Home Sinhala දසුන් ශ්‍රී ලංකාවේ ජාමය බේරා දෙයි!

දසුන් ශ්‍රී ලංකාවේ ජාමය බේරා දෙයි!

Sri Lanka Tour of Bangladesh 2024

185
Sri lanka tour of bangladesh

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා. 

බංග්ලාදේශයේ Sylhet හිදි අද (04) සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ නායක Najmul Hossain Shanto විසින් සමත් වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව යැවීමයි. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමි වූ අතර, ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ නිත්‍ය නායක වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින් වෙනුවට මහීෂ් තීක්ෂණ, අවිශ්ක ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් අද (04) තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුනා. 

ශ්‍රී ලංකාව: 

අවිශ්ක ප්‍රනාන්ද, කුසල් මෙන්ඩිස් (wk), කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ 

බංග්ලාදේශය: 

Soumya Sarkar, Litton Das(w), Najmul Hossain Shanto, Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Taskin Ahmed, Shoriful Islam, Rishad Hossain, Mustafizur Rahman 

බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීම සඳහා කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුනත්, අවිශ්කට මෙම තරගයේ දීත් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

අවිශ්කගේ ඉනිම ලකුණු 4කට සීමා වූ අතර, ඉන් පසුව පිටියට පිවිසුණු කමිඳු මෙන්ඩිස් හයේ පහර දෙකක් ද සමඟින් ඉක්මන් ලකුණු 19ක් ලබා ගැනීමෙන් පසු දැවී ගියා. 

කමිඳු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 37ක් සටහන් වී තිබූ අතර, ඉන් පසුව සදීර සමරවික්‍රම කුසල් සමඟ කඩුල්ලේ එක් වුනා.  

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 61කින් ලකුණු 96ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වූ අතර, මෙම සබඳතාව නිමා කිරීමට Rishad Hossainට හැකියාව ලැබුණා. 

කුසල් මෙන්ඩිස් පන්දු 36කින් ලකුණු 59ක් ලබා ගනිමින් දැවී ගිය අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා. 

කුසල්ගේ දැවී යාමෙන් පසුව නායක චරිත් පිටියට පිවිසි අතර, චරිත් සහ සදීර විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 73ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා විසින් වැය කළේ පන්දු 33ක් පමණයි. 

මෙහි දී චරිත් අසලංකගේ පිත්තෙන් ලකුණු 44ක් වාර්තා වූ අතර, පන්දු 21ක් පමණක් වැය කරමින් දියත් වූ මෙම ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් අන්තර්ගත වුනා. එමෙන්ම සදීර මෙම තරගයේ දී තවත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට ඔහු පන්දු 48කින් නොදැවී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

අද දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් දියත් කළ මෙම වේගවත් ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ 12ක් ඇතුළත් වීම වඩාත් විශේෂ සිදුවීමක්. 

ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශයේ ආරම්භක කඩුලු තුනම ලකුණු 30ක් තුළ දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සහ බිනුර ප්‍රනාන්දු විසින් සමත් වුනා. එමෙන්ම බංගලි නායක Najmul Shanto ද මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ ලකුණු 20ක් ලබා සිටිය දී දැවී ගියා. 

මේ වන විට බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වී සිටියේ තරගයේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි අඩියක පසු වෙමිනුයි. 

ඒ වන විට බංග්ලාදේශය වෙනුවෙන් කඩුල්ලේ එක් වී සිටි Mahmudullah සහ Jaker Ali නැවත තරගයට අවතීර්ණ වීමේ අවස්ථාවක් සොයමින් සිටි අතර, තරගයේ 11 වැනි පන්දු වාරය යොමු කළ මතීෂගෙන් ඔවුන් එම අවස්ථාව සොයා ගත්තා. 

මතීෂ යොමු කළ බංගලි ඉනිමේ එකොළොස් වැනි පන්දුවාරය තුළ ඔහුට පන්දු එකොළහක් යොමු කිරීමට සිදු වූ අතර, එම පන්දුවාරයේ ඔහු විසින් නිපන්දු දෙකක් සහ වයිඩ් පන්දු 3ක් යොමු කළා. මෙම පන්දුවාරයේ දී බංගලි ඉනිමට එක් වූ ලකුණු 20ත් සමඟින් නැවතත් තරගය දෙපිළට ම විවෘත එකක් බවට හැරවුනා. මෙහි දී වසර දෙකක පමණ ඇවෑමෙන් විස්සයි විස්ස ජාතික කණ්ඩායම සමඟ එක් වූ Mahmudullah විසින් පන්දු 31කින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ Mahmudullahගේ ඉනිම නිමා වූ අතර, ඉන් පසුව තරගයේ බර සම්පූර්ණයෙන්ම පාහේ Jakerට පැටවුණා. නමුත් ඔහු බංගලාදේශය වෙනුවෙන් සිය වගකීම අකුරට ම ඉටු කරමින් තරගයේ අවසන් පන්දුවාරය තෙක් ම සිය ඉනිම දියත් කළා.  

තරගයේ අවසන් පන්දුවාරය ආරම්භ වන විට බංග්ලාදේශයට තරගය ජයග්‍රහණය කිරීමට කඩුලු 4ක් අතැතිව ලකුණු 12ක් ලබා ගැනීමට ඉතිරි වී තිබුණා. මේ මොහොතේ පන්දුව අතට ගත් හිටපු නායක දසුන් ශානක විසින් Jakerගේ කඩුල්ල ද සමඟ කඩුලු 2ක් බිඳ හෙළමින්, ප්‍රතිවාදීන්ට ලකුණු 8ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය උරුම කර දුන්නා. 

විශිෂ්ට ඉනිමක් දියත් කළ Jaker Ali පන්දු 34කින් ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මැතිව්ස්, බිනුර සහ දසුන් කඩුලු 2ක බැඟින් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම අධික පින්න නිසා පන්දු යවන්නට පන්දුව හොඳින් ග්‍රහණයට කර ගැනීමේ අපහසුවක් තිබූ බව බංග්ලාදේශ ඉනිම පුරාවටම දක්නට ලැබුණු අතර, මතීෂට ඔහුගේ පන්දු පාලනය කර ගැනීමට නොහැකි වීමට ප්‍රධානතම හේතුවක් ලෙස ද එය අනුමාන කළ හැකි. මතීෂ අද දිනයේ යොමු කළ පන්දුවාර හතර තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 56ක් ලබා දුන් අතර, එහි දී ඔහු විසින් වයිඩ් පන්දු 9ක් සහ නිපන්දු 3ක් යොමු කර තිබුණා. 

කෙසේ හෝ අවසානයේ ශ්‍රී ලංකාවට තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණය හිමි වූ අතර, නායකත්වය ලබා දුන් මංගල තරගය ම ජයග්‍රහණය කරා රැගෙන ගිය චරිත් අසලංක තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා. 

තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය බදාදා (06) Sylhet හිදී ම පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.


Result


Bangladesh
203/8 (20)

Sri Lanka
206/3 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Liton Das b Shaiful Islam 4 2 1 0 200.00
Kusal Mendis c Mahmudullah b Rishad Hossain 59 36 6 3 163.89
Kamindu Mendis c Soumya Sarkar b Taskin Ahamed 19 14 1 2 135.71
Sadeera Samarawickrama not out 61 48 8 1 127.08
Charith Asalanka not out 44 21 0 6 209.52


Extras 19 (b 1 , lb 6 , nb 1, w 11, pen 0)
Total 206/3 (20 Overs, RR: 10.3)
Bowling O M R W Econ
Shaiful Islam 4 0 47 1 11.75
Taskin Ahamed 4 0 40 1 10.00
Mahedi Hasan 3 0 30 0 10.00
Mustafizur Rahman 4 0 42 0 10.50
Rishad Hossain 4 0 32 1 8.00
Soumya Sarkar 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Liton Das c b Angelo Mathews 0 3 0 0 0.00
Soumya Sarkar c Charith Asalanka b Binura Fernando 12 11 2 0 109.09
Najmul Hossain Shanto c Angelo Mathews b Matheesha Pathirana 20 22 3 0 90.91
Towhid Hridoy c & b Angelo Mathews 8 5 0 1 160.00
Mahmudullah c b Maheesh Theekshana 54 31 2 4 174.19
Jaker Ali c Charith Asalanka b Dasun Shanaka 68 34 4 6 200.00
Mahedi Hasan c Angelo Mathews b Binura Fernando 16 11 2 0 145.45
Rishad Hossain c Charith Asalanka b Dasun Shanaka 0 2 0 0 0.00
Taskin Ahmed not out 2 2 0 0 100.00
Shoriful Islam not out 4 2 1 0 200.00


Extras 19 (b 0 , lb 2 , nb 3, w 14, pen 0)
Total 203/8 (20 Overs, RR: 10.15)
Bowling O M R W Econ
Angelo Mathews 3 0 17 2 5.67
Binura Fernando 4 0 41 2 10.25
Maheesh Theekshana 4 0 32 1 8.00
Dasun Shanaka 3 0 36 2 12.00
Akila Dananjaya 2 0 19 0 9.50
Matheesha Pathirana 4 0 56 1 14.00



>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<