කමිඳු සහ ධනංජය වාර්තා පිට වාර්තා තබයි

Sri lanka Tour of Bangladesh 2024

120
Sri lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමා වන විට තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම පාහේ ශ්‍රී ලංකාවට නතු කර දීමට ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් යුගලය විසින් සමත් වුනා.

ඊයේ (23) දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබා සිටි අතර, අද (24) දිනය ආරම්භයේ දී ම සැඳෑ පිතිකරු ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 4කට නිමා වුනා. ඉන් පසුව පළමු ඉනිමේ ද්විත්ව ශතක සබඳතාවක් කරා ගිය කමිඳු – ධනංජය සුසංයෝගය පිටියේ එක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් මෙවරත් ශ්‍රී ලංකා ඉනිම ඉහළින් ම ඔසවා තැබීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා පිටියේ එක් වන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා සිටි අතර, ඉන් පසුව එම යුගලය අතරේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැගුණා.

මෙහි දී පිට පිටම දෙවැනි වරටත් ශතකයක් ලබා ගැනීමට සමත් වූ ධනංජය ද සිල්වා ලකුණු 108කට දැවී යාමත් සමඟ එම සබඳතාව නිමා වූ අතර, පන්දු 179කින් වාර්තා වූ ධනංජයගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 2කින් වර්ණවත් වුනා.

2014 වසරේ දී කුමාර් සංගක්කාර විසින් බංග්ලාදේශයට එරෙහිව ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එවන් දස්කමක් පෑ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමට ධනංජය මෙහි දී සමත් වූ අතර, එවැනි දස්කමක් පෑ අට වැනි ශ්‍රී ලාංකිකයා මෙන්ම, පළමු ශ්‍රී ලාංකික ටෙස්ට් නායකයා බවට පත් වීමට ද ඔහුට හැකියාව ලැබුණා.

ධනංජයගේ දැවී යාමෙන් අනතුරුව කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන් සමඟ ඉනිමට තවත් ලකුණු 119ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී ප්‍රභාත් ජයසූරියගේ පිත්තෙන් ඉනිමට ලකුණු 25ක් එක් වූ අතර, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරු ලෙස දැවී ගිය කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් ලබා ගැනීමට සමත් වුනා.

හයේ පහර 6ක් සහ හතරේ පහර 16 සමඟ දියත් වූ මෙම ඉනිම සමඟ එකම ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ ම ශතක වාර්තා කළ නව වැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට කමිඳු මෙහි දී සමත් වුනා. එමෙන්ම එකම  ටෙස්ට් තරගයක දී මෙසේ පිතිකරුවන් දෙදෙනෙකුම ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කිරීමට සමත් වූ තෙවන අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

මීට පෙර Greg Chappell සහ Ian Chappell විසින් 1974 දී නවසීලන්තයට එරෙහිව සහ Azhar Ali සහ Misbah-ul-Haq 2014 දී එම දස්කම දැක්වීමට සමත් වුනා.

එමෙන්ම මෙම ඉනිම් දෙක සමඟින් කමිඳු විසින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත් වූ අතර, ඒ අනුව ලෝක ටෙස්ට් ඉතිහාසයේ අංක හත හෝ ඊට පහළ පිතිකරණ ස්ථානයක ක්‍රීඩා කරමින් ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කළ ලොව පළමු වැන්නා බවට පත් වීමට කමිඳුට මෙහි දී හැකියාව ලැබුණා.

කමිඳු පළමු ඉනිමේ අංක 07 පිතිකරු ලෙස සහ දෙවන ඉනිමේ අංක 08 පිතිකරු ලෙසයි පිටියට පිවිසුණේ.

කෙසේ නමුත් මෙහි දී ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස තවත් ඉපැරණි ලෝක වාර්තා යුගලයක් අහිමි වී යාමත් අමතක කළ නොහැකියි.

ටෙස්ට් තරගයක අංක හත හෝ ඊට පහළ ස්ථානයක පිතිකරණයේ යෙදෙමින් ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණයේ වාර්තාව 1937 වසරේ දී ලකුණු 270ක් ලබා ගත් ශ්‍රීමත් Don Bradman හට හිමි වී ඇති අතර, කමිඳු මෙම තරගයේ දී වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 266ක් පමණයි.

එමෙන්ම මංගල ටෙස්ට් ඉනිම් තුන අවසානයේ ඉහළම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසු වන්නේ 1904 වසරේ දී ලකුණු 355ක් ලබා ගත් එංගලන්තයේ R.E.Foster වන අතර, ඉනිම් තුනක් නිමාවේ දී කමිඳුගේ මුළු ටෙස්ට් ලකුණු ප්‍රමාණය සටහන් වන්නේ ලකුණු 327ක් ලෙසයි.

මෙම සියලු වාර්තා සමඟින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 418කට සීමා වුනේ බංග්ලාදේශයට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 511ක අති දැවැන්ත ඉලක්කයක් ලබා දෙමිනුයි.

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා බංග්ලාදේශ පිතිකරුවන් අද සවස් වරුවේ සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා ගනිමින් ඉතා අසීරු අඩියකට වැටී සිටියා.

මෙහි දී විශ්ව ප්‍රනාන්දු බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර, ලහිරු කුමාර සහ කසුන් රාජිත අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව බංග්ලාදේශයට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 464ක් අවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ කඩුලු 5ක් පමණයි.

තරගයේ සිව් වැනි දිනය හෙට (25) ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම තරගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<