Main Logo

Friday 15 March 2024

සිංහල බෞද්ධ අවිචාරය

 

සිංහල බෞද්ධ අවිචාරය

 

ගෝඨාභය රාජපක්‍ෂ එළවා දැමූ කුමන්ත්‍රණය පොත කියවූ මට  හැඟී ගිය කරුණ වූයේ සිංහල බෞද්ධ උගතුන් කෙතරම් අවිචාරවත් පිරිසක් යන්නයි. බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ රාජපක්‍ෂලා එලවා දැමීමේ සිංහල බෞද්ධ විරෝධී සැලසුම ගැන මා කීවේ පරගලය පටන්ගෙන දින කිහිපයකින්. මා බව කියන්නේ මා මොන තරම් හපනෙක් දැයි කියා පෑමට නොවෙයි. මගේ හිතළුව පොතෙන් තහවුරු වී තියෙනවා. සිංහල බෞද්ධයන් දේශීය හා විදේශීය සිංහල බෞද්ධ විරෝධීන්ගේ ඉත්තන් බවට අවිචාරයෙන් පත් වී ඇති ආකාරය ඉතා පැහැදිලියි. දේශීය සිංහල බෞද්ධ විරෝධීන් කළ සැලසුමක් නැහැ. සැලසුම ගැන දේශීය වශයෙන් දැන සිටින්න ඇත්තේ රනිල් ඇතුළු සුළු පිරිසක් පමණයි. අනෙක් අය බොරු වීරයන් වීමට දැඟළුවා පමණයි.

 

එහෙත් මා සිංහල බෞද්ධ අවිචාරයෙන් කැළඹීමට පත්වෙන්නේ නැහැ. අප ඉතිහාසය පුරා කටයුතු කර ඇත්තේ එවැනි අවිචාරයකින්. මා මේ දේ කියන්නේ කාගේවත් ගෞරවයට හරි අගෞරවයට හරි පාත්‍ර වීමට නො වෙයි. බොහෝ විට ජාතිකවාදීන්ගෙන් මට එල්ල වෙන්නේ ගල් මුල්. මගේ මළගමට කිසිවකු සහභාගි වීමක් මා අපේක්‍ෂා කරන්නෙත් නැහැ. මගේ මළකඳ සොයා ගැනීමට හැකිවුවොත් දරුවන් සම්බන්ධ කටයුතු කරාවි. මා එසේ කියන්නේ මරුවාගේ වැඩ කල්තියා කිව නොහැකි බැවින්.

 

එළාර පරාද කළ ගැමුණු රජු අපට දුටුගැමුණු වුණා. පියාට ගැහැණු පළඳනා යැවීම යහපත් නොවූවත් නිසා එතුමා දුෂ්ට වී ? මහානාම හිමියන් මහාවංසයේ එතුමාගේ ගුණ වැයුවේ නැත්නම් අද අප එතුමාට සලකන්නේ කෙසේ ? සීගිරි කාශ්‍යප හා සිතාවක රාජසිංහ වැනි යුද්ධ දක්‍ෂයන් පීතෘ ඝාතකයන් වූයේ කෙසේ ? අදත් සීතාවක වැසියන් රාජසිංහ රජු දකින්නේ කෙසේ ? 1815  දී සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වීම ප්‍රතික්‍ෂෙප කළ වඩිග රජුන් පන්නා දැමීමට සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කළ ජාතිකවාදී නායකයන් ජාතිය පාවාදුන්නවුන් ලෙස සැලකෙන්නේ කෙසේ ? කතන්දර පිටුපස සිටියේ කවුද? රාජපක්‍ෂලා හොරකම් කළ නිසා රට බංකොළොත් වී යන කතාව හැදුවේ කවුද? 

 

අර සීතාවක වැසියන් මෙන් මාත් ඔය කතා පිළිගන්නේ නැහැ. මා වැසියන් තරම්වත් උගතකු නොවීම මගේ ශක්තියයි. පඬි නැට්ටකු පෙන්වා දීල තිබුණ මට සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය කමක්වත් ලැබුණෙ නැහැ කියලා. ඇත්ත මා දක්‍ෂයකු නොවෙයි. මට ඊනියා ජ්‍යෙෂ්ඨ මහාචාර්යකමක්වත් ලැබුණෙ නැහැ. මා මහාචාර්ය වන විට හැට පැනලා. දක්‍ෂයන් තිහේ දි මහාචාර්ය වෙනවා.

 

දි අයිලන්ඩ් පුවත්පතට ලියූ එක් පඬි නැට්ටකු අසා තිබුණා ගෝඨාභය සිංහල බෞද්ධ ඡන්දවලින් බලයට පත් වූ බව ඔප්පු කරන්න පුළුවන් කියා. එය ගණිත ප්‍රමේයයක් සාධනය කරනවා මෙන් කරන්න බැරි වේවි. එහෙත් හිතන්න එපා ගණිත ප්‍රමේයය සත්‍ය යැයි කියා. මා එතරම් ගණිතය හදාරා නැහැ. ප්‍රථම උපාධියෙන් පසු මා ගණිතය අත්හැරියා. මා ගණිතයට කිසිවක් අලුතින් එක් කර නැහැ. ඒත් මා දන්නවා ගණිතයේ සත්‍යය කියා දෙයක් නැති බව. ගණිතයේ කරන්නේ යම් උපකල්පන ටිකක් සත්‍ය යැයි ගෙන ඇරිස්ටෝටලීය ද්විකෝටික රේඛීය න්‍යාය මත පදනම් වෙලා නිගාමී (deductive) තර්කයෙන් යම් නිගමනවලට එළඹීම පමණයි.  අර උපකල්පන සත්‍ය දැයි සියල්ල දත් දාර්ශනිකයන්ගෙන් අහන්න. 

 

ගෝඨාභය දිනන්න කලින් මා කියා සිටියා සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න පුළුවන් කියා. එයත් මගේ වැඩක් කියන්න නොවෙයි බව කියන්නෙ. මෙරට සිංහල බෞද්ධයන් 70%ක් පමණ ඉන්නචා. ඉන් 70%ක් ඡන්දය දුන්නොත්, විවිධ පිරිස් සමානුපාතික ඡන්දය පාවිච්චි කළොත් මුඵ ඡන්දවලින් 49%ක් ලබා ගන්න පුළුවන්. මට මතක හැටියට ගෝඨාභයට 52%ක් ලැබුණා. මා ගණන් බැලීම කෙළේ සිංහල බෞද්ධයන් නොවන්නන් බහුතරයක් ඔහුට ඡන්දය නොදෙන බව මගේ හිතළුව වූ නිසාත් යහපාලනය පත්කර ගැනීමෙන් තමන්ට වැරදුණු බව දත් සිංහල බෞද්ධයන් විශාල වශයෙන් ගෝඨාභයට ඡන්දය දෙන බව සිතූ නිසාත් ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය පොහොට්ටුවට පිළිගැන්වීම සඳහාත්. අර දි අයිලන්ඩ් පඬි නැට්ටාට අවශ්‍ය නම් ගෝඨාභයට වැඩි පුර ඡන්ද ලැබී ඇත්තේ මොන ප්‍රදේශවලින් කියා හොයා බලන්න පුළුවන්.

 

සිංහල බෞද්ධයන්ට තේරෙන්නේ තමන්ට වැරදී ඇති බව අත්දැකීමෙන් වැටහීමෙන් පසුව පමණයි. අපේ සම්ප්‍රදාය. අප බටහිර අනාවැකි පළ කිරීම අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගන්න ඕන. මා අපේ ප්‍රවාද ගොඩ නැගිය යුතු බව කලක සිට කියන්නේ එබැවින්. එහෙත් සුපිරි ජාතිකවාදීන් එයට විරුද්ධයි. අධ්‍යයන සම්ප්‍රදාය යටතේ අනාවැකි කියන්න පුළුවන් ප්‍රවාද මගින්. ධ්‍යාන සම්ප්‍රදායෙත් පුළුවන්. එහෙත් සඳහා අදාළ භාවනා කරන්න ඕන. අද එවැනි භාවනාවකින් අලුත් දැනුමක් අනාවැකියක් කියන්නේ කවුද? අර සුපිරි ජාතිකවාදීන් ?  එසේ දැනුමක් ප්‍රකාශ කළත් උගතුන් එයට ගරහනවා. රිච්මන්ඩ් විදුහල පටන් ගත්තේ මොන වර්ෂයේ කියා දැන ගැනීම හා සම්බන්ධ කතාව හොයල බලන්න. නාථ දේව මණ්ඩලය ආසනික් ගැන කී දේ වෙනුවෙන් පෙනී සිටීම නිසා උගතුන් තවමත් මට ගරහනවා. ඔවුන් හරි විචාරශීලියි.

 

යහපාලනය බලයට පත්කර ගැනීමෙන් පසු සිංහල බෞද්ධයනට තේරුණා තමන් කරගත්තේ වරදක් බව. මෛත්‍රිපාලටත් තේරෙන්න ඇති. අප උත්සාහ කළා රනිල් අගමැතිකමෙන් පහ කර මහින්ද අගමැති කරන්න. එහි ප්‍රතිඵලය වුණෙ දින පනස් දෙකේ ආණ්ඩුව. එහෙත් සියලු සිංහල බෞද්ධ විරෝධීන් එකතු වී ආණ්ඩුව පරාජය කළා. එදා දින පනස්දෙකේ ආණ්ඩුව පෙරළා දැමීමට රනිල් සමග  විශ්වාසභංගය සැලසුම් කළ අය කවුද? යටත්විජිත පාර්ලිමේන්තු මීටර් සියය වාර්තාව තැබුවේ සම්බන්ධයෙන්. එදා විදේශීය රටවල තානාපතිවරු පාර්ලිමේන්තුවේ අත්පොළොසන් දීම ගැලපෙන්නේ මොන රාජ්‍යතන්ත්‍රයට ? සිංහල බෞද්ධයන් එය ඉවසා වදාරා සිටියා. කරන්න තිබුණෙ තානාපතිවරුන් ගෙදර යවන්න. රනිල් තම හිතවතුන් ගෙදර යවාවි ? මෛත්‍රිපාල මොනවා කරන්න ? 

 

සිංහල බෞද්ධ විරෝධීන් සිංහල බෞද්ධයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන/ කරන්නේ යැයි සිතන ආණ්ඩු පෙරළ දානවා. පෙරළා දාන්න උත්සාහ කරනවා. 1962 දී බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පෙරළා දැමීමට හමුදා කුමන්ත්‍රණයක් තිබුණා. එයට සහභාගි වූයේ සිංහල බෞද්ධ නොවන පිරිස්. කතෝලික සභාවටත් අවශ්‍ය වෙලා තිබුණා ආණ්ඩුව පෙරළන්න. අර පාසල් රජයට ගැනීම සම්බන්ධ . පාසල් රජයට ගැනීම  සිංහල බෞද්ධයන්ගේ ඉල්ලීමක් වෙලා තිබුණා. වාසනාවකට  පී එස් කුලරත්න මහතාගේ ඥාතියකු මගින් කුමන්ත්‍රණය දැන ගන්න ලැබුණා. කුමන්ත්‍රණකරුවන්ට හිර දඬුවම් නියම වුණා. එහෙත් ඔවුන් එකල තිබූ නීතිය අනුව එංගලන්තයේ සාමි මන්ත්‍රණ සභාවට අභියාචනයක් ඉදිරිපත් කර එංගලන්තයෙන් නිදහස ලබා ගත්තා. සර්ව සාධාරණ ඉංගිරිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ එහෙමයි.

 

සිංහල බෞද්ධයන්ගේ අවශ්‍යතාවන්ට අකුල් හෙලීම කාලයක් තිස්සේ කෙරී ගෙන යනවා. එක් පඬි නැට්ටකු අසා තිබුණා සිංහල බෞද්ධයන් දෙවැනි පෙළේ රටවැසියන් කියන්නෙ කොහොම කියා. ඔහුට බවක් තේරෙන්නෙ නැතිලු. පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල බලන්න. දිස්ත්‍රික්ක විසිපහෙන් දෙමළ මාධ්‍යයෙන් සිසුන් පෙනී සිටිනවා. එහෙත් සිංහල සිසුන් පෙනී ඉන්නේ දිස්ත්‍රික්ක විස්සකින් පමණයි. ඉතිරි දිස්ත්‍රික්ක පහේ සිංහල සිසුන් නැත් ? අද නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන නැති කිරීමේ ව්‍යාපාරයක් දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ නායකත්වයෙන් කෙරෙනවා. රනිල්ට අනුව ලයිට්හවුස්. අද ලංකාවේ ඕනෑම පළාතක උසාවිවල දෙමළ භාෂාවෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙත් උතුරු හා නැගෙනහිර පළාත්වල උසාවිවල සිංහලෙන් කටයුතු කරන්න පුළුවන් ?

 

කවුරු හරි පඬි නැට්ටකු කියාවි බලයට පත්වීමට මා නැවතත් ජාතිවාදය අවුස්සනවා කියා. කවුරු බලයට පත්වීමට ? කවුරුන් බලයට පත්කරන්න ? මේ වන විට බටහිරයන් හා ඉන්දියාව එකතු වී  සිංහල බෞද්ධ නායකත්වය පරාජය කරලා. අලුත් නායකත්වයක් ගොඩ නගා ගන්න ටික කාලයක් යාවි.  අද ඊනියා නිරාගමිකයන් පමණක් නොව ඇතැම් සිංහල බෞද්ධ උගතුන් ජාතිවාදයක් ගැන  මේ සිල්ලර ලිබරල් කතාව කියන්නේ තම උගත්කම පෙන්වන්න. මා නැවතත් කියනවා මට ඇත්තේ මගේ නූගත්කම පමණයි. ඔය ලිබරලුන් රාසමානික්කම් වැනි අය ආරක්‍ෂා කරන්නේ ඉතිහාසය විකෘති කරමින්.

 

මේ ලිපිය ගෝඨාභය රාජපක්‍ෂගේ පොත ගැන විචාරයකට පූර්විකාවක් පමණයි.