Main Logo

Saturday 17 February 2024

කළු කුහර හා මෝල් ගස්

 

කළු කුහර හා මෝල් ගස්

 

කළු කුහර ගැන අද බටහිර විද්‍යාවේ අදහසක් තියෙනවා. මා එයට විරුද්ධ අදහසක් දරණවා. ඊනියා අපූර්වත්වය (singularity) මා විශ්වාස කරන්නේ නැහැ. මා සිංහල බෞද්ධයකු නිසා. බටහිර විද්‍යාවේ අද බලපවත්වන්නේ සිංහල බෞද්ධ චින්තනය නො වෙයි. එහි ප්‍රධාන ධාරාව රැඳෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත. යුදෙව් දෙවියන් වහන්සේ අපූර්වත්වයක්. කළු කුහරවල මුල අපූර්වත්වයයි.

 

මා සිංහල බෞද්ධ චින්තනය මත හිඳිමින් පත්‍රිකාවක් ලියූ විගස බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාව එය පිළිගන්නේ නැහැ. බටහිර මහා පිපිරුම වෙනුවට මා හා වසන්ත කටුගම්පොළ ලියූ සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වය අවුරුදු පහළොවක් තිස්සේ පිළිගැනෙන්නේ නැහැ. බටහිරයන් අප ලියන පරිධියේ පත්‍රිකා නම් පිළිගන්නවා. මා කළු කුහර ගැන සිංහලෙන් ලියන්නේ පිළිබඳ මතයක් සිංහල බෞද්ධයන් අතර ඇති කරන්න පමණයි. අවශ්‍ය නම් පමණක් ඉංගිරිසියෙන් ලියනවා. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවේ ඔය කියන ශාස්ත්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.

 

සමහරකු කියන්න පුළුවන් නලියා තමන්ට බටහිර විද්‍යාව බැහැ කියන්නෙ නැතුව අනම් මනම් කියවනවා කියා. මට විද්‍යාඥයකු වීමට නම් නොහැකි වුණා. ඇත්තක්. මා ආවාර්ය උපාධියට ගවේෂණය කෙළේ මහා පිපිරුම ගුරුත්වජ කාච ආදිය. මහා පිපිරුම කියන්නෙ මැවීම සංකල්පය වෙනත් වචනවලින්. මා එය පිළිගන්නේ නැහැ. මා දන්නේ අගක් මුලක් නැති විශ්ව විකාශයක්. යමක මුල හොයන්න ගිය විට තමයි පළමු හේතුවක් ගැන කියන්න වෙන්නෙ. රේඛීය චින්තනය. චක්‍රීය චින්තනයේ අගක් මුලක් නැහැ. කිකිළි බිත්තරේ ප්‍රශ්නය අහන්නෙ රේඛීය චින්තනයෙ. චක්‍රීය චින්තනයෙ ප්‍රශ්නය අහන්නෙ නැහැ.

 

චාල්ස් ඩාවින් දෙවියන් වහන්සේ මගහැරියේ නැහැ. සත්ව විකාශයෙත් මුලකට යනවා. එතනිනූත් එහා තමයි මහා පිපිරුම තියෙන්නේ. අප සිංහල බෞද්ධයන් වුවත් අපට අග්ගඤ්ඤ සූත්‍රය විභාගයට ඇති තවත් සූත්‍රයක් පමණයි. එහෙත් මහා පිපිරුම මගින් අපි මැවීමක් විශ්වාස කරනවා. දැනුම් ආධිපත්‍යය එබඳුයි. මා මෙවැනි දේ දැන් අවුරුදු තිස්පහකට වැඩි කාලයක් කියනව. අපේ දැනුම ලබා ගන්නා ආධ්‍යාත්මික ක්‍රම ගැන කතා කරනවා. එහෙත් සමාජයේ මගේ අදහස්වලට පිළිගැනීමක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහගෙන් පසු ජඩමාධ්‍යය සම්පූර්ණයෙන් මා නොසළකා හරිනවා. දෙරණ ඩිල්කා ලවා මා වංචනිකයකු බව රටට කියන්න හැදුවා.

 

අප බෞද්ධයන් නම් දැනුම බොරුවක් කියන එක පැහැදිලි වෙන්න ඕන. බුදුදහමට අනුව මේ සියල්ල මායාවන්. එහි ඊනියා යථාර්ථයක් නැහැ. අප ලෝක සංස්කරණය කරනවා. මා මගේ ලෝකය ඔබ ඔබේ ලෝකය. අප පාසලේ දී මොටාවේ දී ඉගෙන ගන්නේ අපට බටහිරයන් සංස්කරණය කර දී ඇති ලෝකය. සියල්ල මායාවන් පමණයි. මම කියා කෙනකු නැතැයි බුදුහාමුදුරුවන් කියන විට අප පිළිගන්නේ නැහැ. ඉතින් මා කියන දෙයක් මේ සමාජය පිළිගනීවි ? සමාජය මට නාකියා මිථ්‍යා මතධාරියා මැන්ටලයා කියනවා.

 

කළු කුහර සමබන්ධයෙන් මට කීමට ඇත්තේ සුළු කරුණක්. ඔය ඊනියා ගුරුත්වාකර්ෂණය දිගින් දිගට ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙම හිතලා තමයි අපූර්වත්වයකට යන්නෙ. එක්තරා අවස්ථාවක දී ආකර්ෂණය විකර්ෂණයක් බවට හැරෙනවා. එය අර අභ්‍යන්තර විසඳුම යොදා ගෙන පෙන්වන්න පුළුවන්. අප පංච මහා භූතයන් ගැන කියනවා. භූතයන් අතර හුවමාරුවීම් තියෙන්න පුළුවන්. ආකාෂ භූතයා තමයි විකර්ෂණය කරන්නෙ.

 

මා එහෙම කිවුව පඬි නැට්ටන් මට හිනහ වෙන බව මා දන්නවා. එහෙත් ඔවුන් විශ්වය ප්‍රසාරණය වෙන බව කියනවා. විකර්ෂණයක්. විකර්ෂණය සිදු වන්නේ කුමක් නිසා ? එයට හේතුව අවකාශයයි. එසේත් නැත්නම් මහා පිපිරුම ?

 

බටහිරයන් කියන විධියට කළු කුහර හැදෙන්නෙ වස්තු සංකෝචනය වීමෙන්. ගුරුත්වය යටතේ සංකෝචනය වෙනවා. කළු කුහර කියන්නෙ සාමාන්‍ය වස්තු දිගින් දිගට සංකෝචනය වීමෙන් හැදෙන වස්තු මිසක් අමුතු ද්‍රව්‍යයකින් හැදෙන වස්තු නො වෙයි.

 

අප කියන්නේ මේ සංකෝචනය එක් අවස්ථාවක දී නවතින බවයි. ඉන් පසු ප්‍රසාරණය වෙනවා. එහෙත් දිගින් දිගට නො වෙයි. ප්‍රසාරණයත් ඊනියා සිද්ධි  ක්‍ෂතිජයේ දී (event horizon) නවතිනවා. එවිට ඇති වන්නේ කඵ කබොළක් කියන්න පුළුවන්. සියල්ල අර අභ්‍යන්තර විසඳුම මගින් පෙන්නන්න පුළුවන්.

 

එය ලියූ වහාම මා මෙහි පළ කරනවා. දැනට අර අභ්‍යන්තර විසඳුම කියව ගන්න. එහෙත් එයත් පට්ටපල් බොරුවක් පමණයි. බොරු හා පට්ටපල් බොරු අතර ඇත්තේ සංයුක්තය හා වියුක්තය අතර ඇති වෙනස. සංයුක්ත බොරු හිතෙන් මවා ගන්න පුළුවන්. සමහර විට ඉන්ද්‍රිය ගෝචර වෙනවා. වියුක්ත බොරු නැත්නම් පට්ටපල් බොරු හිතෙන් මවා ගන්නත් බැහැ. මෝල් ගහ සංයුක්ත බොරුවක්. එය ඉන්ද්‍රිය ගෝචරයි. සරල රේඛා හිතෙන් මවා ගන්න බැහැ. සරල රේඛාවලට දිගක් මිස පළලක් ඝනකමක් නැහැ. අප පාසලේ සරල රේඛා කියා අඳින්නේ පොඩි හීන් මෝල් ගස්. සරල රේඛා අඳින්න පුළුවන් තුඩක් නැති පැන්සලකින් පමණයි. හීන් මෝල් ගස්වලට සරල රේඛා කියන අප මෝලුන් වීම පුදුමයක් නො වෙයි.    

 

බටහිරයන් අපට අපේ කියන දැනුමකුත් සංස්කරණය කර දීලා. ඕල්කට්තුමා ගැන ඇති දැනුම එබඳුයි. මෙරට බෞද්ධ ප්‍රබෝධයට හේතුව ඕල්කට්තුමාවත් ධර්මපාලතුමාවත් නො වෙයි. ඈංග්ලිකන් හා මෙතෝදිස්ත ක්‍රිස්තියානි සභා. ඔවුන් කළ අපහාස උපහාස නොසැලකීම් ආදිය නිසා ඇතැම් බෞද්ධයන් එයට විරුද්ධ නැගී හිටියා.   විස්තර හෙට.  පසුව ජයදේව උයන්ගොඩගේ නිර්ප්‍රභූ පංතිය ගැනත් කියන්න තියෙනවා. අර කම්කරු පංතිය දැන් නැද්ද?