ධනංජයගේ ගැන්සිය බංගලියන් මෙල්ල කිරීම

Sri Lanka Tour of Bangladesh 2024

70
Sri Lanka Tour of Bangladesh Feature

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ පළමු ටෙස්ට් තරගය නිමා වෙන්නේ ලෝක ඉතිහාසයට මෙන් ම මෙරට ක්‍රිකට් ඉතිහාසයට ද වාර්තා රැසක් ම එක් කරමිනුයි.

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණිමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා. එමෙන් ම මෙම තරග ජයග්‍රහණය ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද 20 ටෙස්ට් තරගය ජයග්‍රහණයයි. 

කෙසේ වෙතත් නිමා වූ තරගයේ දී සුවිශේෂී අවධානයක් දිනා ගත් ක්‍රීඩකයන් අතර නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සමත් වෙද්දී වේග පන්දු යවන්නෝ ද මෙම වාර්තාවන් අතරට එක් වීම විශේෂත්වයක්.  

පළමු තරගය, Sylhet, 22-25 මාර්තු 2024, Sri Lanka Tour of Bangladesh 

  • කාසියේ වාසිය – බංග්ලාදේශය 
  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, Sylhet 
  • තරගයේ වීරයා – ධනංජය ද සිල්වා 

ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 280 (68.0) ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, Khaled Ahmed 3/72, Nahid Rana 3/87 

 

බංග්ලාදේශය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 188 (51.3) Taijul Islam 47, විශ්ව ප්‍රනාන්දු 4/48, කසුන් රාජිත 3/56, ලහිරු කුමාර 3/31 

 

ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 418 (110.4) කමිඳු මෙන්ඩිස් 164, ධනංජය ද සිල්වා 108, දිමුත් කරුණාරත්න 52, Mehidy Hasan Miraz 4/74 

 

බංග්ලාදේශය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 182 (49.2) Mominul Haque 87, කසුන් රාජිත 5/56, විශ්ව ප්‍රනාන්දු 3/36, ලහිරු කුමාර 2/39 

 

ශ්‍රී ලංකාවට ලකුණු 328ක ජයක්.  

328: ශ්‍රී ලංකාව මෙම තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණය මෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණුවලින් ජයග්‍රහණය ලද තරග අතර 2 වැනි ස්ථානයට පත් වූවා.  

එහි පළමු ස්ථානයේ රැදී තිබෙන්නේ 2009 වසරේ දී Chattogram හී දී බංග්ලාදේශයට ම එරෙහි ව ලකුණු 465කින් ලද ජයග්‍රහණයයි.  

528: මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිම 2 දී ලකුණු 698ක් ලබා ගන්නා ලද අතර ඉන් ලකුණු 528ක් ම ලබා ගන්නේ 5 වැනි කඩුල්ල දැවී ගිය පසුවයි. 5 වැනි කඩුල්ලෙන් පසුව එවන් ලකුණු ලැයිස්තුවේ පළමු අසුන එම තරගයට හිමි වූවා.  

ඊට පෙර මෙම වාර්තාව රැදී තිබුණේ 2016 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ SSC පිටියේ දී වාර්තා වූ ලකුණු 520යි. එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී ලකුණු 355ක් ලබා ගන්නේ 5 වැනි කඩුල්ල ලකුණු 26 දී අහිමි වෙමින් වන අතර සහ දෙවැනි ඉනිමේ දී  කඩුලු 8ක් දැවී ලකුණු 347ක් ද ලබා ගන්නේ 5 වැනි කඩුල්ල ලකුණු 156දී දැවී ගොස් තිබු අනතුරුවයි.   

292: මෙම තරගයේ 2 වැනි ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 6 වැනි කඩුල්ල අහිමි වූ පසුව ලකුණු 292ක් ලබා ගන්නවා. එය එම අවස්ථාවක දී ශ්‍රී ලංකා කණ්ඩායම පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද වාර්තා අතරට එක් වූවා.  

ඊට පෙර මෙම දක්ෂතාවේ රැදී තිබුණේ 2007 වසරේ දී කොළඹ SSC පිටියේ දී කඩුලු 6ක් දැවී ලකුණු 354ක් තිබූ පසුව ලබා ගත් ලකුණු 223යි. මෙම ලකුණු ප්‍රමාණය නොදැවී වාර්තා වීම කැපී පෙණුන අතර එහි දී ප්‍රසන්න ජයවර්ධන (120*) සහ චමින්ද වාස් (100*) පිටියේ රැදී සිටිමින් මෙම දක්ෂතාවට දායක වූවා.  

100×4: ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් තරගයක දී ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් ශතක 2ක් බැගින් ශතක 4ක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වන අතර එය ලෝක ඉතිහාසයේ තෙවැනි තැනට පත් දක්ෂතාවයි.  

එහි පළමු ස්ථානය 1974 වසරේ දී ඔස්ට්‍රේලියාවේ Ian Chappell (145 සහ 121)  සහ Greg Chappell (247 සහ 133) නවසීලන්තයට එරෙහිව පෑ දක්ෂතාව රැදී ඇති අතර 2 වැනි ස්ථානය 2014 වසරේ දී පාකිස්තානයේ Azhar Ali (109 සහ 100*) සහ Misbah-ul-Haq (101 සහ 101*) එක් ව ඔස්ට්‍රේලියාවට එරෙහි ව පෑ දක්ෂතාව සටහන් වෙනවා.  

100×2: මෙම තරගයේ දී ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ඉනිම 2 දී ශතක වාර්තා කිරිම මෙරට ඉතිහාසයට එක් වෙන්නේ එවන් දක්ෂතාවක් කළ 8 වැනි සහ 9 වැනි අවස්ථාව ලෙසයි.  

අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර අවස්ථා 2ක් බැගින් එවන් දක්ෂතා සිදු කරමින් මෙම ලැයිස්තුව හා එක් ව සිටීම විශේෂත්වයක්. 

මෙරට ටෙස්ට් ඉතිහාසයේ ඉනිම 2 දී ම ශතක වාර්තා වූ අයුරු 
  Player  1st inn  2nd Inn  Opposition  Ground  Year 
1  දුලිප් මෙන්ඩිස්  105  105  ඉන්දියාව   Chennai  1982 
2  අසංක ගුරුසිංහ  119  102  නවසීලන්තය  Hamilton  1991 
3  අරවින්ද ද සිල්වා  138*  103*  පාකිස්තානය  SSC  1997 
4  අරවින්ද ද සිල්වා  146  120  ඉන්දියාව  SSC  1999 
5  ටී. එම්. ඩිල්ශාන්   162  143  බංග්ලාදේශය  Chattogram  2009 
6  කුමාර් සංගක්කාර  142  105  බංග්ලාදේශය  ගාල්ල  2013 
7  කුමාර් සංගක්කාර  319  105  බංග්ලාදේශය  Chattogram  2014 
8  ධනංජය ද සිල්වා   102  108  බංග්ලාදේශය  Sylhet  2024 
9  කමිඳු මෙන්ඩිස්   102  164  බංග්ලාදේශය  Sylhet  2024 

102+108: මෙම තරගයේ දී ධනංජය ද සිල්වා විසින් ඉනිම දෙකේ දී රැස් කරන ලද ශතක 2, මෙරට ඉතිහාසයේ ටෙස්ට් නායකයෙක් විසින් වාර්තා කරන ලද පළමු අවස්ථාවයි.  

102: කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරග දිවියේ මංගල ශතකය වූයේ මෙයයි.  

164: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේ දී වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

100×2: කමිඳු මෙන්ඩිස් මෙම තරගයේ දී ලබා ගන්නා ලද ශතක ද්විත්වය මෙරට ක්‍රීඩකයෙක්, අඩු ම තරග ප්‍රමාණයක එක් තරගයක දී වාර්තා කරන ලද ශතක 2 බවට පත් වුනා. කමිඳු මේ දක්වා සහභාගී වී ඇත්තේ ටෙස්ට් තරග 2ක ඉනිම් 3කට පමණයි.  

327: කමිඳු ගේ එම ඉනිම් 3 තම ටෙස්ට් තරග දිවියේ මංගල ඉනිම් 3 වන අතර එය මෙරට ඉතිහාසයේ කෝඩුකාර පිතිකරුවෙක් ඉනිම 3ක දී පෑ ඉහළ ම දක්ෂතාව ලෙස ද ඉතිහාසයට එක් වුනා.   

එහි ලෝක ඉතිහාසයේ කමිඳුට හිමි වෙන්නේ තෙවැනි ස්ථානයයි. එහි පළමු ස්ථානය 1903 වසරේ දී තම පළමු ඉනිම් 3 දී ලකුණු 355ක් ලබා ගත් එංගලන්තයේ Tip Foster  සතු වෙනවා. ඔහු මේ ගමන ආරම්භ කරන්නේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තම මංගල තරගයේ දී ද්විත්ව ශතකයක් ද එක් කර ගනිමිනුයි.  

එහි 2 වැනි ස්ථානය හිමි වෙන්නේ 1972 වසරේ දී තම පළමු ඉනිම් 3 දී ලකුණු 336ක් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Lawrence Rowe වෙතයි. ඔහු මේ වෙනුවෙන් පළමු තරග ද්විත්වයේ දී පිළිවෙළින් ද්විත්ව ශතකයක් සහ ශතකයක් ලබා ගන්නවා.  

7s: ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ අංක 7 ස්ථානයෙන් හෝ ඊට පසුව පිටියට පිවිස තරගයක ඉනිම් 2 දී ම ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේ කමිඳු මෙන්ඩිස්.  

266: කමිඳු මෙන්ඩිස් මෙම තරගයේ ඉනිම දෙකේ දී රැස් කර ගන්නා ලද ලකුණු ප්‍රමාණය අංක 7 ස්ථානයෙන් හෝ ඊට ඉහළින් පිටියට පිවිස ලෝක ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් දෙවැනි වන්නේ 1937 වසරේ දී ඔස්ට්‍රේලියාවේ Donald Bradman එංගලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 270ට පමණයි.  

375: ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් එක් ව මෙම තරගයේ ඉනිම 2 දී ම ලකුණු 150කට වැඩියෙන් ලකුණු සබඳතාවන් එක් කිරීමට සමත් වෙනවා. එහි එකතුව වූ මෙම ලකුණු 375 ලෝක ටෙස්ට් ඉනිම් සබඳතාවන් අතර තෙවැනි ස්ථානයට පත් වෙනවා.  

එහි පළමු අසුන 1938 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයේ Paul Gibb සහ Eddie Paynter එක් ව ලබා ගත් ලකුණු 352ට ද සහ දෙවැනි අසුන 2015 වසරේ දී නවසීලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ Joe Burns සහ David Warner එක්ව ලබා ගන්නා ලද ලකුණු 398ට ද හිමි වෙනවා.  

  • එමෙන් ම මෙම ලකුණු සබඳතාව ලෝක ඉතිහාසයේ 6 වැනි කඩුල්ලේ හෝ ඊට ඉහළ කඩුලු සබඳතාවන් අතර ද තෙවැනි තැනට ලැයිස්තු ගත වූ දක්ෂතාව බවට ද පත් වූවා. 

එහි පළමු ස්ථානය 2016 වසරේ දී එංගලන්තයේ Jonny Bairstow සහ Ben Stokes විසින් ලබා ගන්නා ලද ලකුණු 399ට ද සහ 2 වැනි ස්ථානය 2015 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයේ Bradley-John Watling සහ Kane Williamson එක් ව ලබා ගන්නා ලද ලකුණු 384ට ද හිමි වෙනවා.  

10×2: මෙම තරගයේ දී බංග්ලාදේශ ඉනිම් 2 සියලු කඩුලු දවා ගන්නේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසිනුයි. එවන් දක්ෂතාවක් ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ වසර 38කට පසුව වීම විශේෂත්වයක්.  

නිමා වූ තරගයේ පළමු ඉනිමේ දී විශ්ව ප්‍රනාන්දුට ලකුණු 48කට කඩුලු 4ක්, කසුන් රාජිතට ලකුණු 56කට කඩුලු 3ක් සහ ලහිරු කුමාරට ලකුණු 31කට කඩුලු 3ක් ද සහ දෙවැනි ඉනිමේ දී විශ්ව ප්‍රනාන්දුට ලකුණු 36කට කඩුලු 3ක්, කසුන් රාජිත ලකුණු 56කට කඩුලු 5ක් සහ ලහිරු කුමාරට ලකුණු 39කට කඩුලු 2ක් ලෙසින් බෙදී ගියා.  

මිට පෙර ශ්‍රී ලංකාව මෙම දක්ෂතාව සිදු කරන්නේ 1986 වසරේ මාර්තු මාසයේ දී පාකිස්තානයට එරෙහිව කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ දී දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර පාකිස්තානයේ නායකයා වූයේ  Imran Khan.  

තරගයේ පාකිස්තාන පළමු ඉනිමේ දී අසන්තා ද මෙල් ලකුණු 39කට කඩුලු 3ක්, කෝසල කුරුප්පුආරච්චි ලකුණු 44කට කඩුලු 5ක් සහ රවී රත්නායක ලකුණු 29කට කඩුලු 2ක් දවා ගන්නවා.  

අනතුරුව දෙවැනි ඉනිමේ දී ද ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තාන ඉනිම අවසන් කරද්දී අසන්තා ද මෙල්ට ලකුණු 79කට කඩුලු 3ක්, කෝසල කුරුප්පුආරච්චිට ලකුණු 41කට කඩුලු 2ක් සහ රවී රත්නායකට ලකුණු 37කට කඩුලු 5ක් ලෙසින් බෙදී යනවා. 

මෙම තරගයේ දී ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් දොන් අනුරසිරි කටයුතු කළ අතර ඔහු ඉනිම දෙකේ දී ම යවන්නේ පන්දු වාර 4ක් පමණයි.  

8/112 (30.0): කසුන් රාජිත මෙම තරගයේ ඉනිම 2 දී කඩුලු 12ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වුනා.  

ඊට පෙර ඔහුගේ දක්ෂතා ලැයිස්තුවේ මෙම ස්ථානය හිමිව තිබුණේ 2022 වසරේ දී බංග්ලාදේශයට ම එරෙහි ව Mirpur හි දී පන්දුවාර 40.2ක දී ලකුණු 104කට දවාගත් කඩුලු 7යි.  

0/70 (16.0): නිමා වූ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ ප්‍රභාත් ජයසූරිය ඉනිම 2 දී ම පන්දු වාර 16ක් යවනු ලැබූව ද ඔහුට කිසිදු කඩුල්ලක් හිමි වෙන්නේ නැහැ. ඔහුගේ තරග 11කින් යුත් ටෙස්ට් දිවියේ කඩුල්ලක් දවා ගත නොහැකිව නිමා වූ පළමු තරගය මෙයයි. 

තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 30 වැනි දා ආරම්භ වීමට නියමිතයි.  

එම තරගයේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<