මෙය නිර්වචනය කළ යුතුය කියා නලින් ද සිල්වා කරන යෝජනාව වැදගත් වෙයි. මෙයට හේතුව වන්නේ ප්‍රභූ තන්ත්‍රයේ ඉතිහාසය අපේ රටේ ඉතිහාසයේ වැදගත් යටි ධාරාවන් දෙකක් වන ආගමික වාර්ගික ජාතිකවාදය සහ විමුක්තිවාදී දේශපාලනය යන යටි ධාරාවන් දෙක තේරුම් ගැනීමට අවශ්‍ය සන්දර්භය ලෙස ගත යුතු වීමයි. සමකාලීන දේශපාලනය අපට මේ අන්ත තුන අතර දෝලනය වන චලනයක් ලෙස හඳුනා ගත හැක.

මේ ඉතිහාසය ඉතිහාසය තේරුම් ගැනීමට මූලික ප්‍රවේශයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රභූ පන්තියේ ඉතිහාසය පිළිබඳව ලියවුනු මයිකල් රොබට්ස් ගේ “Elite Formation and Elites, 1832-1931” යන රචනය මෙහිදී උපයෝගී කර ගනියි. මෙය 1832 වර්ෂයේ සිට 1931 දක්වා කාල පරිච්ඡේදය පදනම් කරගත් විශ්ලේෂණයක් වුවත් – එසේත් නැතිනම්, එම නිසාම – එය අපට ප්‍රභූන් යන සංකල්පයේ සමකාලීන අර්ථය තේරුම් ගැනීමට වැදගත් ඓතිහාසික පසුබිමක් ලබා දෙයි.

රොබට්ස් ට අනුව ප්‍රභූවරයෙක් යනු මූලික සහ සරල චරිත ලක්ෂණ දෙකක් සහ ඒවා මත පදනම් වූ අතිරේක චරිත ලක්ෂණ කීපයකින් සමන්විත වන පුද්ගලයෙකි.

1. ශ්‍රී ලාංකික සමාජයේ (අදාළ කාල පරිච්ඡේදය අනුව Ceylonese society) ඇති භාණ්ඩ හා සේවාවන් සමාජයේ බහුතරයකට අත්පත් කර ගත හැකි සහ පරිභෝජනය කළ හැක මට්ටමට වඩා බොහෝ වැඩි මට්ටමකින් අත්පත් කරගත හැකි වීම සහ පරිභෝජනය කළ හැකි වීම.
2. දේශපාලන බලය අභ්‍යාස කිරීමට හෝ එයට සමීප වීමට හෝ ඇති හැකියාව

මේ මත පදනම් වූ තවත් අතිරේක චරිත ලක්ෂණ කීපයක් අපට ප්‍රභූවරයා යන වර්ගීකරණයට එකතු කළ හැකි අතර අපට මෙය ‘බලය’ සහ ‘සමාජ තත්වය’ යන තේමාවන් යටතේ ගොනු කළ හැක:

3. සමාජීය ලෙස පිළිගැනීමක් ඇති සහ සැලකිය යුතු බලයක් ඇති තනතුරු දැරීම
4. සමාජයේ අන් අයගේ අනුකරණයට ලක් වන හෝ ඊර්ෂ්‍යාසහගත විවේචනය එල්ල වන විශේෂ ජීවන ශෛලිය සහ පාරිභෝගික සංස්කෘතිය
5. ඉහළ සමාජ තත්වය – කුලය හෝ වෙනත් නිර්ණායක මත ලැබෙන
6. සමාජයේ ඉහළ වටිනාකමක් තිබෙන බුද්ධිමය සහ සංස්කෘතික ක්‍රියාකාරම් වෙත සමීප වීමේ වැඩි ඉඩක් තිබීම

රොබට්ස් ට අනුව ප්‍රභූවරයෙක් මේ මූලික චරිත ලක්ෂණ දෙකින් සහ අතිරේක චරිත ලක්ෂණ කීපයකින් සමන්විත වන පුද්ගලයෙක් වශයෙන් නම් කළ හැක. නමුත් මෙහිදී තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙය මාක්ස්වාදී අර්ථයකින් පන්තියක් ලෙස නම් කළ හැකි වන්නේ ද යන්නයි. මෙය සමාජ නිෂ්පාදනය සංවිධානය වී ඇති ආකාරය තුළ පොදු අවකාශයක් නියෝජනය කරනවා යන අර්ථයෙන් අපට පන්තියක් ලෙස ද ගත හැකි බව රොබට්ස් කියයි. නමුත් මෙහි සීමාව වන්නේ මේ මගින් මෙය පන්ති විඥානයකින් ක්‍රියා කිරීම අනිවාර්යය නොවීමයි.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ප්‍රභූ තන්ත්‍රය අභ්‍යන්තරිකව බෙහෙවින් වෙන් වී තිබීමයි. එහි සංකීර්ණ ඉතිහාසය අප විමසා බැලිය යුත්තේ මෙම නිසාය. එමගින් අපට පැහැදිළි වන්නේ මේ ප්‍රභූ තන්ත්‍රයේ ඓතිහාසික වර්ධනය කෙතරම් අහඹු කොන්දේසි මත පදනම් වන්නක් ද යන්නයි. මෙහි මූලික කොන්දේසියක් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍ය තුළ මෙහි ඇති වූ ආර්ථික ප්‍රතිසංස්කරණ යි. එහි ඇති වූ නව ආර්ථික අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගැනීමට ඉදිරිපත් වූ බහුවිධ පාර්ශවයන් මෙම ප්‍රභූ තන්ත්‍රයේ ඓතිහාසික මූලය වෙයි. එම නිසාම එය සම්ප්‍රදායික පහතරට සිංහල මුදලියර්වරු, මුස්ලිම් වෙළඳුන්, බර්ගර් වාර්ගිකයන්, කුල කොන්දේසි අනුව ඉදිරියට පැමිණි කරාව, සලාගම, දුරාව වැනි සංඛ්‍යාත්මක සුළුතරයක් වූ සිංහල කුල නියෝජිතයන් ආදි බහුවිධ පසුබිම් වලින් සමන්විත වෙයි.

ප්‍රවාහනයේ සහ සන්නිවේදනයේ වර්ධනයන් සමග වර්ධනය වූ සම්ප්‍රදායික වෙළඳ ව්‍යාපාර මෙන්ම ආණ්ඩුවේ අරක්කු බලපත්‍ර (‘අරක්කු රේන්ද’) වැනි නව ව්‍යාපාර වලින් ද සැලකිය යුතු ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමට සමත් වූ පවුල් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරියට පැමිණෙයි. ඔවුන් ආර්ථිකයේ ඉහළ මාලයට පැන ගැනීමේ පරිසමාප්තිය වන්නේ කෝපි, පොල් සහ රබර් වැනි කෘෂි භෝග වගාවන් වල හිමිකරුවන් වීමයි.

අධ්‍යාපනය යනු මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ වූ අනෙක් වැදගත් අංශය කියා නම් කළ හැක. එහිදී වෛද්‍යවරුන්, නීතිඥයන් සහ පරිපාලනයේ ඉහළ තනතුරු දරන අය වෙත විශාල දෑවැදි සමග විවාහ කර ගැනීමට හැකියාවක් ලැබීමෙන් ප්‍රාග්ධනය එකතු කිරීමේ අවස්ථාව විවර වෙයි. කෙසේ වුවත් මෙවැනි අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම බොහෝ විට දැනටමත් ධනය තිබෙනා පවුලක සාමාජිකයෙක් හට පමණක් හිමි වන අවස්ථාවක් වන නිසා අධ්‍යාපනය මෙහිදී අපට සැලකිය හැක්කේ දෙවැනි පෙළ සාධකයක් ලෙස පමණි.

තිබෙනා සීමිත සංඛ්‍යා දත්ත මත පදනම් වී මේ ආකාරයේ ජාතික ප්‍රභූ තන්ත්‍රයක් විසිවෙනි සියවසේ මුල් භාගය වන විට රටේ ජනගහනයෙන් 5% පමණ වනවා කියා කිව හැක. නමුත් මෙහිදී වැදගත් වන්නේ මෙම ප්‍රභූ තන්ත්‍රය අභ්‍යන්තරිකව බෙදී තිබෙනා නිසා මෙය සෑම විටම එක් පන්තියක් ලෙස ක්‍රියා කරන්නේ නොමැති වනවා යන කරුණයි. මෙය ‘පන්තිය’ වෙනුවට ‘ප්‍රභූන්’ යන වර්ගීකරණය යටතේ තේරුම් ගැනීමේ වැදගත්කම වන්නේ මෙයයි. අපට මේ යටතේ සමාජය තිරස් අතට මෙන්ම සිරස් අතට ද බෙදී තිබෙනා බව තේරුම් ගත හැකි වෙයි.

තිරස් අතට ප්‍රභූන් සහ ජනතාව ලෙස සමාජය බෙදා දැක්විය හැකි වේ. එහිදී කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රභූන් යන්න තවදුරටත් සංකීර්ණ කරමින් ජාතික ප්‍රභූන් සහ ජනතාව අතර ප්‍රාදේශීය ප්‍රභූන් ලෙස දැක්විය හැකි තුන්වැනි ස්ථරයක් ද එක් කළ හැකි වෙයි.

නමුත් වැදගත් වන්නේ මෙය මේ සමගම සිරස් අතට ද බෙදිය හැකි වීමයි. එය ප්‍රභූන් සහ ප්‍රභූ නොවන සමාජය අතර පූර්වයෙන් පැවති වාර්ගික පක්ෂපාතීත්වයන් අනුව පොදු විඥානයනයක සකස් වීමට ඉඩ දෙයි. එම නිසාම එහිදී විවිධාකාර සමාජ බෙදීම් නිර්මාණය වෙයි. දකුණෙන් ආ නව ප්‍රභූන් වෙත මහනුවර සම්ප්‍රදායික ප්‍රභූන් ලබා දෙන්නේ නිශේධනාත්මක ප්‍රතිචාරයකි. කරාව, සලාගම සහ දුරාව කුල ප්‍රජාවන් ගේ වර්ධනය ගොයිගම කුල ප්‍රජාව ඉවසන්නේ නැත. නමුත් දකුණේ ගොයිගම කුල ප්‍රජාවද තනි ඒකකයක් නොවේ. එහිදී සම්ප්‍රදායික ගොයිගම නායකත්වය හෙබවූ ඔබේසේකර සහ බණ්ඩාරනායක වැනි පවුල් ‘අලුත් සල්ලිකාරයන්’ වූ සේනානායකලා ට සහ ජයතිලකලා ට කැමති වන්නේ නැත. මේ සියල්ල අවසානයේ දී සිංහල සහ දෙමළ, බෞද්ධ සහ ක්‍රිස්තියානි ආදී ලෙස මෙම බෙදීම් තව දුරටත් සංකීර්ණ කළ හැක.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රභූ තන්ත්‍රයේ පාලනය සෑම විටම මෙම එකිනෙක තරඟකාරී කණ්ඩායම් අතර ගැටුමක් ලෙස තිබේ. එය ඉතා භයානක අන්තයන් වෙත සමාජය ඇද දැමිය හැකි වන්නේ මෙම නිසාය. මෙයින් අවසානයේ දී පීඩාවට පත්වන්නේ මේ ප්‍රභූ තන්ත්‍රයෙන් බැහැර සිටිනා ජනයා ය. පසුගිය සියවසේ අපගේ අත්දැකීම් අනුව ගත්විට මෙහි ඍජු ආකෘතිය වන්නේ සිංහල සහ දෙමළ ප්‍රභූන් අතර ඇති අභ්‍යන්තර සිරස් කණ්ඩනය වීම අතර ගැටුමක් ලෙස ඉදිරියට පැමිණීමයි. එහිදී අපට විසිවෙනි සියවස පුරා යටින් දිවෙන සිංහල සහ දෙමළ ජාතිකවාදය යන යටි දහරාව නිරාවරණය වෙයි. එක්තරා සීමාවකට වර්ධනය වීමෙන් පසු මෙම යටි දහරාව ප්‍රභූ තන්ත්‍රයට පාලනය කළ නොහැකි එකක් විය හැකි බව අපි දනිමු. එය අප ප්‍රභූන් යන වර්ගීකරණයෙන් ස්වායත්ත ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකිය යුතු වන්නේ මෙම නිසාය.

නමුත් මෙම යටි ධාරාවේ ඓතිහාසික සීමාව වන්නේ එමගින් යෝජිත නව ලෝකය කිසිදා අනෙකාට එරෙහි පෙනී සිටීමකින් ඔබ්බට වර්ධනය කළ නොහැකි වීමයි. මෙම තිරස් බෙදීමට යටින් දිවෙන තවත් ධාරාවක් පිළිබඳව සිතන්න සිදු වන්නේ මෙම නිසාය. ප්‍රභූන් සහ ජනතාව අතර බෙදීම ලෙස දේශපාලන ගැටුම හඳුනා ගත් මෙම දේශපාලනය විසිවෙනි සියවස පුරා නියෝජනය වූයේ ‘මාක්ස්වාදය’ යන ලේබලයේ ආවරණය යටතේ ය. නමුත් එහි ඉතිහාසය එයට වඩා තරමක් සංකීර්ණ වෙයි. එම නිසාම මේ ඉතිහාසයේ උරුමය ඉදිරියට ගෙන යාම පිළිබඳව අදහස ද අපට මාක්ස්වාදයට වඩා පුළුල් කළ හැකි වෙයි. මේ සඳහා පළමුවෙන් අප මෙම දේශපාලන ධාරාවේ පුළුල් ඉතිහාසය ලියා තැබිය යුතු වේ. ප්‍රභූන් යන වර්ගීකරණයේ වැදගත්කම වන්නේ එය මෙහි නිශේධනය වීමයි.

වංගීස සුමනසේකර