Main Logo

Monday 26 February 2024

බැසිල් හා බටහිර විරෝධය

 

බැසිල් හා බටහිර විරෝධය

 

මා ලියන ලිපිවලට දක්වන ප්‍රතිචාරවලට පිළිතුරු දීමට මට අවශ්‍ය නැහැ. එසේ කිරීමට ගියොත් හැමදා පිළිතුරු ලිය ලිය ඉන්න  වෙනවා. එහෙත් ඊයේ ලිපියට ලැබුණු ප්‍රතිචාර දෙකකට පිළිතුරු දීම අවශ්‍ය වන්නේ ඇතැමුන් ලිපි කියවන්නේ තම අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමට පමණක් බව පෙන්වීමට. 

 

(i)          අද අවාසනාවකට අපේ දැනුමක් ගැන විශ්වාස කරන දේශපාලනඥයන් හිඟයි. හිටියත් තවම පහත මට්ටමේ. ඔවුන්ට උඩට ඒමට කලක් යාවි. මහින්දට යම් ජාතිකත්වයක් තිබුණත් ඔහුට අපේ දැනුමක් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ගෝඨාභයට යම් විශ්වාසයක් තිබුණා. බැසිල්ට කිසිම ජාතිකත්වයක් නැහැ. රාජපක්‍ෂලා හැමෝ එක වගේ නො වෙයි. අද බටහිරයන් දේශපාලනයෙන් ඉවත් කර ඇත්තේ මහින්ද හා ගෝඨාභය පමණක් බව අමතක කරන්න එපා. ජාතිකත්වයක් නැති බැසිල්ට දේශපාලනය කරන්න පුළුවන්. වගේ රනිල් සජිත් හරින් මෝදිදාස් චම්පක වැනි ජාතිකත්වයක් නැති අයටත් කිසිම අවහිරයක් නැතුව දේශපාලනයේ යෙදෙන්න පුළුවන්. තනතුරු අහිමි වුණේ මහින්දට හා ගෝඨාභයට පමණයි. බටහිරයන් හා ඉන්දියාව දිනේෂ් සරත් වීරසේකර වැන්නන්ට අනුග්‍රහයක් දක්වන එකක් නැහැ.”

 

(ii)         අප බටහිර දැනුම අවශ්‍ය පරිදි අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමක් ගැන කියනවා. අප විරුද්ධ වන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයටයි. අප අපේ දැනුම් පද්ධති ගැන කතා කරනවා. ඒවා මිථ්‍යා ලෙස සලකා ඉවත දැමීමට තරම් උගත්කමක් අපට නැහැ

 

පළමු කොටසට දක්වන ලද ප්‍රතිචාරයක් මෙසේයි. “"ජාතිකවාදී කඳවුර බෙදන ඔබ වැනි අය ඇත්තටම ජාතිකත්වයට කරන්නෙ විශාල විනාශයක්. අනික තමන්ගෙ ෆැන්ටසියට හසු නොවන අය විජාතික කිරීම. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඔබ දරන මතය එහෙම එකක්. බැසිල් විසින් මහින්ද කඳවුර දේශපාලන වශයෙන් ගොඩ නංවා නොතිබෙන්නට ඔය කියන ජාතිකත්වය තිබෙන මහින්දට ජනාධිපති වෙනව තියා හිතන්නවත් බැහැ."

 

ප්‍රතිචාරයෙන් පැහැදිලියි  මහින්ද හා කඳවුරෙහි සමගිය කෙරෙහි ඔහු දක්වන ආකල්පය. මහින්ද ජනාධිපති වුණේ බැසිල් විසින් ගොඩනංවන ලද දේශපාලන කඳවුරක් නිසා නො වෙයි. 1977 මැතිවරණයෙන් ශ්‍රී නි පක්‍ෂයෙන් තරග කර පරාජය වූ බැසිල් ජා පක්‍ෂයට එක් වුණා. ඔහු ඉන්පසු ගාමිණී දිසානායකගේ දේශපාලනයට සම්බන්ධ වුණා. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද ජයගත්තේ එකල තිබූ දේශප්‍රේමි කඳවුරේ ශක්තිය නිසයි. එහි දී පූර්ව රනිල්දාස වි පෙ සහාය ලැබුණේ මහින්දට. බැසිල් පසුව 2007 දී මන්ත්‍රීවරයකු වූයේ ජාතික ලැයිස්තුවෙන්. ඔහු මන්ත්‍රීවරයකු වූයේ ජාතිකවාදීන් විසින් ගොඩනගන ලද කඳවුරක ශක්තියෙන් මිස තම ඊනියා දේශපාලන සංවිධාන ශක්තියක් නිසා නො වෙයි. මහින්ද කඳවුර ගොඩ නැගුවේ ශ්‍රී නි , වි පෙ හා ජාතිකවාදී සංවිධාන මිස බැසිල් කෙනකු නො වේ. බැසිල් නොමැතිව මහින්දට ජනාධිපති වීමට හිතන්නවත් බැහැ කියන කතාව හිතන්න පුළුවන් බැසිල් අන්තේවාසිකයකුට පමණයි.

 

2010 දී බැසිල් ගම්පහ දිස්ත්‍රික්කය ජයගත්තේ 2009 කොටි පරාජය කිරීමේ උණුසුම මත. ඔහු පසුව නැවත පාර්ලිමේන්තුවට පත් වූයේ නැවතත් ජාතික ලැයිස්තුවෙන්. ඉන් පසු ඔහු මුදල් ඇමති වූ නමුත් ආර්ථික අර්බුදය මෝරා එන දිනවල ඔහු මාස හතරක් පමණ පාර්ලිමේන්තු පැමිණියේ නැහැ. ඔහුට පාර්ලිමේන්තුවට මුහුණ දීමට තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඔහු පසුව පැමිණි නමුත් අස්වීමට සිදු වුණේ විවේචන හා චෝදනා මධ්‍යයේ. 2022 පරගලයෙන් පසු මහින්ද හා ගෝඨාභය ඉවත් වීමෙන් පසු බැසිල් ජූලි 11 රට අත්හැර යෑමට ගිය මුත් ගුවන්තොටුපොළේ දී එය වැළකුණා. පසුව ඔහු රට අත්හැර ගියා.   ඉන් පසු නැවත පැමිණියේ නොවැම්බරයේ.

 

බැසිල් නිසා ශ්‍රී නි පක්‍ෂය අත්හැර ගිය අය කිහිප දෙනෙක් හිටියා. ඉන් ප්‍රධාන තැනැත්තෙක් තමයි මෛත්‍රිපාල සිරිසේන. මේ සම්බන්ධ විස්තරයක් අප කිහිප දෙනකු සමග පැවසුවේ අන් කිසිවකු නොව එස් බී දිසානායක. අවසානයේ විජාතික බලවේග මෛත්‍රිපාල සිරිසේන තම ජනාධිපති අපේක්‍ෂක බවට පත්කර මහින්ද පරාජය කළා. මහින්ද දිනුවේ බැසිල් නිසා නොව පැරදුණේ බැසිල් නිසා යැයි කීම නිවැරදියි. මහින්ද පැරදීමට  බැසිල් මෙන් මහින්ද පුත්‍රයන් වග කියන්න ඕන. මහින්ද කඳවුර බිඳ හෙලුවේ අය මිස වෙනත් අය නො වෙයි. තවත් විස්තර තියෙන නමුත් ලිපිය දීර්ඝ වන බැවින් මෙතැනින් නවතිනවා. මේ පාර්ලිමේන්තුවෙන් පසු බැසිල් මෙන් ඔහුගේ ගෝල බාලයන් වෙනත් අත්තක එල්ලුනෙ නැත්තන් ඇද වැටෙනවා.

 

දෙවැනි කොටසට ලැබුණු ප්‍රතිචාරයක් මෙසේයි

 

“ඉන්දියාව

-ගවයන්ට වඳිනවා ඒවගේම 10 වෙනියට වැඩියෙන්ම හරක් මස් අපනයනය කරනවා

-ජෙට් යානා වල රෝද වලට දෙහි ගෙඩි තියෙනවා ඒවගේම තමන්ගෙම කියලා ජෙට් යානා ඉන්දියාවෙම හදනවා. දැන් හඳට යානාත් යවනවා

-අළුත් නවීන පාර්ලිමේන්තුවක් හැදුවා හින්දු බමුණු පූජකයන් පිරිවරාගෙන ගිහින් ඒක විවෘත කරනවා

-ඇමරිකාවත් ලස්සනට බැලන්ස් කරනවා රුසියාවත් ලස්සනට බැලන්ස් කරනවා. බොරු බටහිර විරෝදයක් හදාගෙන දඟලන්නෙ නෑ

ලංකාවේ අපිට ඉන්දියාවෙන් සෑහෙන්න ඉගෙන ගන්න දේවල් තියෙනවා

 

ඔහුට අනුව අප බොරු බටහිර විරෝධයක් හදාගෙන දඟලනවා. අප විරුද්ධ වන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයට බව කියා තිබියදීත් ඔහු කියන්නේ අපට බටහිර විරෝධයක් ඇති බවයි. කාට කියන්න ? අප බටහිර දැනුම අවශෝෂණය කිරීමක් ගැන කියන්නේ අපේ දැනුමත් ඇතුළු අපේ සංස්කෘතියට. අවශෝෂණය කියන වචනය තේරෙන්නෙ නැත්නම් උරා ගැනීම කියන්න. එයත් බැරි නම් ඇබ්සෝර්බ් කර ගැනීම කියන්න. ඉන්දියාව කර ඇත්තේ එයයි. එහෙත් අපේ උගතුන් කරන්නේ අපේ දැනුමට හිනහ වීම පමණයි. හීනමානය මිස වෙන එකක් නො වෙයි. දෙහි ගෙඩි කතාව පැත්තකින් තියන්න. ඉන්දියාව  කර ඇති දේ කරන්න දෙන්නෙ නැත්තෙ මෙරට උගතුන් යැයි කියන අය.