ධනංජය සහ කමිඳු ද්විත්ව ශතක සබඳතාවක

Sri Lanka Tour of Bangladesh 2024

104

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (22) ආරම්භ වුනා. 

බංග්ලාදේශයේ Sylhet හිදි අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා සතු වූ අතර ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි. 

ශ්‍රී ලංකාව: 

නිශාන් මදුශ්ක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (wk), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (capt), කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලහිරු කුමාර  

බංග්ලාදේශය: 

Mahmudul Hasan Joy,  Zakir Hasan, Najmul Hossain Shanto (capt), Mominul Haque, Shahadat Hossain, Litton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Nahid Rana, Shoriful Islam 

බංග්ලාදේශ නායකයාගේ ඇරයුමෙන් ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසුනත් කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ අන්දමින් ශ්‍රී ලංකා මුල් පෙළ ඉතා ඉක්මනින් බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් සමත් වුනා. 

ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව වන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 57ක් පමණක් ලබා ගැනීමට සමත් වී සිටියා. නමුත් මේ මොහොතේ දී කලකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඉඩ ලබා ගත් කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා විසින් ශ්‍රී ලංකා ඉනිමට ගෞරවනීය ලකුණු පුවරුවක් වෙත යාමේ අවකාශය සලසා දුන්නා. 

මෙහි දී ධනංජය සහ කමිඳු අතරේ ඉනිමේ 06 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 202ක වටිනා සබඳතාවක් ගොඩ නැඟුණු අතර, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ කමිඳුගේ ඉනිම ලකුණු 102කට සීමා වීමත් සමඟ ඔවුන්ගේ සබඳතාව ද නිමාව දුටුවා. 

පන්දු 127ක් තුළ වාර්තා වූ කමිඳුගේ මෙම ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා. කමිඳුගේ දැවී යාමෙන් සුළු මොහොතකට පසු ධනංජයගේ ඉනිම ද ලකුණු 102කින් නතර වූ අතර, පන්දු 131ක් තුළ වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුනා. 

මෙම සබඳතාව බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ පසු පෙළ පිතිකරුවන් ද නැවතත් ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බංගලාදේශ පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගැනීමට Khaled Ahmed සහ Nahid Rana විසින් සමත් වුනා. 

ඒ අනුව අද දිනයේ අවසන් තරග සැසියේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 280ට සීමා වූ අතර, ඒ වෙනුවෙන් පිළිතුරු සැපයීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශය මුල් පෙළ පිතිකරුවන් ද ශ්‍රී ලංකාවට නොදෙවෙනි අසීරු තත්වයකට පත් වෙද්දී අද දිනයට තරගය නතර වුනා. 

දිනය නිමා වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටි අතර මෙහි දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවන දිනය හෙට ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම තරගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<