Friday, March 29, 2024

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසාගේ පිටේ වැදී නතර විය. "ආව්, ඒ මොකද්ද?" ඔහු විමසීය.

රාජාලිය ගල් මිනිසා සමග මිතුරු වූයේ දශකයකට පමණ පෙරාතුව මිස මෑතක නම් නොවේ. එකල රාජාලිය යන්තම් ළමා විය ඉක්මවූ නවයොවුන් කිරිල්ලියක වූවාය. රාජාලියක සතු තේජාන්විත භාවය මැනවින් ප්‍රකට කලද, අත්දැකීම් මඳකම නිසා ඇතැම් විට දඩයම්කාරිය වෙනුවට දඩයම බවට පත් වීමට ඇයට සිදු විය. 

ගල් මිනිසා දැවැන්ත ජීවියෙකි. ඔහු කිසිවකින් සැලෙන බවක් පෙනෙන්නේ නැත. හේ ඉක්මන් ගමණින් කිසිවක් නොකරයි. හැමදේකම වේගය ඔහු අභිමත පරිදි සිදු කරයි. ලොව පෙරලුණත් ඔහුට කමක් නැත. සඳු ගිලුණත්, මල් හැලුණත් ඔහුට වගක් නැත. ඔහුට ඇත්තේ ඔහුටම ආවේණික ජීවිතයකි.

මීදුම් භරිත උදයෙක තම ගමනී යෙදී සිටි ගල් මිනිසා දුටුවේ ඊතලයක වේගයෙන් පියඹා එන රාජාලියකි. ඊට පසුපසින් දැවැන්ත ගිජුලිහිණියෙක් ඇය හඹා එයි. රාජාලිය ගල් මිනිසා වටා අඩ වටයක් කැරකෙන විටම තමා වෙත ලං වූ ගිජුලිහිණියාට ගල් මිනිසා තම දැවැන්ත අත්ල පෑවේය. ගල් මිනිසා වැනි සුවිශාල ජීවියකු සමග සටනට ඒමට අකැමැති වූ ගිජු ලිහිණියා, තම දඩයම සොරා ගත් ගල් මිනිසාට නොසරුප් වදනින් අමතමින් පසුබා ගියේය. 

"ඇයි පන්නගෙන ආවේ?" ගල් මිනිසා බියෙන් තැතිගෙන සිටි රාජාලියගෙන් ඇසීය. "මම පස්සෙන් ගිහින් නැට්ටට කෙටුවා"

කලාතුරකින් සිනාවෙන ගල් මිනිසාට මඳ සිනාවක් නැගිනි. "හයියෙන්ම කොටල තියෙනවා. නැත්නම් ඔහොම පන්නගෙන එයිද?"

ඒ වනාහින් අමුතුම මිතු දමෙක ඇරඹුම විය. විලක් අසල වූ ඕක් ගස් මණ්ඩියෙක ගල් මිනිසා නැවතී සිටියේය. ඔහු විලත්, ඕක් මන්ඩියේත් සොබා රසය විඳිමින් සිටියේය. රාජාලිය ඔහුගේ අමුත්තකු පමණක් විය. ගල් මිනිසා කරන්නේ කුමක්ද, ඔහු නැවතී සිටින්නේ මන්ද සහ, ඔහු ගමන් යන්නේද කියා දන්නේත් ඔහුම පමණකි. ඔහුගේ පාත්‍ර වර්ගයා ගැන කිසිවෙක් කිසිවක් නොදත්තෝය. මහලු ඕක් ගස පමණක් ඔහු නිරික්සමින් සිටියේය. 

රාජාලිය පැමිනෙන්නේ එක්වරමය. බොහෝවිට කිසිවකු ඇය හඹාගෙන එයි. මුලින්ම පැමිණියන් ගල් මිනිසා දැක ත්‍රස්ත වූවත් ඇතැම්හු කැටමුගුරෙන්, ගල්ගෙඩි වලින් හෝ හී විදිමින් ගල් මිනිසා වෙත විරුද්ධත්වය පෑවෝය. 

රාජාලිය නැවත වරක් පැමිණියේ හීයක් බඳු වේගයෙනි. ඇය කැට කැබලිති පහසුවෙන් මග හරිමින් ගල් මිනිසා වටා අඩ වටයක් ගමන් කොට සැඟවී ගත්තාය. කැට කැබලිති රාශියක් ගල් මිනිසාගේ සිරුරේ වැදී නතර විණි. "කවුද ඒ?" ගල් මිනිසා නැවතත් විමසුවේ උදාසීන ලෙසයි. දඩයම් කරුවන් ඉවත ගිය පසු රාජාලිය ගල් මිනිසාගේ ලේ ගලන පිට දුටුවේ පළමු වතාවටයි. "අයියෝ තුවාල වුණා නේද?" ඇය ඇසීය. "ඊතල වලින් විදින්න කලින් ඔය කරන වැඩ නතර කරන්න වෙයි. මේ සැරේ මොකද?"

"දඩයක්කාරයාගේ තට්ටෙට කෙටුවා". රාජාලිය ඇගේ ඉතා උල් හොටයෙන් ගල් මිනිසාගේ ඇනී ඇති ගල් පතුරු ඉවත් කලාය. එම ගල් පතුරක් වැදුණා නම් තමන් අනිවාර්යයෙන් මිය යන බව ඈ වටහා ගත්තාය. නමුත් ගල් මිනිසා හඬක් වත් නැගුවේ නැත.  

ගල් මිනිසා මෙවර සිනා වූයේ නැත. ඔහුගේ මුහුණ බැරෑරුම් විය. "දැන් තඩි රාජාලියෙක් නේද? ඇයි තවමත් ඔය වගේ තාරාවෙක් කරන වැඩ කරන්නේ?" රාජාලිය හඬ නගා සිනාසී වේගයෙන් අහස් ගැබ වෙත ඉගිලී ගියාය.

දැන් රාජාලිය ශූර දඩයක්කාරියකි. ඇය පසුපසින් දඩයම් කරුවන් හෝ ගිජිලිහිණියන් ලෙහෙසියෙන් හඹා නො එයි. කලෙකට පසුව ගල් මිනිසා දැක ගැනීමේ ආශාවක් ඇයට ඇති විය. පුරුදු පරිදි ඕක් ගස් මණ්ඩිය වෙත පියඹා ආවාය. නමුත් ගල් මිනිසා එහි නැත! මණ්ඩිය වටා නැවත වරක් ඉගිලී ගියද, අහසට නැග හාත් පස පිරික්සා බැලුවද ගල් මිනිසා නැත. දුරක සිට වුවද පෙනෙන ගල් මිනිසා ක්ෂිතිජය තෙක් පෙනෙන මානයේ හෝ නැත. අහස් ගැබේ සිට අල්පෙනෙත්තක් වුව දැකිය හැකි රාජාලියගේ පෙනෙන තෙක් මානයේ ගල් මිනිසා නොසිටියේය.

නැවත ඕක් ගස් මන්ඩිය වෙත ඕ පැමිණියාය. ඇය දුටු මහලු ඕක් ගස "ගල් මිනිහා ගියා නෙව" යයි පැවසීය. "ඇයි එයා ගියේ?" රාජාලිය ඇසුවාය. ඇයට දැනුනේ තද දුකකි. 

"අන්තිම සැරේ ආවට පස්සේ මොකුත් කරදරයක් වුනේ නෑනෙ. ගල් මිනිහා යන්න තීරණේ කලේ ඊට පස්සේ. ගල් මිනිහා මේ ඕක් ගස් මණ්ඩියේ දශකයක් විතර එයාගේ ජීවිතය නතර කරගෙන හිටියා. ඔහුගේ පාත්‍ර වර්ගයා ඇවිත් ඔහුට එන්න කීවා. ඔහුගේ ජීවිතය එතන. ඉතින් ඔහු යන්න ගියා"

නැවත වරක් පාලුවෙන් හා තනිකමෙන් මඩනා ලද රාජාලිය, වේගයෙන් සන්තෝෂ විල දෙසට ඉගිල ගියාය.

පසු වදන: සංතෝෂ විල අසල සිටින ආදරයෙන් පැරදුන රුදුරු ගිජුලිහිණයකු ගැන කව් ගී ඔබ අසා ඇතුවා නිසැකය. ඇත්තෙන්ම එහි සිටියේ රාජාලියක බවත්, කවියා ඇගේ පුද්ගලිකත්වයට ගරු කර මේ වෙනස සිදු කල බවද දත යුතුය. 

No comments:

Post a Comment

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...