ලෝක අනුශුරියන් හා ගැටෙන ශ්‍රී ලංකාව

Sri Lanka Women’s tour of South Africa

81

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය අද (27) Benoni, Willowmoore Park හි දී ආරම්භ වීමට නියමිතයි.

දිවා/රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ දී දෙරට ක්‍රීඩිකාවෝ එකිනෙකා හමුවෙන්නේ 15 වැනි වතාවටයි.

මේ දක්වා දෙරට ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 14ක දී එකිනෙකා හමු වී අතර ඉන් තරග 10ක ජයග්‍රහණ දකුණු අප්‍රිකාව ලබා ගනිද්දී, ශ්‍රී ලංකාව ඉතිරි තරග 4 ජයග්‍රහණය හිමි කර ගන්නවා.

දෙරට ක්‍රීඩිකාවෝ අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් සඳහා එක් ව ඇත්තේ 2023 වසරේදීයි. ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරගයක් වූ ඉන් තියුණු තරගයකින් අනතුරු ව ලකුණු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

කෙසේ නමුත් එම තරගාවලියේ අනූශූරියන් බවට පත් වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා.

එතැන් සිටි තරගාවලි 4ක් සඳහා එක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන්නේ නිමා වූ ජනවාරි මාසයේ දී ඔස්ට්‍රේලියාවේ කළ සංචාරයෙන් අනතුරුවයි. තරග 3කින් යුත් එම තරගාවලියේ දී 2-1ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදු වූ පසුබිමකයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ලැයිස්තුව තරග 152කින් සමන්විත අතර  ඉන් තරග 66ක ජයග්‍රහණ ඔවුන් විසින් ලබා ගනිද්දී තරග 80ක් පරාජය වී තිබෙනවා. සෙසු තරග නිමා වී තිබෙන්නේ නොවිසදුණ තරග ලෙසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බරයේ එංගලන්තයේ කළ තරග සංචාරයෙන් අනතුරුවයි. තරග 3කින් යුත් එම තරගාවලියේ දී තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 137කට සහභාගී වී ඇති අතර ඉන් තරග 43ක් ඔවුන් ජයග්‍රහණය කරද්දී තරග 90ක් පරාජය වී තිබෙනවා. අනෙක් තරග 4 ලැයිස්තු ගත වෙන්නේ නොවිසඳුණ තරග ලෙසයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුදානම

කණ්ඩායම් 2න් වඩාත් දිදුලන කාන්තාව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුයි. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 122කට ක්‍රීඩා කරමින් ඉනිම 120ක දී ලකුණු 2651ක් ලබා තිබෙනවා. ඊට 2019 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 113ක් සහ අර්ධ ශතක 8ක් ද ඇතුලත්. පන්දු යැවීමෙන් ද ඇය කඩුලු 40ක් ලබා තිබෙනවා.

හර්ෂිතා සමරවික්‍රම මෙම තරගාවලිය හා එක් වෙන්නේ විශ්වසනීය පිතිකාරිනියක් ලෙසයි. ඇය මේ දක්වා තරග 48ක දී ලකුණු 929ක් ලබා සිටිනවා. එමෙන් ම නිලක්ශි ද සිල්වා කෙරෙහි ද ද තබා ඇත්තේ එම විශ්වාසයමයි. ඇය මේ වන විට තරග 79ක දී ලකුණු 895ක් ලබා සිටිනවා.

පන්දු යවන්නියන් ලෙසින් ඉදිරියෙන් ම පසු වෙන්නේ වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර. ඇය මේ දක්වා තරග 78කට සහභාගී වෙමින් කඩුලු 88ක් ලබා සිටිනවා. ඇය ගිය වසරේ දී විස්සයි විස්ස පිටියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කරන ලද කාන්තා කණ්ඩායමේ ද සාමාජිකාවක් ලෙසින් නම් කෙරුණා.

එමෙන් ම ඊට අමතර ව සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී ද පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරනු ඇතැයි සිතිය හැකි ක්‍රීඩිකාවන් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා.

මේ අතර යොවුන් ක්‍රීඩිකාවක් ලෙසින් කණ්ඩායම හා එක් ව සිටින විශ්මි ගුණරත්න ද මෙම තරගාවලියේ දී දක්ෂතා අතරට පිවිසෙතැයි අනුමාන කෙරෙනවා. තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙසින් කවීෂා දිල්හාරි සහ ඕෂධී රණසිංහ ද පිතිකාරිනියන් ලෙසින් හසිනි පෙරේරා සහ අනුශ්කා සංජීවනී ද කණ්ඩායමේ බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාවන් ලෙසින් නම් කළ හැකියි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම:

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, නිලක්ශි ද සිල්වා, හර්ශිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, ඉමේශා දුලානි, කාව්‍යා කාවින්දි, ඉනෝශි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, ප්‍රසාදිනී වීරක්කොඩි.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ සූදානම

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 24 වැනි වියේ පසුවෙන Laura Wolvaardt වෙතයි. කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ද වන ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 64ක ඉනිම් 58ක දී ලකුණු 1451ක් ලබා තිබෙනවා. ඒ අතරට අර්ධ ශතක 10ක් ද එක් කිරීමට ඇය සමත් ව තිබෙනවා.

ඇය තම අවසන් විස්සයි විස්ස ඉනිම් 5 නිමා කරන්නේ ලකුණු 162ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය ලෙසින් 54.00ක් ලෙසින් තබා ගැනීමට ඇය සමත් වෙනවා.

ඇයත් සමඟින් මෙම තරගාවලිය සඳහා අනුශූරියන් වූ ලෝක කුසලාන කණ්ඩායමේ නායිකාව වන Sune Luus ද මෙම කණ්ඩායමට ඇතුලත්. 28 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 114කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1231ක් ද සහ කඩුලු 49ක් ද ලබා සිටින ක්‍රීඩිකාවක්.

කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර Marizanne Kapp සහ Chloe Tryon ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථාන. මේ අතුරින් Marizanne Kapp මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 100කට සහභාගී වෙමින් ලකුණු 1319ක් සහ කඩුලු 79ක් ලබා ගනිමින් මෙම තරගාවලිය සඳහා සූදානම් ව සිටින අතර Chloe Tryon තරග 94ක දී ලකුණු 1109ක් සහ කඩුලු 32ක් ලබා ගනිමින් ඊට එක් වෙනවා.

ඊට අමතර ව තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙසින් Nadine de Klerk ද සහ පිතිකාරිනියක් ලෙසින් ලකුණු අතර සිටින Tazmin Brits ද මෙම කණ්ඩායම හා එක් ව සිටින අතර කෝඩුකාරිනියක් ලෙසින්  Karabo Meso ද මෙම කණ්ඩායමේ අසුන්ගෙන සිටිනවා.

දකුණු අප්‍රිකා විස්සයි විස්ස කාන්තා සංචිතය:

Laura Wolvaardt (නායිකාව), Sinalo Jafta (කඩුලු රකින්නිය), Karabo Meso (කඩුලු රකින්නිය), Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Sune Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Chloe Tryon.

මෙම තරගයේ දී කණ්ඩායම් 2 ක්‍රීඩිකාවන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම්,

චමරි අතපත්තු: විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීමට අවශ්‍ය තවත් කඩුලු 10ක් පමණයි.

හර්ෂිතා සමරවික්‍රම: විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 50ක් සම්පූර්ණ කිරීම සඳහා ඇත්තේ තවත් තරග 2ක් පමණක් වන අතර ලකුණු 1000ක් සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් ලකුණු 71ක් පමණයි.

නිලක්ශි ද සිල්වා: විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1000ක් ලබා ගැනීමට අවශ්‍ය තවත් ලකුණු 105ක් පමණයි.

සුගන්දිකා කුමාරි: විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ලබා ගැනීමට අවශ්‍ය තවත් කඩුලු 3ක් පමණයි.

Ayabonga Khaka: විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනිමට තවත් අවශ්‍ය කඩුල්ලක් පමණයි.

Sune Luus: විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුල්ලක් ලබා ගැනීමට අවශ්‍ය තවත් කඩුල්ලක් පමණයි.

Tazmin Brits: විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 50කට සහභාගී විමට තවත් අවශ්‍ය තරග 2ක් පමණයි.

Nadine de Klerk: විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 50කට සහභාගී විමට තවත් අවශ්‍ය තරග 2ක් පමණයි.

තරග කාලසටහන

  • මාර්තු 27: පළමු විස්සයි විස්ස තරගය, Willowmoore Park, Benoni
  • මාර්තු 30: පළමු විස්සයි විස්ස තරගය, Potchefstroom
  • අප්‍රේල් 03: පළමු විස්සයි විස්ස තරගය, East London

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. එම තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<