සංවිධානගත දේශපාලනයේ සුවිශේෂ අත්දැකීමක් වන්නේ ‘පෝස්ටර් ගැසීම’ නම් චාරිත්‍රයයි. එවැනි අත්දැකීම් ඇති ඕනෑම කෙනෙක් මෙහි ආනුභුතික සත්‍යය වටහා ගනු ඇත. අද වනවිට පෝස්ටර් ගැසීමේ සන්නිවේදනමය වටිනාකම බොහෝ අඩු වී තිබෙන්නේ වුවත් එහි අර්ථය වන්නේ පෝස්ටරයේ අන්තර්ගත තොරතුරු සන්නිවේදනය කිරීම පමණක්ම නොවේ. එයට තවත් අර්ථ තිබේ.

නිදර්ශනයක් ලෙස එය සංවිධානයක බලය පෙන්වීමේ අභ්‍යාසයක් විය හැක. මේ හා සමාන ලෙස එහි ඇති තවත් වැදගත් අර්ථයක් වන්නේ එහි ඇති ආත්මීය අත්දැකීමයි. මෙම ක්‍රියාවේ එක්තරා ආකාරයක රැඩිකල් ආත්මීය නිදහසක් අඩංගු වන බව ‘පෝස්ටර් ගැසීම’ නම් වතාවතට සම්බන්ධ වී ඇති ඕනෑම කෙනෙක් පහසුවෙන් හඳුනා ගනු ඇත. එනිසාම මෙය දේශපාලනය *කිරීම* යන ක්‍රියාවේ ඓන්ද්‍රීය අත්දැකීමක් ලෙස ද ගත හැක.

පෝස්ටර් ගැසීම යනු සීමිත පිරිසකට පමණක් කළ හැකි විශේෂඥ දැනුමක් ඉල්ලා සිටින ක්‍රියාවක් නොවේ. එය ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයකි. එනිසාම එය කරන්නේ ‘ඕනෑම කෙනෙකි’. එය කරන්නේ සංවිධානයේ දැන් සිටිනා පිරිසයි. පොදු අරමුණක් වෙනුවෙන් ‘එක මිටට’ එකතු වී ඇති පිරිසයි. එහිදී ඔවුන් කුමන පසුබිමකින් පැමිණෙන්නේ ද යන්න අදාළ නොවේ. එය විවිධ හැකියාවන්, විවිධ පසුබිම්, විවිධ අනන්‍යතාවයන් වලින් එන පුද්ගලයන් එකතු කරන සාමූහික ක්‍රියාවකි. එහිදී අප අපගේ දෛනික ජීවිතයේ අනන්‍යතාවයන් අත්හැර සාමූහික අරමුණක් වෙනුවෙන් එක්වෙයි. ඔබ සිංහලයෙක් ද, දෙමළෙක් ද, ගැහැනියක් ද, පිරිමියෙක් ද, උගතෙක් ද, බුද්දීධිමතෙක් ද ආදී අනන්‍යතාවයන් මෙහිදී වැදගත් නොවේ. ඔබ ඒ සියල්ල මොහොතකට අත්හැර දමා පාප්ප බාල්දියක් සහ පෝස්ටර් මිටියක් රැගෙන මාවත් සිසාරා ගමන් කරයි.

වෙහෙසකර දෙයක් වුවත් මෙහි එක්තරා නිදහසක් තිබෙන්නේ මේ නිසාය. ඔබට අහඹු ලෙස උරුම වී ඇති වටිනාකම් වලින් නිදහස් වී ඔබ සාමූහික අරමුණක් සාක්ෂාත් කිරීමේ පොදු ක්‍රියාකාරිත්වයක කොටසක් වෙයි. එය සිනහවේ සහ මිත්‍රත්වයේ මොහොතකි. එය සොඳුරු මතකයන් ජීවිතයට එක් කරන මොහොතකි.

ගැඹුරුම නිදහස අත්දැකීම දේශපාලනික වන්නේ මේ නිසාය. නිදහස යනු අපව පෙළන බාහිර සාධක – ආණ්ඩුවක්, අධිරාජ්‍යයක්, සමාජ ක්‍රමයක් – පරාජය කිරීම පමණක් නොව ඒ හා සම ලෙස අපට අහඹු ලෙස උරුම වන අපගේ සුවිශේෂ චරිත ලක්ෂණ වලින් ද මිදීමයි. ඒ වෙනුවට එහිදී අප පොදු අරමුණක් වෙනුවෙන් *එක මිටට* එකතු වෙයි. දාර්ශනික භාෂාවකින් එය අපට විශ්වීයත්වය (the Universal) කියා නම් කළ හැක.

බොහෝ දෙනෙක් වරදවා වටහා ගන්නා ප්ලේටෝ ගේ දාර්ශනික-රජු (philosopher-king) යන අදහසේ ගැඹුරු අර්ථය වන්නේ මෙයයි. මින් අදහස් වන්නේ දේශපාලන නායකත්වය දාර්ශනිකයන්ට හිමි විය යුතු බව නොවේ. ඒ වෙනුවට මෙහි රැඩිකල් අර්ථය වන්නේ දාර්ශනිකයා විසින් පුරවරයේ පාලනය යුක්තිසහගත ලෙස සකස් කිරීම වෙනුවෙන් සිය දාර්ශනික හැකියාව ද අවසානයේ දී අත්හැරිය යුතු බවයි. ප්ලේටෝ ට අනුව ඉහලම වටිනාකම වන දාර්ශනික ඥානය පවා අත්හැර අප පොදු අරමුණක් වෙනුවෙන් *එක මිටට* පෙළ ගැසිය යුතු වේ.

ඔබට වඩාත් රැඩිකල් නිදහසක් ජීවිතයේ අත්දැකිය හැකි වන්නේ එම මොහොතේ දී ය.