Main Logo

Tuesday 20 February 2024

නිර්ප්‍රභූ පංතිය දිනන තුරු

 

නිර්ප්‍රභූ පංතිය දිනන තුරු

 

 

“2024 වසරේදී මැතිවරණ මාධ්‍ය කොටගෙන සිදුවිය හැක්කේ මෙම ප්‍රභූ තාන්ත්‍රික සමාජ පන්තිය අතර මෙතෙක් කල් හුවමාරු වූ දේශපාලන බලයනිර්ප්‍රභූසමාජ ස්තරයක් වෙතට මාරුවීමයි. අධිපති ප්‍රභූ පන්තිය සමග සමාජ, සංස්කෘතික, ඥාති, මිත්‍ර, විවාහ ආදි කිසිදු සම්බන්ධතාවක් නැති, නිර්ප්‍රභූ වීම නිසාම පිටස්තර වී සිටින, සමාජ ස්තර අතර දේශපාලන සන්ධානයකට මාරුවීමයි. මෙම වසරේ මැතිවරණ සහ මැතිවරණ ප්‍රතිඵල ගැන එජාපය, පොහොට්ටු පක්‍ෂය, ශ්‍රීලනිපය, පොහොට්ටුවෙන් කැඩී ගිය කොටස් මෙන්ම එජාපයෙන් කැඩී ගොස් පිහිටුවා ගන්නා ලද සජබයද බියට පත්වන්නේ, එක සමාජ පන්තියකින් තවත් සමාජ පන්තියකට, අධිපති ප්‍රභූ තන්ත්‍රයේ සිට අධිපති නොවන නිර්ප්‍රභූ සමාජ පන්තියකට, දේශපාලන බලය මාරුවීමේ හැකියාව තිබෙන නිසාය.

 

ඉහත කී නිරීක්‍ෂණය වෙතින් මතු කළ හැකි තවත් අලුත් දේශපාලන ප්‍රවණතාවක් දැනටමත් ලංකාවේ මතුවී තිබේ. එනම් අඩු තරමින් සිංහල බහුතර සමාජයේ දුගී, පීඩිත, ගොවි, කම්කරු, තරුණ සහ මධ්‍යම පන්තික සමාජ කොටස්, සිංහල ප්‍රභූ පන්තියේ දේශපාලන නායකත්වය තවදුරටත් පිළිගන්නේ නැති බව සහ නිර්ප්‍රභූ සහ අධිපති නොවන සමාජ/පන්ති පසුබිමකට අයත් නව දේශපාලන නායකත්වයක් පිළිගැනීමට සහ අනුගමනය කිරීමට තීරණය කර ඇති බව පෙනෙන්නේය යන්නයි. වෙනත් ආකාරයකින් කිවහොත්, පසුගිය කාලයේ උත්සන්න වූ ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදවල ප්‍රතිඵලයක් වී තිබෙන්නේ, අධිපති පාලක පන්තිය ජනතාව මත පවත්වාගෙන ගිය දේශපාලන හා මතවාදී ආධිපත්‍යය දෙදරා ගොස්, අර්බුදයට පත්වීමයි. එය නිදහසින් පසු ලංකාවේ දේශපාලනය තුළ ඇතිවූ ඉතාම වැදගත් පරිවර්තනයකි. 2022 වසරේ පුරවැසි අරගලය වෙතින් සංකේතවත්ව ප්‍රකාශයට පත්වූයේ අධිපති දේශපාලන ප්‍රභූ පන්තිය සහ මහජනතාව අතර පැවැති සාම්ප්‍රදායික ආධිපත්‍යවාදී සම්බන්ධය කඩා වැටීමයි.”

 

ඉහත සඳහන් වන්නේ මෙරට බුද්ධිමත් නිර්ප්‍රභූ  මහාචාර්යවරයකු වූ ජයදේව උයන්ගොඩ විද්වතාණන් පුවත්පතකට විදග්ධ බසින් ලියූ  ලිපියක කොටසක්. මෙරට මොටාවේ මෙන් මෙටාවේ මහත් සම්භාවනාවට පත් වී ඇති ඔහු කලක් මාක්ස්වාදියෙක්. දැන් කවුද කියා කියන්න මා දන්නේ නැහැ. ඔහු එකල මාක්ස්වාදියකු, ඔවුන් කී අන්දමට හා ඔවුන්ගෙන් පැවත එන්නන් දැනටත් කියන අන්දමට මාක්ස් ලෙනින්වාදියකු. එකල ඔවුන් මාක්ස් ලෙනින්වාදීන් ලෙස කතා කෙළේ නිර්ධන පංතියක් ගැන. අද කවුරුන් ලෙස වුවත් ඔවුන් කතා කරන්නේ නිර්ප්‍රභූ පංතියක් ගැන. ලෙනින් තවමත් කම්කරු පංතියට පංති විඥානය ගෙන යනවා වෙන්න ඕන. වැඩේ හරියට කෙරෙන බවක් පේන්න නැහැ.

 

උයන්ගොඩ හෙවත් එකල මහත්තයා ජාතිකත්වයට ජාතිකවාදයට තදින් විරුද්ධ අයෙක්. ඔහු කොපමණ විරුද්ධ කියනවා නම් එහි දී ප්‍රභූ ජී එල් පීරිස් එක්කත් එකතු වෙනවා. උයන්ගොඩලා සහ තවත් අය අද නිර්ප්‍රභූන් ගැන කියනවා. ඔවුන් ලියන දෙයින් කියැවෙන්නේ (මගේ ඊනියා කියැවීමක් නො වෙයි) අද නිර්ප්‍රභූ පංතියක් ඇති බවත් මෙරට නිර්ප්‍රභූ පංතියට බලය පැවරීමට ජනතාව ( කවුරුන් වුවත්) සූදානම් බවත්.

 

එපමණක් නොව ඔවුන් කියන විධියට 2022 පරගලයෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙරටඅධිපති දේශපාලන ප්‍රභූ පන්තිය සහ මහජනතාව අතර පැවැති සාම්ප්‍රදායික ආධිපත්‍යවාදී සම්බන්ධය කඩා වැටීමයි”. එහෙම කඩා වැටිල නිර්ප්‍රභූ රනිල් ජනාධිපති වෙලා. රනිල් පන්නන්න ආයෙත් ප්‍රභූ පංතියට ඉඩක් ලැබෙන්නේ නැහැ. රනිල්ට දැන් ඉන්න ගෙයක්වත් නැහැ කියනවා. ප්‍රභූ පංතිය රනිල්ගෙ කොළඹ තුනේ පස්වැනි පටුමගේ තිබුණ පොල් අතු ගේ පුච්චලා. පොල් අතු නිසා ඉක්මණින් පිච්චෙන්න ඇති.

 

දැන් රනිල්ගෙන් පස්සෙ බලයට පත්වෙන බව කියන රනිල්දාස හෙවත් මෝදිදාස් ප්‍රභූ පංතියට අයත් නැහැ. තඹුත්තේගම උපන් ඔහූ පසුව කැලණිය මොටාවෙ විද්‍යා උපාධි පාඨමාලාවට එකතු වෙලා නිර්ප්‍රභූ දේශපාලනයෙ යෙදෙන බුද්ධිමතෙක්. ඔහු හොඳ ගැලරී කතා කාරයෙක්. නිර්ප්‍රභූ දේශපාලකයන් අනෙක් අයටත් වඩා වීර කතා කියන්න දක්‍ෂයන්. මෝදිදාස් කන බොන හැටි අඳින පළඳින හැටි ගැන කියන්න මා දන්නෙ නැහැ. ඔහු මොනව වුණත් නිර්ප්‍රභූ. යටත්විජිතත් එහෙමයි. දිනනතුරු ආකර්ෂණීය පුතා නිර්ප්‍රභූ. සමහරුන්ගෙ දරුවන් පෞද්ගලික මොටාවල ඉගෙන ගෙන. ඒකෙ වරදක් නැහැ. ආණ්ඩුවෙ මොටාවල ඉඩ නැහැ නොවැ. ආණ්ඩුවෙ හිරගෙවල්වලත් ඉඩ නැහැ.

 

ඇත්තට මාක්ස්ට වැරදිලා. ඔහුට නිරප්‍රභූ පංතිය පෙනිලා නැහැ. කාලෙ හොඳ උපැස් නැත්තන් කණ්ණාඩි තිබුණෙ නැත් දන්නෙ නැහැ. නිර්ප්‍රභූ පංතිය කොළඹ ආතල්ගමට ආවට ලන්ඩනයෙ හයිඩ්පාක් ගියෙ නැතුව දන්නෙ නැහැ. කොහොම හරි වරද්ද ගත්ත මාක්ස්ගෙ සොහොන් කොතට ගිහින් පින්තූර ගන්න විද්වත් මහාචාර්යවරු ලංකාවෙ ඉන්නවා. නිර්ප්‍රභූ මහාචාර්යවරු වෙන්න ඇති.

 

මට ප්‍රශ්න තියෙනවා. හැත්තැ එකේ නිර්ධන පංතිය හා වත්මන් නිර්ප්‍රභූ පංතිය කියන්නෙ එකක් ? දෙකේ වෙනසක් තියෙනවා ? ඔය මොන පංතියක් හරි අර මහින්ද හොරා වෙනුවෙන් යම් දවසක කඩේ ගියා ? රනිල්දාස නිර්ප්‍රභූ රනිල් සමග යහපාලන කාලෙ තිබුණ සම්බන්ධකම් මොනවා ? රනිල් රනිල්දාස ළඟ තවමත් තියෙනවා කිවුව ලිපි ගොනු මොනවා ? බුද්ධිමති නිර්ප්‍රභූ පංතිය වෙනුවෙන් කැප වෙච්ච ප්‍රභූවරියක් ? දිනනතුරුට මෝදිදාස්ගෙන් කැඩිල දිගට නිර්ප්‍රභූන් දිනන තුරු ඉන්න වේ ? වි පෙ කැඩීම අත ළඟ ? (මතු සම්බන්ධයි)