Main Logo

Thursday 21 March 2024

මගේ හිතලු හා සුගීශ්වරගේ අත්දැකීම්

 

මගේ හිතලු හා සුගීශ්වරගේ අත්දැකීම්

 

ගෝඨාභය රාජපක්‍ෂ ගැන මා ලියන්නේ හිතලු බව එක් පඬි නැට්ටකු කියා තිබුණා. මා ගෝඨාභය මුණ ගැසී ඇත්තේ දින දෙක තුනක් පමණයි. වචන සීයක් විතර කතා කර ඇති. මා ලියන්නේ හිතලු බව ඇත්තයි. ඒත් මා කී බොහෝ දේ ගෝඨාභය රාජපක්‍ෂගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරත් සාකච්ඡා වාර දෙකක දී කියා තිබුණා. හිතලු වැඩ කරනවා කියා බැලීමයි කෙරෙන්න ඕන. තවත් අයකු මෙසේ කියා තිබුණා.

 

"මහින්ද මහතාට තෙවරකුත් ගෝඨාභය මහතාට වරකුත් ඡන්දය දුන්නේ රටේ ඒකීය භාවය වෙනුවෙනුයි . සිංහල බෞද්ධත්වය රැක ගැනීම අපේක්ෂා කළත් එයත් දෙවැනි තැනටයි සැළකුවේ . වෙඬරුවේ හිමියන් අපේක්ෂා කළ දේමයි අපත් ඔහු ගෙන් පැතුවේ . ඔහුට එරෙහිව ඡන්දය ඉල්ලීම ගැන භීතියක් දැනුණු ප්‍රතිපක්ෂ අපේක්ෂයා ඔහුට දුරකථනයෙන් කතා කොට ඔහු සමඟ සංහිඳියාවක් ඇති කර ගැනීමට උත්සාහ කළ බව වීරවංශ මහතා කිව්වා . එදා පවා එම භීතිය නොසිඳෙන පරිදි කතා කළ යුතුව තිබුණා . සතුරු මිතුරු සැම දෙනා තුළ ඔහු ගැන තිබුණු මහා ප්‍රතිරූපය බිඳ ගත්තේත් ඔහුමයි . ඔහු බලයට එන්න ප්‍රථම උද්ඝෝෂකයන් සැළකුම් ලැබුවේ ජල ස්නාන හා එයාර් ප්‍රෙෂ්නර් සංග්‍රහයෙන් හා පොදු දේපොළ හානි කිරීමේ චෝදනාවෙන් . කොතලාවල විශ්වවිද්‍යාලයයට අනෙක් විශ්වවිද්‍යාලයන්ට හිමි තත්ත්වය ලබා දීමට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණයට කළින් පැවැති රජය සමාන අවස්ථාවලදී ක්‍රියා කළ ආකාරයටත් වඩා හොඳට සංග්‍රහ කළා නම් ඊට පසු ඇති වූ ගුරු උද්ඝෝෂණවත් , පරගලයවත් ඇති වෙන්නේ නෑ .”

 

මා වීරවංශ මහතා කියන දේ එතරම් පිළිගන්නේ නැහැ. ඔහු හොඳ ගැලරි කථිකයකු බව නම් පිළිගන්නවා. ඔහුට යම් ජාතිකත්වයක් තියෙනවා. පහුගිය දා පාර්ලිමේන්තුවේ දී ඔහු දෙමළ වෙල්ලාල නාඩගමට විරුද්ධ කතා කර තිබුණා. එහෙත් ඔහු කියන යාඥා කතා මා පිළිගන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන් පිළිගන්නවා ඇති. මා ගැන එතරම් උනන්දු වන්නේ නැහැ.

 

මා පිළිගන්නවා ගෝඨාභය තදින් හිටියා නම් ඔහුට තව ටිකක් කල් ජනාධිපති ලෙස ඉන්න තිබුණා කියා. එහෙත් ඔහු බලයට පත් වූ දින සිට ක්‍රියා කෙළේ ඊනියා මානව අයිතිවාසිකම් සුරැකීමට ප්‍රධානත්වය දෙමින්. එසේ කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔය මානව අයිතිවාසිකම් කිසිම රටක් මුළුමනින් රකින්නේ නැහැ. මානව අයිතිවාසිකම් කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වගේ තවත් එකමත් එක රටක ක්‍රියාත්මක වෙන කරුණක් පමණයි. කෙසේ වෙතත් බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වී තිබුණේ ගෝඨාභය කොක්කෙන් හරි කෙක්කෙන් හරි නෙරපන්න. ඔහුටත් මහින්දටත් ගඩාෆිට මෙන් සලකන්න.

 

මා සුගීශ්වර බණ්ඩාර හොඳින් දන්නේ නැහැ. මා ඔහුත් හමුවී ඇත්තේ දින දෙක තුනක් පමණයි. ඔහු සමගත් එතරම් කතාබහක් තිබී නැහැ. ඔහුගේ අයියා ජානක බණ්ඩාර නම් හොඳින් දන්නවා. එහෙත් සුගීෂ්වර කියන කතා බොහොමයක් මා හිතූ දේ. ඔහු මාර්තු 31 මැයි 9 හා ජූලි 9 ගැන කියනවා. දිනවල උත්සාහය තිබුණේ මහින්දට හා ගෝඨාභයට ගඩාෆි ඉරණම අත්කිරීමටයි. මාර්තු 31 මිරිහානට පැමිණි පිරිසට අවශ්‍යතාව තිබුණා. ඔවුන් මුස්ලිම් කියා මා දන්නේ නැහැ. කවුරු වුණත් සිංහල බෞද්ධ විරෝධීන්. මැයි 9 අරලියගහ මන්දිරයෙන් මහින්දටත් යන්න පිළියෙළ කරල තිබුණෙ ගඩාෆි ගිය විධියට යන්න. එහෙත් හමුදා ඛණ්ඩයක් ක්‍රියාත්මක වීම නිසා වැළකී තියෙනවා. එදා සිදු වූ ගෙවල් ගිනිතැබීම් මිනීමැරුම් අහම්බයකින් සිදු වූ දෑ නොවෙයි.

 

ජූලි 9ත් එහෙමයි. අප්‍රේල් 9 මැයි 9 ජූලි 9 දින තේරීමත් අහම්බයක් නොවෙයි. ඔය කියන ජනතාව නවවැනිදාවක් වෙනකම් ඇඟිලි ගණන් කරමින් සිටි අය වෙන්න බැහැ. ඒ් අවස්ථාවලත් මාර්තු 31 වැනි දා මිරිහානේදීත් ඇතැම් හමුදා නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ හමුදා නිලධාරීන් ලෙස නොවෙයි. ඔවුන් උද්ඝෝෂකයන්ට මානව හරි මොකක් හරි නිදහස දීල. එක් පඬි නැට්ටකු කියල තිබුණ අණ දීම කළ යුතු තිබුණේ සේනාධිනායක හැටියට ගෝඨාභය කියා! අණ දීම මාණ්ඩලික ප්‍රධානියාගෙන් පහළට නොගියෙ ඇයි කියා සුගීෂ්වරගෙන් අහල වැඩක් නැහැ. ඔහු දන්නෙ අණ පහළට ගියෙ නැති එක පමණයි.

 

සුගීෂ්වරගෙන් කියැවෙන තවත් දෙයක් තමයි ගෝඨාභයට පවුලෙන් සහායක් නොලැබීම. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට පවුල විරුද්ධ වුණා. ඔහු අපේක්‍ෂකයා වුණෙ ජාතිකවාදීන්ගේ වුවමනාවට. ජයසුන්දර ගැන පවුලේ ඇතැමුනට විශ්වාසයක් තිබී ඇති බව සුගීෂ්වරගෙන් කියැවෙනවා. සුගිෂ්වර නොකියූ එහෙත් දන්නා කරුණු රාශියක් ඇති බව ඔහුගේ සාකච්ඡාවලින් පැහැදිලියි. ශිරන්ති හා දරුවන් ගැන ඔහුට කියන්න දේ තියෙන බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ.

 

සුගීෂ්වර කියනවා ගෝඨාභය ඉල්ලා අස්නොවිය යුතු තිබුණා කියා. ඔහු රනිල් අගමැති කර පළා ගියා නො වෙයි. රනිල් අගමැති කිිරීම සඳහා වූ සාකච්ඡාව විනාඩි විස්සකට පමණ සීමා වූ බව සුගීෂ්වර කියනවා. අනෙක් අය පැය ගණන් සාකච්ඡා කර එක්කෝ එකඟ වී නැහැ, නැත්නම් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඉල්ලා තියෙනවා.   රනිල් සැලැස්ම දැන හිටි අයෙක්. අවුරුද්දක් පමණ පාර්ලිමේන්තුවට නෑවිත් සිටි රනිල් අවසානයේ දී ආවේ සැලැස්මකට අනුව. ගානියා කාදිනල්තුමා ආදීන් සැලැස්ම දැන හෝ නොදැන හෝ එහි ක්‍රියාකාරීන් ලෙස යොදා ගැණුනා. කරුණු මා කලින් කියා ඇති. මහමොළකරු හොයන්න තියෙන්නෙ සැලැස්මෙ.

 

ගෝඨාභය අස් වීමෙන් පසු ඔහු ලබාගත් තෙල් ආදිය ලැබෙන්න පටන් ගත්තා. ඒත් මා හිතන්නේ ඔහු අස් නොවූවා නම් තෙල් එන්නෙ නැහැ කියා. එසේ අස්නොවුණා නම් මහජනයාට තවත් දුක් විඳින්න සිදුවෙනවා පමණක් නොව ගෝඨාභය රටක් නැති පුද්ගලයකු බවට පත් වීමට තිබුණා. 

 

තව ටිකෙන් මට අමතක වෙනවා. ගෝඨාභය මට තානාපතිකමක් දුන්නා.