Main Logo

Saturday 16 March 2024

ඉන්දීය විරෝධය හා සංඝාඥාව

 

ඉන්දීය විරෝධය හා සංඝාඥාව

 

පළමුව පෞද්ගලික කරුණක්. මෙරට මහාචාර්යවරුන්ගේ තත්වය පිළිබඳ සාකච්ඡාවක් මෙටාවෙ කෙරෙනවා. ඇතැමකු එයට මාත් ඇද ගන්න හදනවා. මට සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ධුරයක් නොලැබුණ බව මගේ පත්‍රිකාවලට උපුටා දැක්වීම් (citations) ඇත්තේ 27ක් බව සඳහන් කරනවා. මේ කිසිවකින් වැඩක් නැහැ. මා අදක්‍ෂයකු බව මා දන්නවා. උපුටා දැක්වීම් 27ක් තිබීමත් පුදුමයක්. මා ලියන පත්‍රිකා අනෙක් අයට වැඩක් ඇති ඒවා නො වෙයි. ඔවුන්ට එහි උපුටා දක්වන්න දෙයක් නැහැ. මා ලියන්නේ මට හිතෙන දේ. කළු කුහර නැහැ කියන පූර්ව පත්‍රිකාවකින් (pre print) කාටවත් ඇති වැඩේ මොකක් ? ලෝකය පවතින්නෙත් නැත නොපවතින්නෙත් නැත කියන බුදුවදන මත පිහිටා භෞතිකවාදී හෝ විඥානවාදී හෝ නොවන දර්ශනයක් ගැන කියන කොට අනෙක් අයට ඇති වැඩේ මොකක් ?

 

මට ආචාරය උපාධියක් ලැබුණෙත් පිනට. මගේ අවශ්‍යතාවකට නො වෙයි. මගේ උපදේශකවරයාගේ අවශ්‍යතාවට. මා මහාචාර්යවරයකු වුණෙ හැට පැන්නට පස්සෙ. සේවාර්ජිත මහාචාර්යවරයකු වෙන්න මහාචාර්යවරයකු ලෙස අවම වශයෙන් අවුරුදු දහයක් සේවය කර තියෙන්න ඕන. මා අවුරුදු හයක් පමණයි සේවය කළෙ. ඒත් මොටාවට ඕන නම් නීතිය නවා සහාය මහාචාර්යවරුන්ටත් සේවාර්ජිත මහාචාර්යකම්  දෙන්න පුළුවන්. ඔස්මන්ඩ් ජයරත්න එවැන්නෙක්. ඔහු මොටාවට කළ විශිෂ්ට සේවය නිසා එසේ දෙන්න ඇති.  මා අදක්‍ෂයකු බව පිළිගනිද්දී මෙටාවෙ ඇතැමුන් මගේ අදක්‍ෂකම හුවා දක්වන්නේ ඇයි කියා මට තේරෙන්නේ නැහැ.

 

අද රටේ ඉන්දීය විරෝධයක් වරධනය වෙනවා. මා හිතනවා ඉදිරි මැතිවරණයක දී හරි ජනාධිපතිවරණයක දී හරි ප්‍රශ්නය වැදගත් වේවි කියා. පහුගිය දා සංඝ සම්මේලනයක් පවත්වා සම්බන්ධයෙන් සංඝාඥාවක් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණට නිකුත් කර ඇති බව කියනවා. වාර්තා වූ ආකාරයට නම් වේදිකාවේ භික්‍ෂූන් වහන්සේ කිහිප නමකුත් විශාල ශාලාවක එක් පෙළියක පමණක් මහින්ද නාමල් හා තවත් දේශපාලනඥයන් හතරපස් දෙනකු සහ තවත් කිහිප දෙනකු වාඩි වී සිටියා. එය කඩිමුඩියේ කළ වැඩක් බව පේනවා.

 

දැන් මහින්ද සංඝාඥාව අනුව වැඩ කරනවා ? වැඩ කරනවා නම් හොඳයි. එක්ටා ගිවිසුම ඉන්දීය දේශපාලනික ආර්ථික හා සංස්කෘතික ආක්‍රමණයේ එක් පියවරක් පමණයි. මේ සංඝ සමුළුවේ අර්ථය කුමක් ? එය සංවිධානය කර ඇත්තේ භික්‍ෂු සංගමයකින්. එහෙත් සියළු නිකායන්ට කතා පැවැත්වීමට අවස්ථාව ලැබී නැහැ. සංඝ සම්මේලනය පිටුපස දේශපාලන හස්තයක් තිබුණා ?

 

ඉන්දීය විරෝධය විවිධ දේශපාලන පක්‍ෂ විසින් කතා කරනු ලැබීමට පෙර ඉන්දියාව තම නියෝජිතයකු ලවා හැසිරවීමට කරන වෑයමක් ? එහෙමත් නැත්නම් ඉන්දීය විරෝධයේ රශ්නය නැති කිරීමට යම් පිරිසක් කරන වෑයමක් ? භික්‍ෂූන් වහන්සේ දේශපාලනඥයන්ට උපදෙස් දෙනු විනා දේශපාලනඥයන්ගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම අවසානයේ දී රටට විපත්කරයි.

 

පොහොට්ටුව ඉන්දීය විරෝධය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ? සංඝාඥාව නිකුත් කර ඇත්තේ මහින්ද ප්‍රධාන පොදු ජන පෙරමුණටයි. සජබ කුමක් කිරීමට බලාපොරොත්තු වන්නේ ? බොහෝ දෙනා කතා කරන භූ දේශපාලන යථාර්ථය මට තේරෙන්නේ නැහැ. එහෙත් ඉන්දියාව ඉන්දියන් සාගරය තම සාගරය බවට පත් කර ගැනීමට කටයුතු කරන්නේ කලක සිට. ඔවුන්ට දැන් යොදා ගත හැකි දෙමළ වෙල්ලාල ජාතිවාදයක් නැහැ. එහි ආයුධ සන්නද්ධ පිරිසට ඉන්දියාවේ පුහුණුවත් ලැබුණා.

 

ප්ලොට් සංවිධානය ඊපීආර්එල්එෆ් සංවිධානත් ඉන්දියාවට අවශ්‍ය ආකාරයට කටයුතු කෙළෙ. පසු කලෙක ඉන්දියාව මාලදිවයිනේ තමන්ට අවශ්‍ය පරිදි කටයුතු මෙහෙයවීමට ප්ලොට් සංවිධානය යොදා ගත්තා. ප්‍රභාකරන් හා උමා මහේෂ්වරන් චෙන්නායි හි අවිහරඹ පෙන්නුවා.     උතුරු හා නැගෙනහිර පළාත්වල ඊනියා මහා ඇමති වර්ධරාජ පෙරුමාල්ට රැකවරණ ලැබුණෙ ඉන්දියාවෙ. ගෝඨාභයගේ සහායෙන් මහින්ද මේ සන්නද්ධ කණ්ඩායම් පරාජය කිරීම ඉන්දියාවටත් දරා ගන්න බෑරි දෙයක්. සිංහල බෞද්ධයන් පිරිසක් යොදා ගනිමින් ඉන්දියාව හා බටහිරයන් මහින්ද හා ගෝඨාභය එළවා ගත්තා.

 

සජබ පිටුපස ඉන්දියාව ඉන්නවා. එජාප ඉන්දියාවට යටවෙලා. ජාජබ නායක මෝදිදාස් වෙලා. පොහොට්ටුව පැහැදිලි ස්ථාවරයක් ගන්නේ නැහැ. ඊයේ පෙරෙදා නිකුත් කළ සංඝාඥාව තවත් සංඝාඥාවක් පමණක් වේද? පිටුපස දේශපාලනඥයන් ඉන්නවා නම් එය සංඝාඥාවකට වඩා දේශපාලන ඇස් බැංදුමක් වෙනවා. කලින් මහානායක හාමුදුරුවරුන් නිකුත් කළ සංඝාඥාවක් තියෙනවා. ජම්බුද්වීප ප්‍රශ්නය ගැන. එහෙත් මේ වන තුරුත් ක්‍රියාත්මක කර නැහැ. විධිමත් සංඝ සම්මේලනයක අවශ්‍යතාව අද කවදාටත් වඩා තියෙනවා.  

 

උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන රාසමානික්කම් පොන්නම්බලම් හා වෙනත් දෙමළ ජාතිවාදීන්ගෙන් රැක ගැනීමේ කාර්යය තියෙනවා. ඉන්දියාව සම්බන්ධයෙන් අක්‍රීය කියා හිතන්න බැහැ. ඉන්දියාව උතුරු පළාතේ ක්‍රියාත්මකයි. එහි ඉන්දීය නියෝජිතයකු ඉන්නවා. මෙරට තරම් විදේශීය තානාපති නිලධාරීන් අභ්‍යන්තර කටයුතුවලට සෘජුව ඇඟිලි ගහන රටක් තවත් නැතුව ඇති.