Main Logo

Thursday 22 February 2024

නිර්ප්‍රභූ ස්ථර හා මෝදිදාස්

 

නිර්ප්‍රභූ ස්ථර හා මෝදිදාස්

 

හැට ගණන්වල වි පෙ නායක විජේවීර නිර්ධන පංතිය කියල පංතියක් නිර්මාණය කළා. එය ඔහුගේ නිර්මාණයකුත් නොවෙයි. සංකල්ප පිළිබඳ වැටහීමක් නැතුව කරපු වැරැද්දක්. එය පරිවර්තනයක් කියල කියන්න පුළුවන්. ඔහුට අවශ්‍ය වෙන්න ඇත්තෙ ප්‍රොලිටේරියට් කියන වචනය සිංහලට පරිවර්තනය කරන්න. සමසමාජ නායකයන් හරි ඔවුන්ට සිංහල වචන කියා දුන්න අය හරි එය පරිවර්තනය කරල තිබුණෙ කම්කරු පංතිය හැටියට. විජේවීර එය නිර්ධන පංතිය ලෙස පරිවර්තනය කළා.

 

කම්කරු පංතිය හරි මොන පංතිය හරි නිර්වචනය කෙරෙන්න මාක්ස්වාදයෙ නම් නිෂ්පාදන සම්බන්ධකම් ඇසුරෙන්. එහෙත් ඔය කියන කම්කරු පංතිය හරි හැටි නිර්වචනය කර ගන්න බැරි වෙලා. ආරම්භයේ එයට විඥානයක් නැහැ. ලෙනින් එය පිටින් ගෙනියන්න කටයුතු කළා. පිටින් ගෙනි යන්නෙ කවුද? බුද්ධිමතුන් ? සුළු ධනේශ්වරය ? පැහැදිලි නැහැ. විඥානයක් නැතුව පංතියක් ක්‍රියා කරන්නේ කෙසේ ? ප්‍රශ්න රාශියක්. විජේවීර තමනට තේරෙන විධියට එයට නිර්ධන පංතිය කිවුවා. නිර්ධන පංතියට වැඩියෙන් අයත් වුණේ රැකියා විරහිත ගැමි තරුණ තරුණියන්. ඔවුන් නිෂ්පාදනයක් කළ අය නො වෙයි. ශ්‍රමය විකුණපු අය නො වෙයි. ඔවුන් එක දවසින් පොලීසිවලට ගහල රාජ්‍ය බලය ලබා ගන්න උත්සාහ කළා. මට මතක හැටියට ව්‍යාපාරයේ නායකයකු වූ උයන්ගොඩ එක්කො යාපනේ හිරගෙට ගහන්න නියම වෙලා හිටියා නැත්නම් බණ්ඩාරනායක මැතිණිය අල්ල ගන්න නියම වෙලා හිටියා. සම්බන්ධයෙන් මගේ මතක හොඳ නැහැ.

 

කවුරුත් දන්නා පරිදි ඊනියා විප්ලවය අසාර්ථක වුණා. උයන්ගොඩ ඊනියා දෙවැනි විප්ලවයට සහභාගි වුණේ නැහැ. ඔහු එකල කොළඹ මොටාවෙ. මට මතක නැහැ තනතුර මොකක් කියල. ඔහු ජාතිකත්වයට ජාතිකවාදයට නම් විරුද්ධ වුණා. සමහර විට ඔහු නිරාගමිකයකු වෙන්න ඇති. එහෙත් ඔහු ඉංගිරිසි ක්‍රිස්තියානි දේශපාලන විද්‍යාව ඉගැන්නුවා. ඔහු කියන්න ඉඩ තියෙනවා එය ඉංගිරිසි ක්‍රිස්තියානි නො වෙයි කියලා. ඒකට කමක් නැහැ. එක් එක් අයගෙ ලෝක වෙනස්.

 

අද වන විට උයන්ගොඩ ඇතුළු ප්‍රබුද්ධයන් ඊනියා නිර්ප්‍රභූ ස්ථර හරි පංතිය හරි ගැන කතා කරනවා. එහි ඇති ඊනියා පශ්චාත් මාක්ස්වාදයක් ඇත්නම් මාක්ස්වාදය වැරදියි කියන්න. ඊනියා සමාජයීය විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යන දැනුම් පමණයි. පශ්චාත් නිවුටෝනීය වාදයක් කියා එකක් නැහැ. සාපේක්‍ෂතාවාද ක්වොන්ටම් භෞතිකය පශ්චාත් වන්නෙ කාලයෙන් පමණයි. නිවුටන් තවමත් බොහෝ ක්‍ෂෙත්‍රවල වැඩ කරනවා. මාක්ස් වගේ නොවෙයි. 

 

අද පඬි නැට්ටන් නිර්ප්‍රභූ ස්ථර හරි පංතිය හරි ගැන කතා කරන්නෙ නිර්ප්‍රභූ යන්න නිර්වනය කරල ? එලීට් කියා ඉංගිරිසි වචනයක් තියෙනවා. පිරිසට සමානුපාතික නොවන ධනයක් බලයක් වරප්‍රසාද ආදිය තියෙනවා. ධනපති පංතියෙන් වෙනස් වන්නෙ කොහොම ? ප්‍රභූ විශ්වවිද්‍යාලත් තියෙනවා. ඒත් ධනපති විශ්වවිද්‍යාල නැහැ. කොහොම වෙතත් ප්‍රභූන් හඳුනගන්නෙ කොහොම ? සඳහා නිර්වචනයක් තියෙනවා ? නිර්වචන අවශ්‍ය වෙන්නෙ හඳුනාගන්න. අපට සමහර විට දළ හැඟීමක් තියෙන්න පුළුවන්. ඒත් ඒක මදි.

 

රනිල් ප්‍රභූ මහින්ද ප්‍රභූ දිනේෂ් ප්‍රභූ අනුර (මෝදිදාස්) ප්‍රභූ විමල් වීරවංස ප්‍රභූ සුමන්තිරන් ප්‍රභූ ? බුද්ධිමති ප්‍රභූ ? උයන්ගොඩ ප්‍රභූ ? මහාචාර්යවරු ප්‍රභූ ? කොහොම හරි අද ඔය නිර්ප්‍රභූ දේශපාලනයක් ගැන කියන අය හිතන් ඉන්නෙ මෝදිදාස් නිර්ප්‍රභූ නායකයා කියලා. ප්‍රභූ අය අඳින පළඳින විධියක් තියෙනවා ? මෝදිදාස් යටත්විජිත බුද්ධිමතී දිනනතුරු (ටිල්වින්) ආකර්ෂණීය පුතා (ලාල් කාන්ත)  නාමල් කරුණාරත්න ඌවෙ සමන්ත අතර වෙනස්කම් තියෙනවා ?

 

ඉන්දියාවට (රෝ සංවිධානයට) වි පෙ මෙහෙයවන්න පුළුවන් ?  අමුල් (Anand Milk Union Limited)  සීමාසහිත අනන්ද් කිරි සංගමය ගුජරාටි ප්‍රාන්තයේ සමාගමක්. අද ඉන්දියාවේ කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රධානියා. අපි අමුල්ට අපේ කිරි ටිකත් කළමනාකරණය කරන්න දෙන්න යනවා. මෝදිදාස් එහෙ ගිහින් ප්‍රශ්න කෙළේ ටෙන්ඩර් පටිපාටිය ගැන පමණයි. නාමල් කරුණාරත්න ඔය කියන දේට එකඟ ? ඔහුට එයට එකඟ වෙන්න පුළුවන් ? දැන් හෙට අනිද්දා එට්කා ගිවිසුම අත්සන් කරනවා. මෝදිදාස් මොකද කියන්නෙ.

 

නිර්ප්‍රභූ හරි නිර්ධන හරි දේශපාලනය සම්පූර්ණයෙන් වෛරය ඊර්ෂ්‍යාව ද්වේෂය මත පදනම් වූවක්. ඇතැමුනට මොන තනතුර දැරුවත් තම පරණ වෛර අමතක වෙන්නෙ නැහැ. තමන්ට සමාජයෙන් වූ කෙණෙහිළි කුල පීඩන විවිධ හේතු නිසා ඇති වුණු හීනමාන සමග සමාජය කෙරෙහි ඇති වූ වෛරය සිංහල බෞද්ධ කම වටා කැරකෙනවා. අද ජා බලවේගයට කියන හීනමානය තරමට නැහැ. එය මෙහෙයවෙන්නෙ බුද්ධිමතිලා විසින්. මෝදිදාස් යටත්විජිත ආදීන් දැන් වෙනත් සමාජ ක්‍රමයකට පුරුදු වෙලා. ඒත් දිනනතුරු නාමල් කරුණාරත්න ආදීන්ට තරමට වෙනස් වෙන්න බැහැ.

 

මහාචාර්යවරුන් ඇතුළු ඊනියා උගතුන්ගේ ප්‍රශ්නය වෙනස්. ඔවුන්ට මොටාවෙ සැලකිලි ලැබෙනවා වෙන්න පුළුවන්. ඒත් දේශපාලන බලවතුන්ගෙ සමාජය ඔවුන් ගණන් ගන්නෙ නැහැ. දේශපාලන බලවතුන් අවශ්‍ය නම් ඔවුන් මුදලට ගනීවි.  කුලමල ප්‍රශ්න උපාධියෙන් විසඳ ගන්න බැහැ. ඔවුන් තමයි ඊනියා ප්‍රභූ පංතිය හරි ස්ථරය හරි බලයෙන් පහ කරන්න  උපදෙස් දෙන න්‍යායාචාර්යවරුන්. ඒත් ප්‍රශ්නය මෝදිදාස්ට යටත්විජිතට බුද්ධිමතීට අවශ්‍යතාව දැන් තියෙනවා කියන එක. අපි බලමු.