් මත්තට හෝ දාදියෙන් තැම්බෙමින් ටයි පටියෙන් ගෙල හිර කරන් ඇවිදින එක්සෙකටිව් ඔෆිසර් කෙනෙකු මත්තට එම කෙල ප්‍රහාරය වැටුනේ නැත. හොඳ වෙලාවට..
නුවර පාරේ ආප්ප කඩයකින් , මමත් මස්සිනාත් ආප්ප කමින් සිටියදී වයසක කාන්තාවක් ආප්ප වල මිළ විමසා, මිළ දී ගත නොහී ආපසු හැරෙනු දුටු මම ඇයට රුපියල් 500 ක් දුනිමි එය 308 න් බෙදූ විට ඩොලර් 1.63 කි. හැදූ වැඩූ දෙමාපියන්ටත් පින් දෙමින් , මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක.. තවත් මොනවදෝ කියමින් නොපෙනී ගියාය.
අතීතයේ එක දවසක මගේ නැන්දාවක් මා කාලකණ්ණියෙකු යැයි කියා ඇත. මගේ ජීවිතය විවිධ හැල හැප්පීම්, විවිධ කඩා වැටීම් වලින් පිරුණු එකකි. මා කාලකණ්ණියෙකු හෙවත් අවාසනාවන්තයෙකු නොවේ. වාසනාව මා සොයා ආවේ ඉබේටමය. තවමත් එය සිදුවෙමින් පවතී. සමහරවිට ඒ පෙර ආත්මවල එකතු කර ගත් පින් නිසා විය හැකිය. ඊ ළඟ ආත්මයට ගෙන යාමට මා තවත් පින් රැස් කල යුතුය. හිස් අතින් යා නොහැක.
තවමත් ජීවතුන් අතරට සිටින මගේ පියාගේ බාල සොහොයුරා- බාප්පා – සොයා ගියෙමි. අවසන් වරට ඔහු මුණ ගැහුනේ වසර 40 කට පෙරය. ඔහු ඉතා අමාරුවෙන් මා හඳුනා ගත්තද ,මා බලාපොරොත්තු වූ ජාතියේ surprise එකක් නොවීය. කෙසේ හෝ ඔහුත් සමඟ සතොසට ගොස් රුපියල් 9000 ක පමණ කළමණා අරන් දුනිමි. එය 308 න් බෙදූ විට ඩොලර් 29 ක් වගේ සොච්ච්චමකි. තවත් මෙවන් පින්කම් කිරීමට සිත් දුන්නද , කාලය සහ පිච්චෙන කාලගුණය ඊට හරස් වීය. ආපසු යාමට සූදානම් විය යුතුය. ආවෝතින් යා යුතුය. නොගොස් ඉන්ට බැරිය.
රූපවාහිනිය නිසා හෝ හින්දි බයිස්කෝප් බැලීමෙන් හැම කෙල්ලම ඉතා ලස්සන වී ඇත. සුරඟනන් බඳුය. මොබයිල් ෆෝන් එක ඩෙනිමේ පස්ස පැත්තේ බාගෙට ගසා ගෙන ඇවිදින දිගන කෙල්ලන්ගේ ලස්සන ! අනුකරණය නිසා තවත් බවලත්තු තමන්ට නොගැලපෙන ඩෙනිම් කළිසම් ඇඳ සිටියත් , හතරට පැලී ගිය ගෝලාකාර විලුම්බාවන් ඇයට හෝ ඈලාට එය නොගැලපෙන බව මගේ අදහසයි.
කාමරයේ තිබූ , එන විට ගුවන් තොටුපලෙන් මාරු කර ගත් රුපියල් වලින් 10000 ක් අඩුය. කවුරුන් හෝ සොරකම් කර ඇත. නංගී එසේ නොකරයි. මස්සිනා ඇල් වතුරත් නිවා බොන ජාතියේය. කමක් නෑ 10000 , 308 න් බෙදූ විට ඩොලර් 32 ක් වගේය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to මගේ ලංකා ගමන ආශ්‍රිත කතා…

  1. /* තාරුණ්‍ය සඳහා වෙනසක් හෝ වෙනසක් සඳහා තාරුණ්‍ය .. නගරයේ එල්ලා තිබුණු විශාල බැනරයකි. එහි ඉන්ගිරිසියෙන් ලියා තිබුණේ Youth for CHEng කියලාය. ස්පෙලින්ග් වැරදිය. */

    අන්න ඔහේට වැරදුණු තැන. එලෙස ලියා තිබෙන්නේ හිතාමතාම ය. අකුරු තුනක් පමණක් අපර්කේස් ලියා ඇත්තේ ඇයි කියා හිතුණේම නැද්ද?

    එහි Che යනු Che Guevara ය. එය වාමාංශික පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ තරුණ සංවිධානයයි.

  2. නිර්නාමික පවසයි:

    කාලෙකින් ලියලා. නියමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න