සම්ප්‍රදායික ‘ග්‍රන්ථ විචාරයක දී’ ප්‍රකාශ කිරීමට විචාරකයා බැඳී තිබෙන සාමාන්‍ය දේ සියල්ල ලුඩවැයික් වාක්හනාර් ගේ “මාතර මහ කැරැල්ල – 1760-1761 වසරවල ලංකාවේ ලන්දේසි පාලනයට විරුද්ධ මහා ජනතා නැගිටීමේ සැඟවුණු ඉතිහාසය” කෘතිය සම්බන්ධයෙන් කිව හැකි වෙයි.

සැකයකින් තොරවම, මෙය වාක්හනාර් ගේ ‘කෘතියක්’ ද යන ප්‍රශ්නය කෙනෙකුට මෙහිදී පළමුවෙන් මතු කළ හැක. එක්තරා අර්ථයකින් මෙවැනි ‘පොතක්’ ඔහු ලියා නොමැත. මේ තිබෙන්නේ ඔහුගේ දිගු කෘතියක තෝරා ගත් පරිච්ඡේද කීපයක සිංහල පරිවර්තනයකි. එම අර්ථයෙන් මෙය පොතක් ලෙස සැලකීමේ දී එහි සිංහල පරිවර්තකයා වන නිර්මාල් රංජිත් දේවසිරි ගේ සංස්කරණමය තීරණ මූලික වනවා කියා අප කිව යුතුය. අවශ්‍යනම් මෙය සිය ගුරුවරයා ගේ අදහස් සිංහල කතා කරන සමාජයට ගෙන ඒමට නිර්මාල් ගන්නා උත්සාහයක් කියා කෙනෙකුට කිව හැකිය.

නමුත් මේ රචනයට නිර්මාල් ලියා ඇති හැඳින්වීම කියවන විට මේ සඳහා ඔහුට මෙවැනි සරල උපහාර ග්‍රන්ථයක් කිරීම බොහෝ ඉක්මවූ අරමුණක් ඇති බව අපට පැහැදිළි වෙයි. 2022 මෙරට ඇති වූ ජනතා නැගිටීමේ මතකයන් තවමත් ගිලිහී නොමැති සමාජයකට මේ තිබෙන්නේ එවැනිම වූ ඓතිහාසික ජනතා නැගී සිටීමක ඉතිහාස කතාව සිහිපත් කිරීමක් යන ආකර්ෂණීය උපකල්පනය වෙත මෙම කෘතිය අපව පොළඹවයි.

හැඳින්වීමේ දී නිර්මාල් සඳහන් කරන ලෙසට මෙවැනි ජනතා නැගී සිටීමක ව්‍යුහාත්මක කොන්දේසි පිළිබඳව මෙම ඓතිහාසික අත්දැකීම වැදගත් පාඩමක් කියා දෙයි. සංක්ෂිප්තව ගත්විට මෙහි මූලික කොන්දේසි දෙකක් තිබෙනවා කියා අපට කිව හැක. පළමුවැන්න වන්නේ පාලකයන් විසින් සිය ආර්ථික ඉලක්ක වෙත ළඟා වීම සඳහා සාමාන්‍ය ජනතාව මත පටවන බර ‘පද්ධතියේ’ සමතුලිතය බිඳ දැමීමයි. මෙය විවිධ ‘භෞතික’ කොන්දේසි (උදා: නියඟය වැනි ස්වභාවික උවදුරු) නිසා තීව්‍ර විය හැක. දෙවැනි කොන්දේසිය වන්නේ පාලකයන් සඳහා සිය පාලනය යුක්තියුක්ත කිරීමට ඇති මතවාදී ලෝක දැක්මේ කණ්ඩනයකි. එමගින් පාලකයන් ගේ අදහස් සහ ජනතාවගේ අදහස් අතර පරතරයක් ඇති වෙයි. ජනතා නැගිටීමක පසුබිමේ ඇති ‘නොසන්සුන්තාවය’ ආරම්භ වන්නේ මෙසේය.

1860 මාතර මහ කැරැල්ල පසුපස ද අපට මෙම කොන්දේසි දෙක හඳුනා ගත හැක. එක පැත්තකින් ජනයාට දරා ගත නොහැකි ලෙස සිය නිෂ්පාදනයෙන් කොටසක් ලන්දේසි ආණ්ඩුව විසින් ලබා ගන්නා ලදී. සිය දෛනික අවශ්‍යතා ඉටු කිරීමට පවා නොහැකි ලෙස හේන් ගොවිතැන් තහනම් කරමින් ලන්දේසි පාලකයන් කුරුඳු වගාවේ ආදායම වැඩි කර ගැනීමට උත්සාහ කරයි. අනෙක් අතට කීර්ති ශ්‍රී රාජසිංහ රජු යටතේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සමග දේශසීමාවෙන් දෙපැත්තේම සිටින සිංහලයන් ගේ නව ස්වයං විඥානයක සංකේතය බවට කන්ද උඩරට පත්වෙයි. එම නිසාම ලන්දේසි පාලකයන් සහ ජනතාව අතර ඇති මතවාදී එකඟතාවය පලුදු වී යයි.

කෙසේ වුවත් මෙය ජනතා නැගී සිටීම සම්බන්ධ ඍජු වාර්තාවක් නොවේ කියා මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එක්තරා ආකාරයකට මේ ජනතා නැගී සිටීම අපට හමුවන්නේ එහි ඉතිරි කර ගිය ශේෂයන් සහ සලකුණු ලෙසයි. අපට එහි ඝෝෂාව පසුබිමින් ඇසෙයි. නමුත් අප ඉදිරියේ තිබෙන්නේ ඒ සමග අසාර්ථක ලෙස ගනුදෙනු කිරීමට උත්සාහ කරන ලන්දේසි පාලකයන් ය. සැබවින්ම, මේ කෘතියේ ඉතාම රසවත් එකතු කිරීම වන්නේ ලංකාවේ ලන්දේසි පාලනයේ ඉතිහාසය එම ලන්දේසි පාලනයේ දෘෂ්ඨිකෝණයෙන් සමීප ලෙස ඉදිරිපත් කරනා ආකාරයයි. 17 වැනි සියවසේ මුල් භාගයේ සිට 18 වැනි සියවසේ අවසානය දක්වා ලංකාවේ විශාල ප්‍රදේශයක පැතිරුණු ලන්දේසි පාලනය කුමන ස්වරූපයක් ගත්තේ ද? එම ඉතිහාසයේ සියුම් තොරතුරු එකට සම්බන්ධ වන ආකාරය සහ ඒවා සෙවිය යුතු මූලාශ්‍ර පිළිබඳව සිය අද්විතීය ඥානයෙන් ලුඩවැයික් වාක්හනාර් නම් ඉතිහාසඥයා අපට ‘ලන්දේසි යුගය’ යනු කුමක්ද කියා නිරවුල් චිත්‍රයක් ලබා දෙයි. මෙය අපේ රටේ සෑම මනුෂ්‍යයෙකුම කියවිය යුතු පොතක් කියා අප කිව යුත්තේ මේ නිසාය (මෙම කෘතිය සම්ප්‍රදායික ග්‍රන්ථ විචාරයක දී කිව යුතු දේ සියල්ල කීමට සුදුසු කෘතියක් කියා ආරම්භයේ දී කියුවේ මේ නිසාය).

කෙසේ වුවත් මෙය මෙවැනි පොදු උනන්දුවක් ඉක්මවා යන විශේෂ ගැටලු වලට ද විසඳුම් ප්‍රවේශ ඉදිරිපත් කරයි. මෙහිදී අපට වැදගත් කරුණක් වන්නේ ජනතා නැගී සිටීමක එක් කොන්දේසියක් වන ‘මතවාදී කණ්ඩනය’ ලෙස මෙහිදී නිර්මාල් හඳුන්වන කොන්දෙසියයි. මෙම කෘතිය මගින් සාකච්ඡා කරන ඉතිහාසයට අදාලව මෙම මතවාදී කණ්ඩනයේ පදනම බුදුදහම කේන්ද්‍ර කරගත් ‘සිංහල ස්වයන් විඥානයක්’ (වාක්හනාර් ගේ යෙදුම එයයි) ලෙස අපට ගත හැක.

ලංකාවේ බුද්ධිමය දේශපාලන සාකච්ඡා තුළ නිර්මාල් සිංහල ජාතිකවාදයේ සතුරෙකු ලෙස හඳුනාගෙන තිබීමේ උත්ප්‍රාසය අපට හමු වන්නේ ද මෙතැන යි. සත්‍ය වශයෙන්ම මේ කෘතිය අපට සිංහල ජාතිකවාදියෙකුට ප්‍රයෝජනවත් කෘතියක් කියා හැඳින්වීමට පුළුවන් වෙයි. එම නිසාම අවශ්‍ය නම් මෙය ජාතිකවාදයේ ඉතිහාසය පිළිබඳව නිර්මාල් යෝජනා කරමින් සිටිනා නිශ්චිත ස්ථාවර වලට අභියෝගයක් ලෙස වුවත් කෙනෙකුට ගත හැක. විශිෂ්ඨ ඉතිහාස ග්‍රන්ථයක එක් ලක්ෂණයක් කියා මෙය කිව හැක. 80 දශකයේ පශ්චාත්නූතනවාදී ස්ථාවර වල සිරවී සිටින අය ‘ඉතිහාසය කොහොමත් සාපේක්ෂ තමයි – කොහොමත් පක්ෂපාතී තමා’ වැනි කතා – මේවා නියම ‘පඬි කතා’ ලෙස නම් කළ හැක – කීවද ඉතිහාසය පිළිබඳව බැරෑරුම් අධ්‍යයනයන් දේශපාලන දෘෂ්ඨිවාදී බල අරගලය තුළ විවිධ ආකාරයට යොදා ගත හැකි විය යුතුය. මෙය විශිෂ්ඨ ඉතිහාස ග්‍රන්ථයක් වන්නේ මේ නිසාය. එහි රචකයාගේ අදහස්, ආකල්ප අපට පහසුවෙන් හඳුනා ගත හැකි වුවත් එම සිදුවීම් දාමයේ අර්ථය එයට වඩා සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකින් තේරුම් ගැනීමට අවශ්‍ය කෙනෙකුට වුවත් මේ මගින් සාධාරණ ඉඩක් විවර වෙයි.

අප සිතනා ආකාරයට මෙහිදී අපට හෙළි කරන වැදගත් අදහසක් වන්නේ සිංහල ජාතික ස්වයන් විඥානය යන්න අවම වශයෙන් අපට 17 වන සියවසේ අවසාන භාගයේ සිට වර්ධනය වන්නේ බුදුදහම කේන්ද්‍ර කරගෙන යන්නයි. මේ විඥානය නිසා පමණක් ජනතා නැගී සිටීම සිදුවන්නේ නැති බව පැහැදිළි වේ. නමුත් මෙය ද එහි එක් සාධකයක් වූ බව වාක්හනාර් අවධාරණය කරයි.

මෙහිදී අපට ඇසිය හැකි වැදගත් ප්‍රශ්නයක් වන්නේ මාතර මහ කැරැල්ලෙන් සියවස් දෙකහමාරකට පසුව සිදු වූ 2022 ජනතා නැගී සිටීම සමග ඇති වූ මතවාදී කණ්ඩනය කුමක්ද යන්නයි. විශේෂයෙන් 1760 දී එය බෞද්ධ ප්‍රබෝධයක් සමග සම්බන්ධ වූවානම් එහි ව්‍යුහාත්මක සමාන සාධකය වන්නේ කුමක්ද? සමහරවිට වඩා වැදගත් වන්නේ මෙවැනි ප්‍රශ්න වලට ඉක්මන් පිළිතුරු දීමට වඩා ඒවා ගැන වඩා සංකීර්ණ ලෙස සිතා බැලීම විය හැක.

ලන්දේසි පාලකයන් සහ ඔවුන් යටතේ සිටි ජනයා අතර මෙවැනි මතවාදී පැල්මක් ඇති වීම එතරම් අපහසු නැත. නමුත් අපේ රටේ සමකාලීන පාලකයන් යනු මෙම සිංහල ස්වයන් විඥානය උපරිම අයුරින් සිය දේශපාලනයේ පදනම ලෙස යොදා ගන්නා පිරිසකි. එම නිසාම මෙහිදී ඇති වන මතවාදී පැල්මක් සඳහා ‘වෙනත් බෞද්ධ ප්‍රබෝධයක්’ අපට අවශ්‍ය නොවන්නේ ද?

ජනතා නැගී සිටීමක් මෙවැනි ‘බුද්ධිමය ප්‍රබෝධයක්’ මගින් පමණක් සංවිධානය කළ නොහැකි බව පැහැදිළි වේ. එය අයත් වන්නේ තවත් කොන්දේසි සහිත අහඹු පුපුරා යාම් වලටයි. නමුත් මින් අදහස් වන්නේ මේ නිශ්චිත සාධකය මග හැර යා හැකි බව නොවේ. එම අර්ථයෙන් – ‘දකුණේ’ මෙන්ම ‘වමේ’ ද – සමකාලීන දේශපාලනය ගැන සිතන බොහෝ දෙනෙක් හට 1760-1761 වර්ෂ වල ආණ්ඩුකාර යන් ශ්රුඩර් විසින් සිදු කරන ලද වරද බලවත් ඓතිහාසික අනතුරු ඇඟවීමක් ලෙස ද සැලකිය හැක. යන් ශ්රුඩර් සිතුවේ තමන්ට අවශ්‍ය තරම් මිලිටරි සම්පත් නොතිබූ නිසා කැරැල්ල පරාජය වූ බවයි. නමුත් එය මිලිටරි නොහැකියාව ඉක්මවූ පුළුල් දැක්මේ සීමාවක් බව ලුඩවැයික් වාක්හනාර් අපට තියුණු සහ වසඟකාරී ලෙස පෙන්වා දෙයි.

වංගීස සුමනසේකර