Home Sinhala බංග්ලාදේශය තරගාවලිය සම මට්ටමට ගෙන එයි

බංග්ලාදේශය තරගාවලිය සම මට්ටමට ගෙන එයි

Sri lanka Tour of Bangladesh 2024

111

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 08 ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය අද (06) සමත් වුනා.

බංග්ලාදේශයේ Sylhet හිදි අද (06) සවස ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ නායක Najmul Hossain Shanto විසින් සමත් වූ අතර, මෙවරත් ඔහු විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමි වී තිබූ අතර, මීට පෙර පැවැත්වුණු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ අකිල ධනංජය වෙනුවට ඩිල්ශාන් මදුශංක අද (04) තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුනා.

ශ්‍රී ලංකාව:

අවිශ්ක ප්‍රනාන්ද, කුසල් මෙන්ඩිස් (wk), කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක, මහීෂ් තීක්ෂණ,ඩිල්ශාන් මදුශංක , බිනුර ප්‍රනාන්දු,මතීෂ පතිරණ

බංග්ලාදේශය:

Soumya Sarkar, Litton Das(w), Najmul Hossain Shanto, Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Taskin Ahmed, Shoriful Islam, Rishad Hossain, Mustafizur Rahman

බංගලි නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතුරින් අවිශ්ක ප්‍රනාන්දු මෙවරත් අසාර්ථක වෙමින් ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හැරී ගියා.

නමුත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් යුගලය විසින් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කිරීමට සමත් වූ අතර, Soumya Sarkarගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දී කුසල් මෙන්ඩිස් දැවී යාමත් සමඟ එම සබඳතාව නිමා වුනා.

මෙන්ඩිස්ගේ පිත්තෙන් ඉනිමට ලකුණු 36ක් එක් වූ අතර, එම දැවී යාමෙන් මොහොතකට පසු එතෙක් වේලා හොඳින් පිතිකරණයේ යෙදෙමින් සිටි කමිඳු ද අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වෙමින් ලකුණු 37කට පිටියෙන් ඉවත් වුනා.

කෙසේ වෙතත් පෙර තරගයේ රිද්මය මෙම තරගයටත් රැගෙන ආ නායක චරිත් හයේ පහර තුනක් ද සමඟින් වේගවත් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුවත් ඔහුට ද දිගු ඉනිමක් කරා යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

චරිත් සහ සදීරගේ දැවී යාමෙන් පසුව මැතිව්ස් සහ දසුන් කඩුල්ලේ එක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ සටහන් වී තිබුණේ ලකුණු 112ක් පමණයි.

කෙසේ වෙතත් ඉන් පසුව මැතිව්ස් සහ දසුන් දෙදෙනා විසින් ඉනිම නිමා වන තෙක් නොදැවී පිතිකරණයේ යෙදුණු අතර, ඔවුන් දෙදෙනා පන්දු 37කින් ලකුණු 53ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

මෙහි දී මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ දසුන් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා. පිතිකරුවන් කිහිප දෙනෙකු ම සාර්ථක ආරම්භ ලබා ගත්ත ද ඉන් එක් අයකු හෝ දීර්ඝ ඉනිමක් කරා යාමට සමත් නොවීම ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ප්‍රමාණය මදක් පහත වැටීමට හේතු වූ බව වටහා ගත හැකි.

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් Soumya Sarkar සහ Litton Das අතරේ ලකුණු 68ක සබඳතාවක් ගොඩ නැගුණා.

මේ අතරේ ම බිනුර ප්‍රනාන්දු විසින් යොමු කළ බංග්ලාදේශ ඉනිමේ තෙවන පන්දුවාරයේ පළමු පන්දුව Soumya Sarkarගේ පිත්ත අසලින් කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතට ඇදී ගිය අතර පිටියේ විනිසුරු විසින් එය දැවී යාමක් ලෙස සංඥා කළා. නමුත් මේ අවස්ථාවේ Soumya විසින් විනිසුරු තීරණය නැවත සලකා බැලීම සඳහා තෙවන විනිසුරු වෙත යොමු වූ අතර, ඔහුගේ තීරණය වුනේ Soumya නොදැවුණු ක්‍රීඩකයකු බවයි.

නමුත් මෙම තීරණය ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නම් කිසි සේත් ම සතුටු වන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

පසුව ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ විසින් Soumyaගේ කඩුල්ල මෙන්ම අනෙක් ආරම්භක පිතිකරු වූ Dasගේ කඩුල්ල ද බිඳ හෙළීමට සමත් වුනත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ නායක Shanto සහ Towhid Hridoy විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 87ක් එක් කිරීමට සමත් වුනේ තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 8ක පහසු ජයක් ද උරුම කර දෙමිනුයි.

තරගයේ වීරයා සම්මානය අගනා අර්ධ ශතකයක් ලබා ගත් බංගලි නායකයාට හිමි වුනා.

මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මේ වන විට එක් තරගය බැගින් ජයග්‍රහණය කරමින් දෙපිළම සම මට්ටමේ පසු වනවා.

Result


Bangladesh
170/2 (18.1)

Sri Lanka
165/5 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Taskin Ahmed b Taskin Ahamed 0 7 0 0 0.00
Kusal Perera c Liton Das b Soumya Sarkar 36 22 2 3 163.64
Kamindu Mendis run out (Mahedi Hasan) 37 27 3 2 137.04
Sadeera Samarawickrama c & b Mustafizur Rahman 7 11 0 0 63.64
Charith Asalanka b Mahedi Hasan 28 14 1 3 200.00
Angelo Mathews not out 32 21 4 0 152.38
Dasun Shanaka not out 20 18 1 1 111.11


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 165/5 (20 Overs, RR: 8.25)
Bowling O M R W Econ
Shoriful Islam 4 1 20 0 5.00
Taskin Ahmed 4 0 38 1 9.50
Mahedi Hasan 4 0 39 1 9.75
Mustafizur Rahman 4 0 42 1 10.50
Rishad Hossain 3 0 21 0 7.00
Soumya Sarkar 1 0 5 1 5.00


Batsmen R B 4s 6s SR
Liton Das c Charith Asalanka b Matheesha Pathirana 36 24 5 1 150.00
Soumya Sarkar c Angelo Mathews b Matheesha Pathirana 26 22 5 0 118.18
Najmul Hossain Shanto not out 53 38 4 2 139.47
Towhid Hridoy not out 32 25 2 1 128.00


Extras 23 (b 4 , lb 6 , nb 0, w 13, pen 0)
Total 170/2 (18.1 Overs, RR: 9.36)
Bowling O M R W Econ
Angelo Mathews 2.2 0 22 0 10.00
Dilshan Madushanka 4 0 34 0 8.50
Binura Fernando 3 0 22 0 7.33
Maheesh Theekshana 4 0 35 0 8.75
Matheesha Pathirana 3.4 0 28 2 8.24
Dasun Shanaka 1.1 0 19 0 17.27



තරගාවලියේ තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය එළඹෙන සෙනසුරාදා (09) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<