ගම යන නුඹ

ඉඩක් ලැබෙනා හැම වෙලාවෙ ම ගෙදර යන්නට හිතන නුඹ හට
කොළඹ කර්කෂ කමේ සැලකුම් නොරුස්සන හැම කලේ මොනවට
නුඹට හිත බැඳි මෙමා නුඹ යළි එනා තෙක් මග බලන් හිටියට
හීන වූව ද නුඹේ සැලකුම් කම් නැතේ නුඹ වටියි නිති මට

නුඹේ හිත තුල ගමින් තොර අන් ලොවක් නැති බව දනී හොඳවට
ගෙදර ගිය විට නිහඬ වී නුඹ ප්‍රියයි ඒ ලොව සැඟවි ඉන්නට
හැඩට ඇඳගෙන ගමන් යාමින රූප ඉඳ හිට ලොවට පෑවට
ප්‍රියයි නුඹගේ කතා අහනට කොහේ සිටියත් නුඹෙ මුවින් මට

ගමන දිගු වුව මගත් හුරු වුව නුඹට ගම යන ගමන අභිමුව
පරෙස්සම ගැන මතක් කර සෙත් පතන්නට මට දැනේ කරුණව
කොතෙක් වර නුඹ කඳුකරේ සැඟවුනත් නිහඬව එලෙස සුරැකිව
නුඹට දැනිලා කතා කරනට මාව කෙදිනක වේ ද හේතුව

Comments