Main Logo

Wednesday 28 February 2024

ගණනාත්ගේ අධිරාජ්‍ය විරෝධය

 ගණනාත්ගේ අධිරාජ්‍ය විරෝධය


සුමේධ වීරවර්ධන දැන් මා සමග කතාබහ කරන්නේ නැහැ. ඔහු මා මෙන් නොව සුපිරි ජාතිකවාදියෙක්. සුපිරි ජාතිකවාදීන් අතර චීන ගැත්තනුත් ඉන්නවා. සුමේධ එවැන්නකු නො වෙයි. ඔහු කලකට පෙර නම් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ගැන පොතක් ලිවුවා. චින්තන පර්ෂදයේ සිටි බොහෝ දෙනා දැන් ඉන් ඉවත් වෙලා. දැන් හතරපස් දෙනකුට වඩා චින්තන පර්ෂදයේ නැහැ. එහෙත් ඇතැම් පඬි නැට්ටන් පශ්චාත් එක්ස් කාරයන් සහ තවත් අය හිතන්නේ මේ සියලු අර්බුදවලට හේතුව මා කියා. මගේ කතා අහල උගත් බුද්ධිමත් තරුණ තරුණියන් බටහිර විද්‍යාව ඇතුළු බටහිර සියල්ල ප්‍රතික්‍ෂෙප කරල රට අගාධයකට ගෙන ගිහින් කියනවා. මා දැනන් හිටියෙ නැහැ මා එච්චර හපන්කමක් කරපු අයකු කියා.


සුමේධ පේරාදෙණි මොටාවෙ දර්ශනය උගන්වනවා. එහෙත් ඔහු රටේ ඉතිහාසය ගැනත් උනන්දුවක් දක්වනවා. සමහරවිට මානව ශාස්ත්‍රවල ඔහු තෝරාගත් පැත්ත වැරදි වෙන්න පුළුවන්. ඔහු අති දක්‍ෂ තොරතුරු හොයන්නෙක්. ඒ වගේ ම ඔහුට ඉක්මණින් කියවන්නත් පුළුවන්. ඉතා හොඳ මතකයකුත් තියෙනවා. මට ඒ කිසිම දක්‍ෂතාවක් නැහැ. මා හිතළු කියන්නෙක් පමණයි. මා දන්නා තොරතුරු ඉතා අල්පයි. ගණිතය හා (ප්‍රවාදාත්මක) භෞතික විද්‍යාව හැරෙන්න වෙනත් විෂය හැදෑරුවා නම් මා උසස් පෙළෙන් එහාට යන්නෙ නැහැ. 


මා පහුගිය දා සුමේධ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය ඉදිරියේ කළ කතාවකට සවන් දුන්නා. ඒ විශිෂ්ට කතාවක්. එහෙත් සභාවේ සිටි අශිෂ්ටයන් කතාව අතරමැද සුමේධට බාධා කළා. ඔවුන් මා එහි කළ කතාවටත් බාධා කළා. ඔවුන් හිතන්නේ එසේ බාධා කිරීම උගතුන්ගේ උගත්බව ප්‍රදර්ශනය කිරීමක් කියා. 


සුමේධ කතා කෙළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අප්‍රකට තොරතුරු රැගත් පොත්පත් කිහිපයක් ගැන. එය ගණනාත් ඔබේසේකරට දුන් පිළිතුරක්. ඔබේසේකර මොටාවෙ ඉගෙන තියෙන්නෙ ඉංගිරිසි. මොටාවෙ අවුරුද්දක් පමණ ඉඳලා ලේක්හවුසියෙ වැඩට ගිහින් තියෙනවා. සුමේධ නම් දිගට ම මොටවෙ හිටියා කියන එකයි මගේ මතකය. ඔහු දර්ශන අධ්‍යයනාංශයේ ම හිටියා. ඔබේසේකර සමාජ විද්‍යාවට මාරු වුණා. ඔහු කීර්තිමත් සමාජ විද්‍යාඥයකු බව කියනවා. ළඟ දි කොළඹ මොටාව ඔහු වෙනුවෙන් උපහාරයක් ද කළා. නැතුව. එහෙත් සුමේධගේ කතාවෙන් ඔබේසේකරගෙ නිරුවත එළි දැක්වුණා. 


ඔබේසේකර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන පොතක් ලියලා. අපොයි නැහැ මා එය කියවලා නැහැ. කියවන්න වුවමනාවකුත් නැහැ. ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔවුන් කියන දේ මට කොහොමටත් දැන ගන්න ලැබෙනවා. සුමේධගේ කතාව අනුව පොතෙන් කියැවෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ කෘර රජකු නොවන බවත් ඩොයිලි වැන්නන්ගේ අසත්‍ය ප්‍රචාර නිසා කෘරත්වයක් ආරෝපණය කෙරී ඇති බවත්. 


ඔබේසේකර හදිසියේ අධිරාජ්‍ය විරොධී දේශප්‍රේමියකු වෙලා ද? සුමේධ ඉතා පැහැදිලිව අප්‍රකට ලිය කියවිලි මෙන් ම ප්‍රකට ලියකියවිලි ද ඉදිරිපත් කරමින් ඔබේසේකර මතය දක්‍ෂ ලෙස බිඳ හෙලනවා. සුමේධ තම කතාව කෙළේ සිංහලෙන්. මෙරට දැනුම් ආධිපත්‍යය තවමත් ඇත්තේ ඉංගිරිසි කතා කරන්නන්ට. ඒ නිසා ඔබේසේකරගේ ගෞරවයට සුමේධගේ කතාවෙන් හානියක් වෙන එකක් නැහැ. 


සුමේධ ඉතා පැහැදිලි ව එකල තිබූ දේශපාලන බලවේග තුනක් ගැන කියනවා. සිංහල බෞද්ධ ජාතික බලවේගය (එකල සිංහල බෞද්ධ යන වචන යොදා ගත්තේ ද නැත් ද යන්න වැදගත් නැහැ), නායක්කාර් බලවේගය හා ඉංගිරිසි බලවේගය. පසුව සඳහන් බලවේග දෙක ම විජාතික බලවේග. සුමේධ ඉන්නෙ සිංහල බෞද්ධ ජාතික බලවේග සමග. ඔබේසේකර ඉන්නෙ නායක්කාර් බලවේගය සමග. ඔහු හදිසියේ දේශප්‍රේමී වෙලා නැහැ. 


ශ්‍රී වික්‍රමලාගේ නායක්කාර් රජ පෙළපත මෙරට රජ කර ඇත්තේ අවුරුදු හැත්තැහයක පමණ සුළු කාලයක්. අප ඉංගිරිසින්ගෙන් යම් නිදහසක් ලබාගෙනත් අවුරුදු හැත්තැහයයි. සුමේධ ඉපදී ඇත්තේ අවුරූදු හැත්තෑහයෙන් ටික කලක් ගියාට පස්සෙ. ඔබේසේකරට ඒ අවුරුදු හැත්තැහය ගැන අමරසේකරට මෙන් ම මතක ඇති. එහෙත් ඔබේසේකරත් අමරසේකරත් දෙපැත්තක ගිය අය. අප අමරසේකරට උපහාර දක්වන විට ප්‍රබුද්ධ සමාජ විද්‍යාඥයන් ඔබේසේකරට උපහාර දක්වනවා. මට තවම හැත්තෑනවයක් පමණක් නිසා ඒ හැත්තෑහයෙන් හැටපහක් පමණ ගැන පමණයි මට අත්දැකීමෙන් කිව හැක්කේ. එහෙත් අවුරුදු හැත්තෑහයකට කොපමණ වෙනසක් වෙන්න පුළුවන් ද කියා අපට හිතා ගන්න පුළුවන්.


සුමේධ ශ්‍රී වික්‍රමගේ කෘරකම් උදාහරණ සහිත ව පෙන්වා දෙනවා. ඔබේසේකර ඒ නොදැන සිටියා ද? එසේත් නැත්නම් විද්වත් ගවේෂණ අනුව කෘරකම් නැත්ද? සුමේධ ශ්‍රී වික්‍රමගේ කෘරකම් පෙන්වා දෙන්නේ ඩොයිලි හොඳ මිනිහකු කරන්න නො වෙයි. සුමේධ සිංහල බෞද්ධ ජාතිකවාදියකු ලෙසයි අදහස් දක්වන්නේ. මේ ඉතිහාසය ගෙන හැර දැක්වීම ගැන අප සුමේධට පින් දෙනවා.  (මතු සම්බන්ධයි)