බිනුරගෙන් පසු රන් ගැටුමේ ජය සොයන ගවිරු සහ දුවිඳු

18th Battle of the Golds

71

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 18 වැනි වරටත් පැවැත්වෙන රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 29 සහ 30 දෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.

මෙම කණ්ඩායම් ද්විත්වය ම මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම කැපී පෙණුන අතර ඒ අතුරින් තම තරගය ජයග්‍රහණය කළ මහානාම ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වූවා.

මෙවර තරගයේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලය ගවිරු සෙනහස් යටතේ ද සහ මහානාම විද්‍යාලය දුවිඳු රණතුංග යටතේ ද තරගයට පිවිසීමට නියමිතය අතර ඔවුන්ගේ සහායකයන් ලෙසින් මලිත පෙරේරා සහ කවිඳු අමාමෙත් කටයුතු කරනු ලබනවා.

රන් සටන් ඉතිහාසය

රන් සටන් ඉතිහාසයේ මේ දක්වා පැවැති තරග අතුරින් විසඳුමකින් අවසන් වූ තරගයකට ඇත්තේ 2014 වසරේ දී බිනුර ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලත් ජයග්‍රහණයයි. එබැවින් මෙවර තරගයට දෙපිලේ ම ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ ජයග්‍රහණය තම කණ්ඩායමට ලබා ගැනීමේ අධිශ්ඨානයෙන් යුතුවයි.

ඒ යන ගමනේ දී ඔවුන්ගේ ඉතිහාසයේ විරුවෝ ද මෙම තරගයේ තරගකාරීත්වය හා වෙනදාටත් වඩා මෙවර එක් ව සිටිනවා.

ඒ අතුරින් වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා වන්නේ මෙරට ක්‍රිකට් පිටියේ සුවිශේෂී පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙන අරවින්ද ද සිල්වා යි. ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් මෙරට ක්‍රිකට් පිටියට දායාද වූ ඔහු මෙන් ම හෂාන් තිලකරත්න, කෝසල කුරුප්පුආරච්චි, පුබුදු දසනායක, පුලස්ති ගුණරත්න, නවීන් නවාස් මෙන් ම රන් සටනේ ජයග්‍රාහී නායකයා වන බිනුර ප්‍රනාන්දු ද වෙනවා.

එමෙන් ම පළමු පෙළ පිටියේ දක්ෂතා දැක් වූ වරුණ වරාගොඩ, බතීෂ ද සිල්වා, මුදිත මධුවන්ත, අර්ශාඩ් ජුනයිඩ් සහ සම්පත් පෙරේරා ද ඩී. එස්. ක්‍රිකට් නාමය දසත පැතිර වූ පැරණි ක්‍රීඩකයන් අතර ප්‍රමුඛත්වයේ ලා සැලකෙනවා.

මහානාම විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිටියට දායාද වූ ක්‍රීඩකයන් අතුරින් ප්‍රමුඛයෙන් ම කියැවෙන්නේ ධනුශ්ක ගුණතිලක ගේ නමයි. ඔහුට අමතර ව මේ දිනවල පළමු පෙළ පිටියේ දක්ෂතා දක්වන පවන් රත්නායක, පවන්ත වීරසිංහ සහ සොනාල් දිනූෂ ද මහානාමයෙන් බිහි වූ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙසින් ලැයිස්තු ගත වෙනවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලය

මෙවර ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 9ක් නිමා කරමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසිමට ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. නිමා වූ එම තරගවල දී පූර්ණ ජයග්‍රහණ 4ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක්  ඔවුන් සතු වෙන අතර එක් තරගයක පළමු ඉනිමේ පරාජයක් ද සහ නොවිසඳුණ තරගයක් ද ඒ අතර වෙනවා.

තරගාවලියේ දක්ෂතා දැක් වූ ඩී. එස්. සේනානායක පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන්නේ මලිත පෙරේරා ගේ නමයි. ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ශතකයත් සමඟින් තරග 13ක දී ලකුණු 615ක් ලබා සිටිනවා. කණ්ඩායමට නායකත්වය ලබා දෙන නායක ගවිරු සෙන්හස් ද ලකුණු 600ක් ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා දක්වා තිබෙනවා.

එමෙන් ම ලකුණු 459ක් ලබා සිටින චෙනුල් පින්සර ද, ලකුණු 409 ලබා සිටින රන්දිෂ බණ්ඩාරනායක ද සහ ලකුණු 349ක් ලබා සිටින චනුල් අතලේ ද ඩී. එස්. සේනානායකන් වෙනුවෙන් ලකුණු ලැබූ පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී රන්දීශ බණ්ඩාරනායක කඩුලු 44ක් දවා ගනිමින් ඩී. එස්. කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූවා. ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් චෙනුක පීරිස් කඩුලු 40ක් ලබා ගත්තා.

ඊට අමතර ව කඩුලු 23ක් බැගින් දවා ගනිමින් අක්මාල් ෆස්ලි සහ නායක ගවිරු සෙනෙහස් ද කඩුලු 20ක් දවා ගත් ශානල් බිනුක්ෂ ද පන්දු යැවීමේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක් වූවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

ගවිරු සෙන්හස් (නායක), මලිත පෙරේරා (උප නායක), කිරාන් පෙරේරා, සජුල දුලාජ්, සොහාන් යාපා, බිනුල සමරසිංහ, සෙනිඳු ගම්ලත්, ලබීබ් නුස්ලි, අමඩ් අෆ්ඩාල්, පෙසඳු වීරසිංහ, දැහැම් නිර්මාල්, ඩිලාශ් කුමාරනායක, චෙනුල් පින්සර, අක්මාල් ෆස්ලි, චෙනුක රනදුල, ශානල් බිනූශ, දිනාල් පතිරණ, නිශාල් තඹවිට, චනුල් අතලේ, රන්දීශ බණ්ඩාරනායක.

මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලය මෙවර රන් සටනට එක් වෙන්නේ නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග 8කට සහභාගී වෙමින් ඉන් තරග 4ක පූර්ණ ජයග්‍රහණ සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2ක් ද ලබා ගනිමින් වන අතර නිමා වූ අනෙක් තරග 2 දී ඔවුන්ට පළමු ඉනිමේ පරාජයන්ට මුහුණ දීමට සිදු වෙනවා.

එම ප්‍රතිඵල අනුව ඔවුන් මේ වන විට තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම දක්වා පැමිණ තිබෙනවා. එම ජවයත් සමඟිනුයි ඔවුන් මෙම මහා ක්‍රිකට් තරගය හා එක් වෙන්නේ.

මෙවර තරගාවලියේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ඉනුකර කරන්නාගොඩ යි. ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 280ක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 46ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහු මේ වෙනුවෙන් තරග 8කට සහභාගී වෙනවා.

ඊට අමතර ව පිතිකරුවන් අතුරින් දුල්නිත් සිගේරා ලකුණු 279ක් ද, ගිමන්ත දිසානායක ලකුණු 261ක් ද, රශ්මික පෙරේරා ලකුණු 255ක් ද සහ කූජන පෙරේරා ලකුණු 198ක් ද ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුව වර්ණවත් කෙරුවා.

පන්දු යැවීමේ දී රශ්මික පෙරේරා කඩුලු 22ක් ද, චාමික හීනටිගල කඩුලු 17ක් ද, නායක දුවිඳු රණතුංග කඩුලු 13ක් ද සහ දුල්නිත් සිගේරා කඩුලු 11ක් ද දවා ගනිමින් මහානාමයන් වෙනුවෙන් දක්ෂතා දැක් වූවා.

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

දුවිඳු රණතුංග (නායක), කවිඳු අමාමෙත් (උප නායක), ඔෂඳ මුතුගම, කවීෂ ගිම්හාන්, තරුශ අමරසිංහ, ඒශාන් විතානගේ, මිගාර රණසිංහ, උදේන් රාජපක්ෂ, චාමික රාජපක්ෂ, නවිඳු රොද්‍රිගෝ, සිතික කුලතුංග, ගිමන්ත දිසානායක, දුල්නෙත් අල්ගවත්ත, රශ්මික පෙරේරා, අදීශ කරුණාරත්න (කඩුලු රකින්නා), කූජන පෙරේරා, චාමික හීනටිගල, අනුක විජේවර්ධන, ඉනුක කරන්නාගොඩ, දුල්නෙත් සිගේරා.

දෙවිදුහල් අතර පැවැත්වෙන අරවින්ද ද සිල්වා අභියෝග කුසලානය සඳහා පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

පසුගිය ආසන්නත ම වසර 6 දී එක්දින තරග ජයග්‍රහණය කර ඇත්තේ මහානාම විද්‍යාලය විසින් වීම විශේෂත්වයක් වන අතර මේ දක්වා නිමා වූ තරග 17න් මහානාම විද්‍යාලය තරග 10ක් ද සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය තරග 4ක් ද ජයග්‍රහණය කර තිබෙනවා. ඊට අමතර ව පැවැති අනෙක් තරගවල දී විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් සහ තවත් වසර 2ක කදී එක්දින තරග නොපැවත්වෙමින් ලෙසින් සටහන් ව තිබෙනවා.

18 වැනි රන් සටන සඳහා එක් වෙන ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සහ මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<