Home Sinhala තුෂාරගේ කඩුලු ත්‍රිත්වය සමඟ ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

තුෂාරගේ කඩුලු ත්‍රිත්වය සමඟ ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

Sri Lanka Tour of Bangladesh 2024

72
Sri lanka Tour of Bangladesh 2024

බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-1ක් ලෙස තරගාවලි ජයක් ද ලැබීමට අද (09) සමත් වුනා.

අද දහවල් බංග්ලාදේශයේ Sylhet හිදි ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ නායක Najmul Hossain Shanto විසින් සමත් වූ අතර, මෙවර ද ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

මෙම තරගයේ දී තරග තහනමකින් අනතුරුව නිත්‍ය නායක වනිඳු හසරංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාර ගත්තාල්. එමෙන්ම මීට පෙර පැවැත්වුණු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ මතීෂ පතිරණ ආබාධයක් නිසා මෙම තරගයට සහභාගී නොවූ අතර, ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක ද අද (09) තරගයේ දී කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා. ඒ වෙනුවට නායක වනිඳු, ධනංජය ද සිල්වා සහ නුවන් තුෂාර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුනා.

ශ්‍රී ලංකාව:

ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් (wk), කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , වනිඳු හසරංග, සුන් ශානක, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු,නුවන් තුෂාර

බංග්ලාදේශය:

Soumya Sarkar, Litton Das(w), Najmul Hossain Shanto, Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Taskin Ahmed, Shoriful Islam, Rishad Hossain, Mustafizur Rahman

තරගාවලිය පුරාම අසාර්ථක වූ අවිශ්ක වෙනුවට කණ්ඩායමට කැඳවූ ධනංජය සමඟින් කුසල් මෙන්ඩිස් අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ නමුත්, ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 18කට සීමා වුනා. ධනංජය කලකට පසු ලැබුණු අවස්ථාවේ දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 8ක් පමණයි.

ධනංජයගෙන් පසුව කමිඳු කඩුල්ලට පිවිසි අතර පළමු තරග දෙකේ දී මෙන් ඔහුට මෙම තරගයේ දී සාර්ථක වීමට හැකි වුනේ නැහැ. කමිඳුගේ ඉනිම ලකුණු 12කින් නතර වූ පසු නායක වනිඳු පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කරමින් කඩුල්ලට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා අතර තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් වුනා. එමෙන්ම තරමක් මන්දගාමී ව තිබූ ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍ය වේගය ලබා දුන් මෙම දෙදෙනාගේ සබඳතාවෙන් වැඩි බරක් කුසල් මෙන්ඩිස් මතට වැටුණා.

වනිඳු පන්දු 13කින් ලකුණු 12ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව කඩුල්ලට පිවිසි චරිත් අසලංකට ද අද දිනය එතරම් සාර්ථක එකක් වුනේ නැහැ. අසලංකගෙන් පසුව කුසල් සමඟ මැතිව්ස් කඩුල්ලේ එක් වූ නමුත් එවර මෙතෙක් වේලා විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි කුසල්ගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි වුනා. හතරේ පහර සහ හයේ පහර 6 බැගින් එල්ල කරමින් පන්දු 55කින් ලකුණු 86ක් ලබා ගැනීමට කුසල් සමත් වූ නමුත්, ඔහුට අද දිනයේ සිය මංගල විස්සයි විස්ස ශතකය කරා යාමට අවශ්‍ය තරම් අවකාශය තිබිය දී දැවී යාම කනගාටුවට කරුණක්.

මින් පසුව පෙර තරගයේ මෙන්ම මැතිව්ස් සහ ශානක යුගලය පිටියේ එක් වුනත්, මෙවර එම සුසංයෝගය ද වැඩි වෙලා කඩුල්ලේ රැඳුණේ නැහැ. මැතිව්ස්ගේ ඉනිම ලකුණු 10ක දී අවසන් වූ පසු මෙතෙක් වේලා පිතිකරණ අනුපිළිවෙළේ පසුපසට යමින් සිටි සදීර සමරවික්‍රම පිටියට පිවිසියා.

සදීර සහ දසුන් විසින් ඉනිම අවසන් වන තෙක් පිතිකරණයේ යෙදෙමින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු මට්ටමේ ලකුණු පුවරුවක් සකසා ගැනීමට සහය ලබා දුන්නා. මෙහි දී දසුන්ගේ පිත්තෙන් ඉක්මනින් ලකුණු 19ක් වාර්තා වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 5 තුළ කඩුලු තුනක් දැවී ගොස් ලකුණු පුවරුවට එක් වුනේ ලකුණු 39ක් පමණක් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 175ක ඉලක්කය හඹා යාම සඳහා සුපුරුදු බංගලි ආරම්භ පිතිකරු යුගලය පිටියට පිවිසි අතර, මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළා. නමුත් ඉනිමේ තෙවන පන්දුවාරයේ පළමු පන්දුව යොමු කිරීමෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් වීම නිසා ධනංජය ද සිල්වාට එම පන්දුවාරය සම්පූර්ණ කිරීමට සිදු වුනා. මෙහි දී ධනංජය විසින් යොමු කළ පළමු පන්දුවෙන් ම Litton Dasගේ කඩුල්ල දැවී ගිය අතර, ඉන් පසුව මතීෂ වෙනුවට තරගයට එක් වූ නුවන් තුෂාර පන්දුවට අතට ගත්තා.

ඔහු විසින් යොමු කළ බංග්ලාදේශ ඉනිමේ සිව් වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව Najmul Shanto අබිබවා කෙළින්ම කඩුල්ලේ වැදුණු අතර, තෙවැනි පන්දුව Towhid Hridoy අබිබවා යමින් නැවතත් කෙළින්ම කඩුල්ලේ දැවටුණා. මේ අතර කඩුලු ත්‍රිත්වයක් බලාපොරොත්තුවෙන් තුශාර විසින් යොමු කළ පන්දුවාරයේ සිව් වැනි පන්දුව Mahmudullahගේ පා ආවරණයේ වැදුණු අතර, පිටියේ විනිසුරු විසින් එය කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවක් ලෙස සලකමින් දැවී යාම සංඥා කළා.

මේත් සමඟම ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක පිට පිටම කඩුලු ත්‍රිත්වයක් දවා ගත් හය වැනි පන්දු යවන්නා බවට පත් වීමට නුවන් තුෂාරට අද හැකියාව ලැබුණා. එතෙකින්ද නොනැවතුණු තුෂාර ඔහුගේ මීළඟ පන්දුවාරයේ දී Soumya Sarkarගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුනා.

පසුව ක්‍රියාත්මක වූ නායක වනිඳු ද සිය නැවත පැමිණීම සමරමින් බංග්ලාදේශ ඉනිමේ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ජයග්‍රහණයක් පෙනෙන තෙක් මානයක හෝ නොසිටි බංග්ලාදේශ ඉනිමට යම් ජීවයක් ලබා දුන් Rishad Hossain පන්දු 30කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 7ක් ද සමඟයි. මේ අතර Taskin Ahmed ද පන්දු 21කින් ලකුණු 31ක් ලබා ගත්තා.

මේ අතර ඉනිමේ 18 වැනි පන්දුවාරය සහ සිය අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ නුවන් තුෂාර Shoriful Islam දවා ගනිමින් සිය කඩුලු පහේ සීමාවට ළඟා වීමට ද සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාවට තරගයෙන් ලකුණු 28ක ජයග්‍රහණයක් හිමි වුනා. එමෙන්ම මෙම ජයත් සමඟින් ශ්‍රී ලංකාව මෙම විස්සයි විස්ස තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

  • තරගයේ වීරයා– නුවන් තුෂාර
  • තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්

Result


Bangladesh
146/10 (19.4)

Sri Lanka
174/7 (20)

Batsmen R B 4s 6s SR
Dhananjaya de Silva c Soumya Sarkar b Taskin Ahmed 8 12 1 0 66.67
Kusal Mendis c Soumya Sarkar b Taskin Ahmed 86 55 6 6 156.36
Kamindu Mendis c Shoriful Islam b Rishad Hossain 12 12 2 0 100.00
Wanidu Hasaranga c Shoriful Islam b Mustafizur Rahman 15 13 1 1 115.38
Charith Asalanka c Mustafizur Rahman b Shoriful Islam 3 5 0 0 60.00
Angelo Mathews c Soumya Sarkar b Rishad Hossain 10 7 0 1 142.86
Dasun Shanaka run out (Liton Das) 19 9 2 1 211.11
Sadeera Samarawickrama not out 7 7 1 0 100.00


Extras 14 (b 5 , lb 1 , nb 0, w 8, pen 0)
Total 174/7 (20 Overs, RR: 8.7)
Bowling O M R W Econ
Shoriful Islam 4 0 28 1 7.00
Taskin Ahmed 4 0 25 2 6.25
Mahedi Hasan 3 0 22 0 7.33
Mustafizur Rahman 4 0 47 1 11.75
Rishad Hossain 4 0 35 2 8.75
Soumya Sarkar 1 0 11 0 11.00


Batsmen R B 4s 6s SR
Liton Das c Dasun Shanaka b Dhananjaya de Silva 7 11 1 0 63.64
Soumya Sarkar b Nuwan Thushara 11 10 2 0 110.00
Najmul Hossain Shanto b Nuwan Thushara 1 6 0 0 16.67
Towhid Hridoy b Nuwan Thushara 0 1 0 0 0.00
Mahmudullah lbw b Nuwan Thushara 0 1 0 0 0.00
Jaker Ali lbw b Wanidu Hasaranga 4 13 0 0 30.77
Mahedi Hasan b Wanidu Hasaranga 19 20 2 0 95.00
Rishad Hossain c Sadeera Samarawickrama b Maheesh Theekshana 53 30 0 7 176.67
Taskin Ahmed c Dhananjaya de Silva b Dasun Shanaka 31 21 3 2 147.62
Shoriful Islam c Dasun Shanaka b Nuwan Thushara 4 2 1 0 200.00
Mustafizur Rahman not out 7 3 0 1 233.33


Extras 9 (b 1 , lb 1 , nb 0, w 7, pen 0)
Total 146/10 (19.4 Overs, RR: 7.42)
Bowling O M R W Econ
Angelo Mathews 1.1 0 5 0 4.55
Binura Fernando 4 0 39 0 9.75
Dhananjaya de Silva 0.5 0 2 1 4.00
Nuwan Thushara 4 1 20 5 5.00
Wanidu Hasaranga 4 0 32 2 8.00
Maheesh Theekshana 4 0 35 1 8.75
Dasun Shanaka 1.4 0 11 1 7.86



ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 13 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<