සිංහල සිනමාවට එක්වන “බඹර වසන්තේ” – මාර්තු 21 වනදා සිට

Avatar Kavinu Weerakkody | March 19, 2024 112 Views 0 Likes 3.5 On 4 Ratings

112 Views 3.5 On 4 Ratings Rate it

අංජලිකා – කල්පාන්තේ සිහිනයක් – සෙනසුරු මාරුව වැනි සිනමාපට තුළින් මෙන්ම සෙනෙහෙවන්තයෝ – සූරිය දරුවෝ – පුංචි වීරයෝ වැනි ටෙලි කතාමාලා තුළිනුත් ලාංකීය රසිකයින්ට සමීප වුනු, මෙරට ජනප්‍රිය නලුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු ලෙස චන්න පෙරේරාව හඳුන්වන්නට පුලුවන්.

’90 දශකය මුල භාගයේදී රංගනයට පිවිසෙන ඔහු ඉන් දශක තුනකට පසුව අදටත්, විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් තමා වෙතට ආකර්ෂණය කරගන්නට සමත් වී තිබෙනවා. පසුගිය වසරේදී තිරගත වුනු, චන්න පෙරේරා අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් එක්වුනු ‘යුගාත්‍රා’ සිනමාපටයට ලැබුනු රසික ප්‍රසාදය ඊට හොඳම නිදසුනක්…

යුගාත්‍රා චිත්‍රපටයෙන් පසුව චන්න පෙරේරා රඟපාන නවතම නිර්මාණයක් එළඹෙන මාර්තු 21 වනදා සිට දිවයින පුරා සිනමා හල් රැසකදී තිරගත වීමට නියමිතයි.
“බඹර වසන්තේ” සිංහල චිත්‍රපටයයි.

ක්ලිෆර්ඩ් නැමැති ධනවත් වතුහිමියාගේ එකම දියණිය වන ඉෂාරා සහ, ඇය සමඟින් පෙමින් බැඳෙන සමීර නැමැති තරුණයා වටායි බඹර වසන්තේ චිත්‍රපටය ගෙතී තිබෙන්නේ. ඉෂාරාගේ මව එක්වරම අභිරහස් ලෙසින් මිය යෑමත් සමඟ ඇය. සිය පෙම්වතාගේ ද සහාය ඇතිව මවගේ මරණය පිටුපස ඇති අබිරහස සොයා යෑමට පටන් ගන්නවා. මීට සමීරගේ මිත්‍රයා වන ශාන්ගේ සහාය ද ඔවුන්ට ලැබෙන අතර ඉෂාරාගේ මවගේ මරණයේ අභිරහස විසඳීමට උත්සාහ දරන ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ කිසිවෙකුත් නොසිතූ අත්දැකීම් පෙළකටයි.

ඉෂාරා සහ සමීරට මෙම අභිරහස විසඳීමට හැකි වේවිද?
ඉෂාරාගේ පැහැර ගැනීම පිටුපස සිටියේ කවුරුන්ද?
ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ අවසානය කෙසේ වේවිද?
බඹර වසන්තේ චිත්‍රපටයෙන් ඔබට මේ ගැටළුවලට පිළිතුරු සොයා ගත හැකියි….

චන්න පෙරේරාට අමතරව ටනාෂා හතරසිංහ, ගයේෂා පෙරේරා, ජගත් ගලප්පත්ති, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධික ජයරත්න, උපාලි කීර්තිසේන, චංචලා වර්ණසූරිය, අරුණ රූපසිංහ, ටෙඩී විද්‍යාලංකාර, ආනන්ද ජයරත්න සමඟින් නන්දන හෙට්ටිආරච්චි මෙම චිත්‍රපටයේ සහාය චරිතවලට පණ පොවනවා.
කාලයක් මෙරට සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ගයේෂා පෙරේරා එක්වරම රගනයෙන් සමුගත් අතර මෙලෙස ඇය රඟන නවතම චිත්‍රපටයක් තිරගත වන්නේ බොහෝ කාලයකට පසුවයි.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.

බඹර වසන්තේ සිනමාපටයේ අධ්‍යක්ෂණය මොහාන් නියාස් විසිනුයි. තිර රචනය ජගත් ගලප්පත්තියි.

බඹර වසන්තේ මොහාන් නියාස් විසින් අධ්‍යක්ෂණය කළ 13වන චිත්‍රපටයයි. මීට පෙර යසෝමා – අපි මැරෙන්නේ නෑ – සඳ යහනට – අනුරාගයේ අනන්තය වැනි සිනමාපට දොළහක් සහ පරසතු විල – සිටු දියණියෝ – ගජමුතු යාය වැනි ටෙලි නාට්‍ය රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
පසුගියදා තිරගත කළ, සිංහලයේ අවසන් රජුගේ කතා පුවත ඇසුරින් නිපදවූ “ශ්‍රී වික්‍රම” සිංහල සිනමාපටය ද මොහාන් නියාස්ගේම අධ්‍යක්ෂණයක්.

නුවරඑළිය, බණ්ඩාරවෙල, නාවලපිටිය, තලවකැලේ වැනි කඳුකර ප්‍රදේශවල සුන්දර දර්ශන තල ගණනාවකදී රූපගත කළ බඹර වසන්තේ චිත්‍රපටය ත්‍රාසය – කුතුහලය – හාස්‍යය – ප්‍රේමය සියල්ලෙන්ම සපිරුනු, ප්‍රේක්ෂකයින්ට නැවුම් ම අත්දැකීමක් වනු ඇති.

නීල් වර්ණකුලසූරිය මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කළ අතර කැමරකරණය කේ ඩී දයානන්දයි. සංස්කරණය ආන්නද බණ්ඩාරගෙනි. කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය සුනිල් ආනන්දගෙනි. සුනෙත් රසාංග චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයායි. ටෙඩී විද්‍යාලංකර සටන් අධ්‍යක්ෂණයට සහ ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජනයට එක්ව තිබෙනවා.
උරේශා රවිහාරි, නීල් වර්ණකුලසූරිය, මාරියෝ ආනන්ද, අමිලා නදිශානි ඇතුළු පිරිසක් මෙහි ගීත ගායනයෙන් සම්බන්ධ වනවා.

යුනි ලංකා ෆිල්ම්ස් (Uni Lanka Films) වෙනුවෙන් බඹර වසන්තේ නිෂ්පාදනය කරන්නේ ටී. නඩේස් විසිනුයි.

එළඹෙන මාර්තු 21 වනදා සිට MPI මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා හල් රැසකදී “බඹර වසන්තේ” රස විඳින්නට ඔබට හැකියාව ලැබෙනවා.

Share

112 Views 3.5 On 4 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.