පානදුර – මොරටුව ගැටෙන රන් සටන

72nd Battle of the Golds

89

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටුව විද්‍යාලය අතර 72 වැනි වරටත් පැවැත්වෙන “රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 29 සහ 30 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.  

1934 වසරේ දී ඇරඹි මෙම තරගමාලාවේ මේ දක්වා පැවැති තරගවල දී ශ්‍රී සුමංගල විද්‍යාලය තරග 8ක් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් පසුවෙන අතර මොරටු විද්‍යාලය ජයග්‍රහණ කර ඇත්තේ තරග 7ක් පමණයි. ඉතිරි තරග 56 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.  

රන් සටන් ඉතිහාසය හා එක් වූ සටන්කාමීන් අතුරින් ශ්‍රී සුමංගල විද්‍යාලය නියෝජනය කළ දොන් අනුරසිරි, ඉන්දික ගාල්ලගේ, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඔෂඳ ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක්වෙමින් විද්‍යාලයීය ක්‍රිකට් නාමයට ගෞරවනීය ඉතිහාසයක් එක් කර තිබෙනවා.   

එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙක් ලෙසින් කටයුතු කරන රවීන් වික්‍රමරත්න ද ආඩම්බර ශ්‍රී සුමංගල ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 1981 වසරේ පැවැති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් ශතකයක් ලබා ගනිමින් ද සහ පන්දු යැවීමේ දී කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් කඩුලු 5ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙක්. ඔහු එදා පෑ දක්ෂතා ව අදටත් රන් සටන් ඉතිහාසයේ තුන් ඉරියව්වෙන් පෑ ඉහළ ම දක්ෂතා ලෙසින් සටහන් වෙනවා.  

මොරටු විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩයන් අතුරින් අජන්ත මෙන්ඩිස්, හසන්ත ප්‍රනාන්දු, සහ නිශාන් මධුශ්ක සුවිශේෂී චරිත ලෙසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක් වූ අතර ඊට පෙර ලංකා කණ්ඩායම ලෙසින් නම් ලද කාලයේ දී සරත් ප්‍රනාන්දු සහ බර්නාඩ් පෙරේරා ද ජාතික කණ්ඩායම හා එක් ව සිටියා. ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරළිකාර ක්‍රීඩකයෙක් ව සිටි ලකී රොජර්ස් ද මොරටු විද්‍යාලයෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙක්.  

එමෙන් ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඉනෝෂී ප්‍රනාන්දු සහ කාන්තා ක්‍රිකට් පිටියේ පෙළහැර පෑ උපේක්ෂා තාබ්‍රේව් ද මොරටු විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩිකාවන් ව විද්‍යාලයට ගෞරවයක් ලබා දී තිබෙනවා.  

රන් සටන් ඉතිහාසය 

මෙම තරගමාලාවේ මංගල ජයග්‍රහණය වාර්තා වන්නේ 1956 වසරේ දී ටී. හපුගොඩ ගේ නායකත්වය යටතේ මොරටු විද්‍යාලය ලත් ජයග්‍රහණයයි. සුමංගල විද්‍යාලය මංගල ජයග්‍රහණය වාර්තා කරන්නේ ඊට වසර 6කට පසුව එස්. සිගේරා ගේ නායකත්වය යටතේ 1962 වසරේදීයි. 

කෙසේ වෙතත් මොරටු රන් සටන් ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රාහකයන් ලෙසින් කිරුළ දිනා ඇත්තේ 2010 වසරේ දී මොරටු විද්‍යාලය විසිනුයි. එවකට නායකත්වයේ කටයුතු කරනු ලබන්නේ අනුරුද්ධික කල්හාර යි. ශ්‍රී සුංමගල විද්‍යාලය අවසන් වරට 2007 වසරේ දී ජයග්‍රහණය කරනු ලැබ ඇති අතර එම කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ඉරේෂ් පුෂ්පකුමාර විසිනුයි.  

ශ්‍රී සුමංගල විද්‍යාලය 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier A කොටසෙන් තරග පිටියට පිවිසි ඔවුන් එම තරගාවලියේ පළමු වටයේ තරග 7ක් අවසන් කරන්නේ ඉනිම් ජයග්‍රහණ 5ක්, පූර්ණ ජයග්‍රහණයක් සහ නොවිසඳුණ තරගයක් ලෙසයි.  

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ලෙසින් වැජඹෙන්නේ දුරංක සිල්වා. ඔහු ශතක 2ක් සමඟින් ලකුණු 500ක් ඉක්මවා යමින් මෙම තරගය හා එක් වෙනවා. එමෙන් ම කණ්ඩායමේ අනෙක් ශතකලාභීන් වන ක්‍රිශාන් එරංග සහ රුසිත් එරංග ලකුණු 400ක් ඉක්මවා ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

කණ්ඩායමේ වඩාත් අවදානය දිනා ගත් ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ විශ්ව ලහිරු වෙතයි. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ජාතික කණිෂ්ට කණ්ඩායමේ කටයුතු කිරීම හේතුවෙන් එතරම් ම තරග ප්‍රමාණයකට සහභාගී නොවූව ද ජාතික තලයේ දී මෙන් ම ක්‍රීඩා කරන ලද තරග කිහිපයේ දී දැක් වූ දක්ෂතා මත මෙම තරගයේ තීරණාත්මක ක්‍රීඩකයෙක් ලෙසින් ද ඔහු හැඳින්විය හැකියි. 

ශ්‍රී සුමංගල විද්‍යාලයේ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ මෙවිඳු කුමාරසිරි. ඔහු මේ දක්වා කඩුලු 50ක් ඉක්මවා දවා ගනිමින් කණ්ඩායමට සේවය සපයා තිබෙනවා. 

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම: විදූෂ පීරිස් (නායක), කවිඳු ගයාත්‍ර (උප නායක), විශ්ව ලහිරු, අකිල වෙදමුල්ල, සෙනිර විජේගුණසිංහ, මන්මිත කහපලආරච්චි, රසික ඩිල්ශාන්, දුරංක සිල්වා, කිශාන් එරංග, මෙවිඳු කුමාරසිරි, අනූෂ ද සිල්වා, බිහඟ සිල්වා, ඩිනාල් වීරසිංහ, සංදීප වීරසිංහ රුසිත් ජයවර්ධන, නේක්ෂ ඉද්දමල්ගොඩ. 

රවීන්ද්‍ර පුෂ්පකුමාර (විදුහල්පති), ප්‍රියංකර නන්දසේන (ක්‍රිකට් භාර ආචාර්ය), අසේල  පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), දිනුක හොදකන්ද (සහාය පුහුණුකරු). 

මොරටු විද්‍යාලය 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ මොරටු විද්‍යාලය පළමු වටයේ මුහුණ දුන් තරග 8 නිමා කරන්නේ ඉනිම් ජයග්‍රහණයක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 5ක්, පරාජිත තරගයක් සහ පළමු පරාජයක් ලෙසයි.  

මොරටු විද්‍යාලයීය පිතිකරුවන් අතුරින් වඩාත් ඉදිරියෙන් පසු වෙන්නේ උප නායක ඉසුරු ප්‍රනාන්දු. ඔහු මේ දක්වා පැවැති තරගවල දී ලකුණු 600ක් ඉක්මවා ලබාගෙන තිබෙනවා. එමෙන් ම ඔහු පසු පස ම යමින් ඊට ආසන්නයෙන් දක්ෂතා දැක් වූවෙක් ලෙසින් දෙනෙත් සිතුමිණ ද රැදී සිටිනවා.  

ඔවුන්ට අමතර ව කාංචන නිම්ශාන් ලකුණු 400ක් ද, නායක මහිත් අප්පුහාමි ලකුණු 300ක් ද යන සීමා වේ සිටිමින් මොරටු විද්‍යාලය වෙනුවෙන් මෙම තරගයේ දී ලකුණු අතරට පිවිසෙතැයි සිතෙන ක්‍රීඩකයන් අතරට එක් වෙනවා.  

පන්දු යවන්නන් අතුරින් උප නායක ඉසුරු ප්‍රනාන්දු, සහ නිශිත් ප්‍රනාන්දු කඩුලු 40ක් ඉක්මවා ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වසවන්තනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා. 

මොරටු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම: මහිත් අප්පුහාමි (නායක), ඉසුරු ප්‍රනාන්දු (උප නායක), දෙනෙත් සිතුමිණ, සඳුන් සුවාරිස්, අකලංක සිල්වා, හිමාෂ් තරුශ්ක, හසිඳු ගිම්සර, කාංචන නිම්ශාන්, සිතුම් සිල්වා, සඳනෙත් සඳකැලුම්, සංජන සෙනෙවිරත්න, මලිත් පෙරේරා, ෂෙහාර සංදේශ්, නිශිත දිලංජන, විහඟ නෙත්සර, විහඟ නිම්සර. 

රුවන් අරඹේපොල (විදුහල්පති), පුබුදු ජයසූරිය (ක්‍රිකට් භාර ආචාර්ය), සංජය දිසානායක (ප්‍රධාන පුහුණුකරු), රුචිර සිල්වා (සහාය පුහුණුකරු). 

දෙවිදුහල් අතර 30 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට යෝජිතයි. නිමා වී ඇති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවලින් තරග 15ක ජයග්‍රහණ ශ්‍රී සුමංගල විද්‍යාලය සතු වන අතර තරග 12ක ජයග්‍රහණ මොරටු විද්‍යාලය සතු වෙනවා. නිමා වූ තරග අතුරින් තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසින් ද සහ අනෙක් තරගය ක්‍රීඩා කිරීමෙන් තොරව ද අවසන් ව තිබෙනවා.  

රන් සටන සඳහා එක් වෙන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට සහ මොරටු විද්‍යාලයට ThePapare.com හී සුබ පැතුම්!  

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.  

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<