ධනාත්මක චින්තනය දෙස තෙවැනි ඇසකින්


නිශාන්ත කමලදාස

ධනාත්මක චින්තනය නැති බැරි අය ඇති හැකි අය කරන චින්තනයකි. පසු බා සිටින අයට නැගිටින්න අත දෙන චින්තනයකි. හැංගී මුළු ගැන්වී සිටින අය සබයට ගන්නා චින්තනයකි. එහෙත් ඇතැම් ධනාත්මක චින්තනය පිළිබඳ දේශන පවත්වන්නන් අපට කියන්නේ අපට කිසිවක් ම බැරි නැති බවයි. සාධනීය ව හිතුවොත් කරන්නට බැරි කිසිවක් නැති බව යි. හැම දෙයක් ම පුළුවන් බව යි. ඔවුන් උත්කර්ෂයට නංවන්නේ හිත ඇත්නම් පත කුඩා ද යන පැරණි ජන වහරේ එන කියමනයි. ඇත්තට ම එය ඇත්ත ද?

ධනාත්මක චින්තනයට ස්වභාවයේ (විද්‍යාවේ) නියමයන් උල්ලංඝනය කරන වැඩ කරන්නට බැරි ය. එහෙත් විද්‍යාව උපයෝගී කර ගත් කළ බොහෝ කළ නොහැකි වැඩ කරන්නට ද හැකි ය. උදාහරණයක් හැටියට හිතපු පලියට අපට පියාඹන්නට බැරි ය. එහෙත් විද්‍යාව උපයෝගී කර ගෙන ඇති අපි පියාඹන්නට ද මග පාදා ගත්තෙමු. ඒ සඳහා හිත පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. දැනුම ද අවශ්‍ය ය. වෙනත් කුසලතා ද අවශ්‍ය ය.

ධනාත්මක චින්තනයක් ඇති කර ගත හැක්කේ අප දැනට ම උගත් ඇතැම් දෑ අත් හැරීමෙනි. අලුත් දැනුම එකතු කර ගැනීමෙනි. එහෙත් අවාසනාවකට මේ දෙක අමාරු ය. අප දන්නා දෙයට ඇලී ජීවත් වන අතර නොදන්නා දෙය සමග ගැටුමකට ද යන්නෙමු. දන්නා යකා නොදන්නා දෙවියාට වඩා හොඳ යැයි කියන කියමන අපේ මේ ස්වභාවය පිළිබිඹු කරන්නෙකි.

අත් හැරිය යුතු දැනුම විශ්වාස මොනවා ද? අපේ ඉරණම ග්‍රහ චාරයෙන් තීරණය වන බවට ඇති විශ්වාස ය. එය පෙර ආත්මයක කරන ලද කර්මයක හෝ නොකරන ලද කර්මයක ප්‍රතිඵලයක් ලෙස ට ඇති විශ්වාස ය. එය දෙවියන්ගේ කැමැත්ත අනුව සිදු වන බවට ඇති විශ්වාසය ය. එයින් ම පැන නගින ඊළඟ තර්කනය වන්නේ ග්‍රහයන් අප්සෙට් නම් මාල මුදු වළලු පැලඳීමෙන් ඒ අප්සෙට් එක මග හරවා ගත හැකි බව ය. මේ ආත්මයේ පින් දහම් කිරීමෙන් පින් රැස් කිරීමෙන් මේ ඛේදවාචකයෙන් ගැලවිය හැකි බව ය. දෙවියන්ට යාඥා කිරීමෙන් පඬුරු බාර ඔප්පු කිරීමෙන් සෙත් කවි කීමෙන් ඉරණම වෙනස් කර ගත හැකි බව ය. ඒ හැම එකකින් ම කියන්නේ එක ම දෙයකි. ඒ අපේ ඉරණම ඇත්තේ අප අතේ නොව අපට ඉහළින් ඉන්නා කාගේ හෝ අතේ බව ය. අන්න ඒ බලවේගය සතුටු කිරීමෙන් අවශ්‍ය අනාගතය හදා ගත හැකි බව ය.

ඉහත දැනුම අත් නොහැර ධනාත්මක චින්තනයක් හදා ගන්නට බැරි ය. මක් නිසා ද යත් ධනාත්මක චින්තනයේ මූලික ම කොන්දේසිය වන්නේ තමන්ගේ ඉරණම තමන් අතේ පවතින බවට ඇති විශ්වාසය ය. එය බුදු බණේ එන අත්තාහි අත්තනෝ නාථෝ – තමන් හිසට තම අත ම ය සෙවනැල්ල යන ඉගැන්වීම හා සම්බන්ධ ය. පළමු විශ්වාස සමග අනන්‍ය වන අපට දෙවැනි විශ්වාසය පෙනෙන්නේ ආගන්තුක සංකර එකක් හැටියට ය. ඒ නිසා පළමු විශ්වාසය දැඩි ව අල්ලා ගන්නා අපි දෙවැනි විශ්වාසය ගැන සැකයෙන් බලමු. මේ ඇලීමෙන් හා ගැටීමෙන් මිදීම ධනාත්මක චින්තනයේ පළමු පියවර ය.

මේ සඳහා විවෘත මනසක් කෙනෙකුට තිබිය යුතු ය. බොහෝ අයට ඇත්තේ වැසුණු මනසකි. ඒ මනසට අනුව තමන් සියල්ල දන්නේ ය. තමන් දන්නා සියල්ල නිවැරදි ය. වෙන අනම් මනම් වලින් වෙනස් නොවන සිතක් ඒ පුද්ගලයා සතු ය. එහෙත් විවෘත මනසක් ඇති පුද්ගලයා තමන් බොහෝ දේ නොදන්නා බවත් දන්නා දේ පවා නිවැරදි ද යන්න නිශ්චිත නැති බවත් දන්නේ ය. ඒ නිසා ම ඔහු තම දැනුම ප්‍රශ්න කරන්නට සූදානම් ය. එයට අභියෝග කරන අයට එය ප්‍රශ්න කරන අයට ඇහුම් කන් දෙන්නට සූදානම් ය. බෞද්ධයෙකු නම් බුදුන් දෙසූ කාලාම සූත්‍රය ඔහුට මතක ය. එහි එන පොත පතේ තිබුණු පලියට ගුරුවරයෙකු කී පලියට පරම්පරාවෙන් ආ පලියට යමක් පිළිගත යුතු නැතැයි යන බණ පදය ඔහුට මතක ය.

චින්තනයෙන් මිදුණා ට මදි ය. ධනාත්මක ක්‍රියාකාරිත්වයෙන් තොර චින්තනයෙන් ලැබිය හැකි වාසියක් නැත. ඒ නිසා අවශ්‍ය වන්නේ ක්‍රියාකාරිත්වය ද ධනාත්මක කර ගැනීම ය. ඒ සඳහා තව පිම්මක් පැනිය යුතු ය. ඒ පිම්ම පැනිය හැක්කේ තවත් දෙකක් අත්හැරීම හරහා ය. ඒ ලැජ්ජාව හා බය ය. වැරදි කරන්නට ඇති ලැජ්ජාව බය කෙනෙකුට අවශ්‍ය ය. එහෙත් නිවැරදි දෙය කරන්නට ද ඇතැම් අය ලැජ්ජා ය, බය ය. හේතුව වැරදෙතැයි යන හැඟීම ය. වැරදුනොත් සවුත්තු වෙතැයි යන හැඟීම ය. තමන්ගේ කීර්තිය නැති වෙතැයි යන බය ය. මේ දෙක ඉවත දමන්නේ නැතිව අලුත් කිසිවක් කළ නොහැකි ය. ඒ හැම විට ම අලුත් යමක් කිරීමේ දී අසාර්ථක වීමේ ඉඩක් තිබෙන නිසා ය.

මෙය වඩාත් බල පාන්නේ ජීවිතයේ පැරදීම් වලට මුහුණ නොදුන් අයට ය. ඔවුන් අකමැති තමන්ගේ අපරාජිත වාර්තාව බිඳ ගැනීමට ය. පැරදුණු කෙනෙකුට එහෙම අවුලක් නැත. රැක ගන්නට වාර්තාවක් නැත. ඒ නිසා ම ඔවුහු අභියෝග බාර ගනිති. ඇතැම් ඒවා ජය ගනිති. ඉතිරි ඒවායින් අනාගතයට පාඩම් උගෙනිති. වැරදෙතැයි බියෙන් ඇකිලෙන අයට මේ අවස්ථා දෙක ම අහිමි ව යයි. පන්තියේ පළමුවැනියාට ව්‍යාපාරිකයෙකු වෙන්නට බැරි දේශපාලනයට පිවිසෙන්නට බැරි ඒ නිසා ය. ඔහුට/ඇයට පැරදී පුරුද්දක් නැත. ඒ නිසා ම පැරදෙතැයි ඉඩ ඇති තැන, අවදානම් ඇති තැන, ඔහු/ඇය මග හරියි.

ඒ නිසා ම ධනාත්මක චින්තනයේ එක කොන්දේසියක් වන්නේ පැරදීමට ඇති සූදානමයි. එයින් අදහස් කරන්නේ එවැන්නෙකු පැරදීමට සැලසුම් හදන බව නොවේ. ධනාත්මක චින්තනය ඇති අයෙකු ජයග්‍රහණයට සැලසුම් හදන නමුත් පරදින්නට ඇති ඉඩ ගැන අවබෝධයෙන් සිටියි. එවන් අවස්ථාවකට අනුගමනය කළ යුතු විකල්ප සැලසුමක් ද ඔහු/ඇය සතු ය.

ධනාත්මක චින්තනය ඇත්තෙකුට learning curve ඉගෙනීමේ චක්‍රය ගැන ද අවබෝධයක් ඇත. ඔ්නෑ ම කුසලතාවයක් ඇති කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් අදියරේ ප්‍රගතිය අතිශයින් මන්ද ගාමී බවත් එක් තැනක දී එය වේගය ගෙන සීග්‍ර ගමනක යෙදෙන බවත් ඔහු දනියි. ඒ නිසා ම සෙසු අය මෙන් තීරණාත්මක මොහොතට පෙර ඉවත් ව නොයා දිගින් දිගට අභ්‍යාසයේ යෙදීමට ඔහු කටයුතු කරයි. ඒ නිසා ම නව කුසලතා අත් කර ගැනීමේ තරඟයේ ඔහු ඉදිරියෙන් සිටියි. කුසලතා නැතිව ධනාත්මක ව හිතීමෙන් පමණක් කිසිවක් කළ නොහැකි බව දන්නා ඔහු කුසලතා රැස් කර ගැනීමේ දුෂ්කර මාවතේ පිය නගන්නට සූදානම් ය. අත් නොහැර ගමන් කරන්නට, අවසානය දක්වා ගමන් කරන්නට, සූදානම් ය.

Leave a comment