Main Logo

Thursday 28 March 2024

කථානායකගේ වගකීම

 

කථානායකගේ වගකීම

 

සරත් හේවගේ පෙන්නා දී ඇති පරිදි මේ වනතුරු පාස්කු පුරාණය ලිපියට හා හා දමා නැහැ. ඉන් පැහැදිලි වන කරුණක් තියෙනවා. මෙරට තියෙන ක්‍රිස්තියානි ආධිපත්‍යය. ක්‍රිස්තියානි සංස්කෘතියට වැදගත් ලිපියක් පළ වුණා එය විහිළුවට ලක් කෙරෙන්නේ නැහැ. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට යම් ආකාරයකින් හරි අදාළ වෙන දෙයක් පළ කරා පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් හා තවත් අය, ඇතැම් විට ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය එය විහිළුවට ලක් කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ තම පොතේ මෙරට සිංහල බෞද්ධයන් දෙවැනි පෙළේ රටවැසියන් කියන්නේ ඇයි දැයි හා හා වලින් පැහැදිලි වෙනවා.

 

කෙසේ වෙතත් අද ලියන්නේත් ඔහු කුමන්ත්‍රණය නමින් හඳුන්වන සැලැස්ම පිළිබඳවයි. එය කුමන්ත්‍රණයක් නො වෙයි. කුමන්ත්‍රණ කරන්නවුන් ප්‍රසිද්ධියේ ඇවිත් අයට අසවෙන්න කියන්නේ නැහැ. ඔවුන් අය අස්කිරීමට කුමන්ත්‍රණය කරනවා. එහෙත්  බලවත් අය සඳහා සැලසුම් කරනවා. මා එදා සිට කියා ඇත්තේ බටහිරයන් හා ඉන්දියාව සැලසුම් කර මහින්ද හා ගෝඨාභය ඉවත් කළ බවයි. සැලැස්ම සාර්ථක කර ගැනීමට රාජපක්‍ෂ පවුලේ භේද ඉවහල් වී ඇති බව දැන් දැන් පැහැදිලි වෙනවා. විශේෂයෙන් මහින්ද හා ගෝඨාභය බිඳවීම ප්‍රධාන කරුණක්. බිඳවීම නොවන්නට බටහිර සැලසුම පරාජය කරන්නත් ඉඩ තිබුණා.

 

මා පරගලය දියත් වූ දිනවල සිංහල බෞද්ධ විරෝධී සැලැස්මක් කීවේ මා අනුගමනය කරන පිළිවෙත අනුව. මා කරන්නේ සිද්ධි දාමයක් දෙස බලා එසේ වන්නේ කෙසේ යන්න පිළිබඳ හිතලුවක් ඉදිරිපත් කිරීමයි. හිතලුව බොහෝ විට වැඩ කරනවා. එය වත්මන් දේශපාලනයේ වෙන්න පුළුවන් ඉතිහාසයේ වෙන්න පුළුවන් දර්ශනයේ වෙන්න පුළුවන් භෞතික විද්‍යාවේ වෙන්න පුළුවන්. හිතලුවලට තොරතුරු සාක්‍ෂි නැහැ. උගතුන්ගේ බසින් නම් මූලාශ්‍ර නැහැ. මෙයින් මා කිසි ලෙසකින්වත් දේශපාලන විද්‍යාඥයකු ඉතිහාසඥයකු දාර්ශනිකයකු භෞතික විද්‍යාඥයකු බවක් කියන්නේ නැහැ.

 

මගේ මූලික හිතලුව මේ වන විට වඩාත් විස්තරාත්මක කියන්න පුළුවන්. බටහිර හා ඉන්දියාව තම අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් දෙමළ වෙල්ලාල ජාතිවාදයේ දිගුවක් ලෙස ක්‍රියාත්මක වූ දෙමළ කොටි සංවිධානය හමුදා මෙහෙයුම් මගින් පරාජය කිරීම  කිසිසේත් ඉවසුවේ නැහැ. අප වැනි කුඩා රටක් බලවතුන් පරාජය කිරීමක් මැතක දී ලෝකයේ සිදු වී ඇත්තේ වෙන කුමන රටක ? ඉන්දියාව එකල කලාපීය බලවතා බටහිරයන් ගෝලීය බලවතුන්.  බටහිර සැලැස්ම අනුව හොරා බවටත් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු බවටත් පත් කරුණු මහින්ද හා ගෝඨාභය කොටි පරාජය කිරීමේ නායකත්වය ඉසිලූ බව අද බොහෝ දෙනාට අමතකයි. සිංහල බෞද්ධ විරෝධීන්ට නම් අමතක වන්නේ නැහැ. ඔවුන්ට නිසා ඇත්තේ මහින්ද ගෝඨාභය විරෝධයක්.

 

බටහිරයන්ට හා ඉන්දියාවට මහින්ද හා ගෝඨාභය හොඳින් හරි නරකින් හරි ඉවත් කිරීමට අවශ්‍ය වුණා. කොවිඩ් වසංගතය එයට ඉඩකඩ සැපයුවා. ඩොලර් සංචිතය පහත වැටුණා. එයට ජෙප්පන් උදවු කරා. විදේශීය ශ්‍රමිකයන්ට මුදල් එවන්න එපා කියා ඔවුනුත් තවත් අයත් කිවුවා. ආණ්ඩුව තුළ මෙන් පිටත   සිටි ඇතැම් ජාතිකවාදීන් ආණ්ඩුව විවේචනය කළා. මහජනයා උසි ගැන්වුවා. මහාජනයා නිකම් පරගලයට ආවේ නැහැ. අද කියුබාවේ වෙන සිද්ධි ගැන ඇතැමුන් කියවනවා. එහි සිදු වන්නේ කුමක් කියා විමසිල්ලෙන් බලා ඉඳිමු.

 

බටහිර අවශ්‍යතාව වූයේ හැකි නම් මහින්දට හා ගෝඨාභයට ගඩාෆි ඉරණම ලබා දීම.   බැරි නම් ඉවත් කිරීම. ඩොලර් සංචිතය අඩු වීම සමග බටහිරයන් ජාමුල හරහා ක්‍රියාත්මක වුණා. ජාමූල අප ලවා ණය ගෙවන්න බැරි බව කියෙවුවා. ණය ගෙවීම කල් දා ගැනීමට හැකි එක නායකයා බවට පත් කෙරුණේ බටහිර අනුග්‍රහය ලැබූ රනිල්. අනෙක් අය කෝඳුරු තෙල් හත්පට්ට කතා කියා අගමැති කම භාර ගන්නා ලෙස ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළා. රනිල් අගමැති කෙරුණා.  ඇතැම් හමුදා ඛණ්ඩවල දුරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා මහින්ද හා ගෝඨාභය ගඩාෆි ඉරණමෙන් බේරුණා.

 

එහෙත් දැන් බලන් යන කොට ඇතැමුන් ඉන් සෑහීමකට පත් වී නැහැ. ඔවුන්ට රට අරාජික කර ගෝඨාභයට හා මහින්දට ගඩාෆි ඉරණම  ලබා දීමට අවශ්‍ය වී තියෙනවා. කථානායකට ජනාධිපති වන ලෙස ඉල්ලා ඇත්තේ සඳහා. රනිල් යටතේ රට අරාජික කරන්න බැරි නිසා. එහෙත් කථානායකට ජනාධිපති වීමට නම් රනිල් අගමැති කමෙන් අස්විය යුතු තිබුණා. කථානායකට ජනාධිපති වන ලෙස ඉල්ලූ අය රනිල්ට අස්වෙන්න කියන්න ඇති. එහෙත් රනිල් අස්වුණේ නැහැ. ඔහු වැඩබලන ජනාධිපති බවටත් අවසානයේ ඩලස් පරදා ජනාධිපතිත් වුණා. ඩලස් ජනාධිපති වුණත් රට අරාජික වෙන්න තිබුණා. මෙයින් මා කියන්නේ රනිල් යහපත් කියන එක නොවෙයි. කථානායක හරි ඩලස් හරි ජනාධිපති වුණා නම් රට අරාජික වී මහින්දට හා ගෝඨාභයට ගඩාෆි ඉරණම අත් වෙන්න තිබුණා.

 

කථානායක තමාට ජනාධිපති වීමට කිවුවේ කවුද කියන එක රටට හෙළිදරවු කරන්න ඕන. කී අය වියනා සම්මුතිය කඩ කරලා. අය වහා රටින් පිට කරන්න ඕන. මෙරට ඉන්න බටහිර තානාපතිවරු වියනා සම්මුතිය කඩ කරනවා. ඔවුන් රටේ දේශපාලනයට මැදිහත් වෙනවා. දින පනස්දෙකේ ආණ්ඩුව පෙරළීමේ දී ඔවුන් කාර්යභාරයක් ඉටු කළා. එහෙත් කිසිවකු රටින් පිට කෙරී නැහැ.

 

මා විමල් වීරවංශගේ පොත කියවා නැහැ. සැලැස්ම (ඊනියා කුමන්ත්‍රණය) ගැන ඔහුටත් යම් සාක්‍ෂි ඇත්නම් ඉදිරිපත් කළ යුතුයි. මෙය බරපතළ ප්‍රශ්නයක්. රටේ ජනාධිපති හා අගමැති ඉවත් කිරීම සුළු පටු දෙයක් නො වෙයි.

 

පරගලය මේ සැලැස්මේ එක් පියවරක් පමණයි. පරගලයන් තමන් ගැන හිතන්නේ කටුස්සාටත් වඩා මාන්නයකින්. කටුස්සා අඩු ගණනේ මේ අලින්නෙ අපේ වැඩ කිවුවා. පරගලයන් හිතන්නේ මේ තමන්ගෙ වැඩ කියා.