ඇරඹුමක් නැති කල

මා වුවත් නුඹ සමග හැමදා සිටිනු නැතිවෙයි සමීපේ
සය වසක් වැඩිමලෙක් වී මා උපන් හින්දා මේ ලොවේ
එක් වුවත් මට නුඹව හැර දා කලින් යාමට සිදු වෙතේ
එදින මතකෙට නැගෙන විට නුඹ තනි වෙතැයි හිත දුක පිරේ

අපේ ගමනට එවන් කලකුත් අනාගතයේ නොම එතේ
නුඹට මා ගැන නොහැඟි ප්‍රේමය මෝදු වේ දැයි සැක හිතේ
එකල්හී නුඹ මහැර වෙනකෙකු සමග දිවි ගෙවනා ඇතේ
ඇරඹුමක් නැති කලට සිහිනත් බොඳ වෙනා හැටි සිහි නැගේ

අවසනක් නැති අඳුරු කෙලවර දෙස බලන් ඇවිදින අපේ
ගමන අවසානයක් වන්නේ දෙකොන තනි වීල ද සිතේ
නුඹට නිති ඇරයුම් කරන්නෙමි වඩින ලෙස දිවියට මගේ
කරන ආයාචනත් නුඹ හට ඇනෙන කටු සේ වෙද ඇඟේ

නුඹව තනි කර දිවි ගෙවන්නට පහසුවක් කිසි නොම දැනේ
නුඹෙන් තොර වූ ලොවක් තනනට දහිරියක් නැති බව හැඟේ
නුඹෙන් පිරි අපෙ මතක ගොන්නට කල් ඉකුත් වන දින නැතේ
නුඹට පිරියක් නැතත් මා ගැන මතකෙ සැඟවී ඉමි සඳේ

Comments