ඇතුලත්මුදලි කුසලානය Colombo ජාත්‍යන්තරයට

74
Lalitha Athulathmudali Memorial Cup Match

කොළඹ Whycherley ජාත්‍යන්තර පාසල සහ Colombo ජාත්‍යන්තර පාසල අතර “ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ කුසලානය” වෙනුවෙන් 27 වැනි වරටත් පැවැති වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo ජාත්‍යන්තර පාසල සමත් වූවා.

කොළඹ 7, වෙළඳ සේවා සංගම් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Whycherley ජාත්‍යන්තර පාසල් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 213ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී Colombo ජාත්‍යන්තර පාසල් කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය සහතික කර ගත්තා.

27th Encounter, Limited Over, කොළඹ, 23 මාර්තු 2024

o කාසියේ වාසිය – Whycherley ජාත්‍යන්තර පාසල

o ක්‍රීඩාංගණය – වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ.

Whycherley ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – ඉන්ෆාස් රියාස් (නායක), සුභාරත් රත්නායක (කඩුලු රකින්නා), ටුජාන් වෙත්තසිංහ, නවින් රාජපක්ෂ, අම්රින් ඉස්මත්, විදුර්ශාන් කන්දරාජා, ටනුජ් කන්දරාජා, ස්ටීව් රාජේන්ද්‍රන්, ස්ටෙශාන් ඇන්ඩෲ, ප්‍රනීත් චන්ද්‍රකුමාර, හම්ඩන් මොයිනුදින්.

Colombo ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – ශිවෙන් ලක්සුමනගේ (නායක), බෝසිත් විජේසුන්දර, ආරන් වික්‍රමසිංහ, විශේන් ගුණසේකර (කඩුලු රකින්නා), චක්ෂු ප්‍රේමරත්න, නිඛිල් පීරිස්, මෙතුක සමරසිංහ, සුබිට්ශාන් චන්ද්‍රමොහාන්, භනුර කරුණානායක, ආදිත්‍ය රමෝගන්, ලිසත් හෙට්ටිආරච්චිගේ.

කාසියේ වාසිය දිනා ගත් Whycherley ජාත්‍යන්තර පාසල් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසිය ද ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 10ක් ලබා තිබිය දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වූවා.

නමුත් එම අවාසනාවන්ත තත්ත්වය දෙවැනි කඩුල්ලේ දී පළවා හැරීමට ආරම්භක පිතිකරු සුභාරත් රත්නායක සහ නවීන් රාජපක්ෂ සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවක් ගොඩ නගනවා.

එම කඩුල්ලේ සබඳතාව සුභාරත් රත්නායක ගේ දැවී යෑමත් සමඟින් බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.

අනතුරුව නවීන් රාජපක්ෂ හා එක් වූ අම්රින් ඉස්මත් තෙවැනි කඩුල්ලට ද සාර්ථක ලකුණු සබඳතාවක් එක් කළා. එවර ඔවුන්ගේ එකතුව ලකුණු 78ක්. අම්රින් ඉස්මත් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44කට දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳ වැටුණා.

නවීන් රාජපක්ෂ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත් අතර එය ඉනිමේ පිතිකරුවෙක් ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.

කඩුලු දවා ගැනීමේ දී ලිසත් හෙට්ටිආරච්චි ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මෙතුක සමරසිංහ කඩුලු 2ක් ද සහ භනුර කරුණානායක සහ ආරන් වික්‍රමසිංහ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

Colombo ජාත්‍යන්තර පාසලේ පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ බෝසිත් විජේසුන්දර සහ ආරන් වික්‍රමසිංහ. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩ නගනවා. එම සබඳතාව බිඳී යන්නේ බෝසිත් විජේසුන්දර ලකුණු 18කට දැවී යෑමත් සමඟයි.

ඒ වෙද්දී ඔහු පන්දු 35කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3ක් ඊට එක් කර තිබුණා. එම කඩුල්ල දැවී යෑමත් සමඟින් තවත් ලකුණු 7ක් ඇතුලත කඩුලු 2ක් දවා ගැනීමට ප්‍රතිවාදී  Whycherley පන්දු යවන්නෝ සමත් වූවා.

එම අවස්ථාවේ දී සිවු වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කරමින් Colombo කණ්ඩායම නැවත පෙරට ගෙන ඒමට ආරන් වික්‍රමසිංහ සහ චක්ෂු ප්‍රේමරත්න සමත් වූවා. චක්ෂු ප්‍රේමරත්න පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගනිමින් සිවු වැනි කඩුල්ල සඳහා දැවී ගියා.

අනතුරු ව නැවතත් ප්‍රතිවාදීන්ගේ ජයග්‍රාහී සිහිනය පසු පසට ඇද දැමීමට ආරන් වික්‍රමසිංහ සහ නිඛිල් පෙරේරා සමත් වූවා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතවාක් එක් කළා.

නිඛිල් පෙරේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත් අතර ආරන් වික්‍රමසිංහ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වන විට පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ස්ටීව් රාජේන්ද්‍රන් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ඉන්ෆාස් රියාස් සහ ටනුජ් කන්දරාජා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Whycherley ජාත්‍යන්තර පාසල – සියලුම දෙනා දැවී 213 (49.5) සුභාරත් රත්නායක 33, නවින් රාජපක්ෂ 77, අම්රින් ඉස්මත් 44, ලිසත් හෙට්ටිආරච්චි 3/21, මෙතුක සමරසිංහ 2/54

Colombo ජාත්‍යන්තර පාසල – කඩුලු 6ක් දැවී 215 (47.3) බෝසිත් විජේසුන්දර 18, ආරන් වික්‍රමසිංහ 79, චක්ෂු ප්‍රේමරත්න 33, නිඛිල් පීරිස් 42, ස්ටීව් රාජේන්ද්‍රන් 3/37

Colombo ජාත්‍යන්තර පාසලට කඩුලු 4ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – විදුර්ශාන් කන්දරාජා (Whycherley ජාත්‍යන්තර පාසල)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ලිසත් හෙට්ටිආරච්චි (Colombo ජාත්‍යන්තර පාසල)
  • තරගයේ දක්ෂතම පිතිකරු – නවින් රාජපක්ෂ (Whycherley ජාත්‍යන්තර පාසල)
  • තරගයේ වීරයා – ආරන් වික්‍රමසිංහ (Colombo ජාත්‍යන්තර පාසල)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<