Main Logo

Tuesday 12 March 2024

එට්කා තායි ගිවිසුම් හා පොහොට්ටුව

 

එට්කා තායි ගිවිසුම් හා පොහොට්ටුව

 

එට්කා ගිවිසුම අද ඊයේ එකක් නොවෙයි. එය යහපාලන කාලයේ සිට එන්නක්. එහෙත් එකල මෙරට ජාතිකත්වය සඳහා යම්කිසි දේශපාලන නායකත්වයක් තිබුණා. නායකත්වයට ජාතික බලවේගවලින් විශාල බලපෑමක් වූ බව අමතක කරන්න බැහැ. කෙසේ නමුත් ආණ්ඩුවට එට්කා අකුලා ගන්න සිදු වුණා. අද නැවතත් එට්කා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ වෙලා. එදා රනිල් අගමැති. අද ඔහු ජනාධිපති.

 

අලි මදිවට හරක් කීවාක් මෙන් දැන් තායිලන්තය සමගත් ගිවිසුමක් තියෙනවා. තායිලන්තය ථෙරවාදී බෞද්ධ රටක් හැටියට අවුරුදු දහස් ගණනක් පැවතියා. එහෙත් අද එය ඇමරිකන් රූකඩයක්. දකුණු කොරියාව කලක් මහායාන බෞද්ධ රටක්. අද එහි ඇති බෞද්ධකමක් නැහැ. එය ඇමරිකාවට අවශ්‍ය ආකාරයට කටයුතු කරනවා. එරට අද දියුණු රටක් ලෙස පිළිගැනෙනවා. තායිලන්තයත් ටික කලක් යන විට ඊනියා දියුණු රටක් වේවි. එහෙත් ථෙරවාදය නැති වේවි.

 

එවිට ථෙරවාදී රටවල් ලෙස ඉතිරිවන්නේ ලංකාව මියන්මා කාම්බෝජය හා ලාඕසය පමණයි. මේ යන විධියට ගියොත් ලංකාවත් ලැයිස්තුවෙන් අයින් කරන්න වෙනවා. ඒත් මොකද අපි දියුණු නම්. අප අවුරුදු හතළිහක් පමණ කතා කර ඇත්තේ ථෙරවාදය රැකගනිමින් බටහිර දැනුමත් (ශිල්ප ශාස්ත්‍ර) අපට අවශ්‍ය ආකාරයට අවශෝෂණය කර ගනිමින් ජීවත් වන්නේ කෙසේ යන්න පිළිබඳ . අදත් ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ.

 

කිසිම දෙයක අවසාන වාක්‍යය කියා දෙයක් නැහැ. සමහර පඬි නැට්ටන් බව පුන පුනා අපට කියා දෙනවා. ඔවුන් හිතනවා දන්නේ නැහැ අප මේ අවසාන වාක්‍යයක් කියනවා කියා. බොහෝ දෙනා තවමත් දන්නේ නැහැ බටහිර දැනුම අවශෝෂණය කර ගන්නවා කියන්නේ මොකක් කියා. ඔවුන් හිතන්නේ අප බටහිර දැනුම සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කරනවා කියා. එදා කොළඹ මොටාවේ සුවාදීනයන් අප බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යන බව කීවා. අද ඔවුන්ගෙන් සමහරු දර ලිප් ගැන කියනවා. එක ප්‍රශ්නය දරලිප් ගන්න බොහෝ අයට නොහැකි වීමයි. රනිල්දාස අද මෝදිදාස් වෙලා. ඔහු සුවාදීනයන්ට දරලිප් අලෙවි කරනවා. 

 

අද වන විට ඉන්දියාව බටහිර දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගෙන. මා පිළිගන්නවා බ්‍රාහ්මණ (අධ්‍යයන) සම්ප්‍රදායක් ඇති හින්දු සංස්කෘතියට බටහිර දැනුම අවශෝෂණය කර ගැනීම පහසු වුවත් බෞද්ධයනට විශේෂයෙන් ථෙරවාදීන්ට අමාරු කියා. අපේ සම්ප්‍රදායට (ධ්‍යාන) බොහෝ ඈතින් බටහිර අධ්‍යයන සම්ප්‍රදාය තියෙන්නෙ. තායිලන්තය අද වෙනත් මගක් අරන් මුළුමනින් බටහිර වෙන්න හදන්නෙ ඒකත් නිසා වෙන්න පුළුවන්. අද බටහිර ගැති රනිල් තායිලන්තය ථෙරවාදී රටක් බව කියමින් අප අන්දවන්න හදනවා.

 

එට්කා ගිවිසුම හා තායි ගිවිසුම පිටුපස ඇත්තේ ආර්ථික කතාවක් නො වෙයි. සම්පූර්ණයෙන් දේශපාලන ගිවිසුම්. එට්කා ගිවිසුම ඉන්දියන් සාගරය හා සම්බන්ධයි. තායි ගිවිසුම ශාන්තිකර සාගරය හා සම්බන්ධයි. දෙක චීනයට විරුද්ධ ඇති ගිවිසුම්.

 

එට්කා ගිවිසුම ඉන්දියන් සාගරය යනු ඉන්දියාවේ සාගරය බවට කලකට පෙර පනික්කාර් කී කතාව හා සම්බන්ධයි. ඉන්දියාවට  අවශ්‍ය චීනය මුළුමනින් ඉන්දියන් සාගරයෙන් ඉවත් කර ප්‍රදේශය තම බල ප්‍රදේශයක් කර ගන්න. රනිල්ට ජේ ආර් මාමාට සිදු වූ අන්දමට ඉන්දියාවට යටවෙන්න වෙලා. හම්බන්තොට වරාය චීනයට දුන්නත් අද චීනයට එය ප්‍රශ්නයක් වෙමින් පවතිනවා. එට්කා මගින් ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත්වෙනවා.

 

තායි ගිවිසුම ශාන්තිකර සාගරය ඇමරිකන් බල ප්‍රදේශයක් බවට පත් කර ගැනීමේ තවත් පියවරක් පමණයි. අද ක්වොඩ් නමින් හැඳින්වෙන රටවල් හතරක් චීනයට විරුද්ධ ශාන්තිකර සාගරය යොදා ගැනීමට ගිවිසුමක් අත්සන් කර තියෙනවා. රටවල් හතර ඇමරිකාව, ජපානය, ඉන්දියාව හා ඕස්ත්‍රේලියාව.  තායිලන්තය මගින් අපත් එහි කොටස් කාරයන් බවට පත් කෙරෙනවා.

 

මේ ගිවිසුම් සම්බන්ධයෙන් පොහොට්ටුව ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ? ගිවිසුම් නැතුවා වගේ නිසොල්මනේ ඉන්නවා ? එකල නම් පොහොට්ටුවට යම් ආකාරයක ජාතිකවාදී නායකත්වයක් තිබුණා. පොහොට්ටුවට අද කිසිම ජාතිකවාදී නායකත්වයක් නැත් ? එහි ඇතැම් මන්ත්‍රීවරුන් නම් රනිල්ගෙ වදකහ සුදිය බොනවා. එහෙත් අනෙක් අය කරන්නේ කුමක් ?

 

පොහොට්ටුව ඉක්මණින්  එට්කා ගිවිසුම හා තායි ගිවිසුම ගැන රටේ පැත්තෙන් මෙන් බුදුසසුනේ පැත්තෙන් බලා තීරණයක් ගත යුතු කියා හිතනවා. ව්‍යවස්ථාව අනුව රජය බුදුසසුන ආරක්‍ෂා කර වර්ධනය කිරීමට බැඳී ඉන්නවා. එහෙත් ආණ්ඩුව අද එය කරන පාටක් නැහැ. වෙනුවට සංස්කෘතික ඇමතිතුමා ඉන්දියාවේ අනුග්‍රහයෙන් හින්දු ආගම වර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව පේනවා. මා හිතන්නේ නැහැ රත්නසිරි වික්‍රමනායක මහතා අනුමත කරාවි කියා. අතර රාසමානික්කම් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන නැති කිරීමේ ව්‍යාපෘතියක යෙදී ඉන්නවා.  මේ විඳියට ගියොත් බුදුසසුන මෙරටින් තුරන් වේවි.

 

පොහොට්ටුව මේ ගිවිසුම් ගැන රටට හිතවත් ස්ථාවරයක් නොගත්තොත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රශ්නයක් වෙනවා. බටහිරයන් හා ඉන්දියාව පරගලය යොදා ගෙන කෙළේ ජාතිකත්ව නායකත්වයක් නැති කිරීමයි. පොහොට්ටුවට අලුත් නායකත්වයක් ඇති කර ගැනීමට නොහැකි නම් ජාතිකවාදී සිංහල බෞද්ධයන් මැතිවරණවල දී වෙනතක් බලාවි.