Collapse Into Me – එක් කතාවක්; සිනමාපට දෙකක්

Avatar Kavinu Weerakkody | February 16, 2024 155 Views 0 Likes 4.33 On 6 Ratings

155 Views 4.33 On 6 Ratings Rate it

ස්නේහ සහ Three – Way Junction කෙටි සිනමාපට අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා රසිකයින්ගේ අවධානයට ලක්වුනු තරුණ සිනමාකරුවෙකු වන මහේල හෙට්ටිආරච්චි මේ දිනවල ඔහුගේ තුන්වන සිනමා නිර්මාණයත් සමඟින් කාර්යබහුල වී සිටිනවා. “Collapse Into Me” නමින් හැඳින්වෙන මෙම නවතම සිනමාපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ කුසල් සුබසිංහ සහ රෙබෙකා දිල්රුක්ෂියි.

නමුත්, සාමාන්‍යයෙන් දැකගන්නට ලැබෙන ලාංකීය කෙටි චිත්‍රපටවලට වඩා වැඩි වෙනසක් මේ නිර්මාණයේ තිබෙන බවට අපට ආරංචි වුනා. ඒ ගැන විමසන්නට අප විසින් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන මහේල හෙට්ටිආරච්චිව සම්බන්ධ කරගත්තා. මේ Collapse Into Me ගැන මහේල සමඟින් සිදු කළ සංවාදයයි…

මහේල අලුත් වැඩකට අතගහපු බවක් ආරංචි වුනා?

ඔව්. මගේ අධ්‍යක්ශණයෙන් එලියට එන තුන් වෙනි කෙටි චිත්‍රපටය Collapse Into Me ලඟදීම එලියට එනවා. අපේ කෙටි චිත්‍රපටයක් මේ විදිහට එලියට එන්නේ අවුරුදු දෙක හමාරකට විතර පස්සේ. දැන් මාස හයකට විතර කලින් තමයි අපි මේ කෙටි චිත්‍රපට ව්‍යාපෘතිය ආරම්භ කලේ.

පෙර නිශ්පාදන සහ නිශ්පාදන කටයුතු අවසන් කරලා මේ වෙද්දි අපි පසු නිශ්පාදන කටයුතු වල අවසානයට ලං වෙලා තියෙනවා. ඉක්මනට මේ කටයුතු අවසන් කරලා, චිත්‍රපටය ප්‍රේක්ශකයා අතරට ගේන්න තමා මේ දවස් වල වැඩ කරන්නේ.

ස්නේහ සහ three way junction; ඔබේ පෙර නිර්මාණවලට වඩා මේ සිනමාපටය වෙනස් වෙන්නේ කොහොමද?

හැම අතින්ම වෙනස්. කොහොමත් අපේ කලින් සාකච්ඡා වලදිත් මම කිවුවා මේ ශානර වලින් ශානර වලට අත්හදා බැලීම් කරන්න මගේ තියෙන ආසාව. උවමනාව ගැන. කලින් චිත්‍රපට දෙකම කුතුහලය පරිස්සම් කරගෙන යන කතා වලින් සමන්විත ඒවා. බලන කෙනා එක්ක අපි Thrilling Ride එකක යනවා. Twists එනවා. එතකොට විස්මයට පත් වෙනවා. ස්නේහ හරිම මෘදු Setting එකක යන, හැබැයි ඒත් Thriller ශානරයටත් ගන්න පුලුවන් කතාවක්.

Three-Way Junction හරි රළු, අඳුරු Psychological Thriller ශානරයට බර කතාවක්. හැබැයි Collapse Into Me වෙතට එද්දි Thriller කියන ශානරය අයින් වෙනවා. මේක හරිම හෙමින්, විටෙක වේගයෙන් ඔහේ ඇදෙන කතාවක් සහිත කතාවක්. පැරණි ගීත වල Reference එක්ක අපේ සංගීතයත් එකතු වෙලා මේක සංගීතමය අත්දැකීමක් බවටත් පත් වෙනවා. එක රාත්‍රියක් නිසා චරිත දෙකක, ජීවිතයේ Perspectives වෙනස් වීම ගැන කියන කතාවක්.

එකම කතා තේමාවක් සහ එකම කාල රාමුවක් ඇතුලේ, පුද්ගල ආඛ්‍යාන දෙකකින් චිත්‍රපට දෙකක් ඔබ නිර්මාණය කරනවා. මොකක්ද මේ විශේෂත්වය?

කලින් කිවුවත් වගේ චිත්‍රපටය ඇතුලේ චරිත දෙකකට කතාව Focus වෙනවා. අපි මේ චරිත ගොඩනගද්දි අපට ඕන වුනා ඒක වඩා හොඳින්, Convincing විදිහට ගොඩනංවන්න. ඉතින් අපි මේ දෙන්නට අදාල දර්ශන සහ දෙබස් වෙනම ලිවුවා. ඊට පස්සෙ අපට තේරුණ දෙයක් තමයි, මේ දෙන්නා හාත්පසින්ම වෙනස් මිනිස්සු දෙන්නෙක් බව. චිත්‍රපට කණ්ඩායමත් එක්ක කතාබහේදි අපි තීරණය කලා මේ දෙන්නගෙ රූපගත කිරීම් දවස් දෙකක, කැමරා අධ්‍යක්ශකවරු දෙන්නෙක් අතින් කරන්න, මේ දෙන්නගෙ කතා වල සංස්කරණය දෙන්නෙක් අතින් කරන්න.

එතකොට අපි Basically ගත්තම කෙටි චිත්‍රපට දෙකක් හදනවා. දෙකක් හදලා අපි මේ චිත්‍රපට දෙක එක චිත්‍රපටයක් විදිහට එකතු වෙනවා. අපේ නිකුත් වෙලා තියෙන Teasers දෙක දැක්ක නම් ඔබට තේරෙනවා කොච්චර වෙනස් characters දෙකක්ද කියල සහ, මේ දෙන්නගෙ චරිතවල වෙනස් කම් කොච්චර Convincing විදිහට අපට, වෙනස් විදිහට ප්‍රේක්ශකයාට සමීප කරන්න පුලුවන් වෙලාද කියන එක.

සිනමාව ඇතුලේ මෙහෙම experimental වැඩක් කරන්න බියක්; පැකිලීමක් දැනුනෙ නැත්ද?

බයයි. මම හරිම බයයි ඇත්තටම. හැබැයි ඒ බය විසින්ම මාව ඉදිරියට තල්ලු කරනවා මිස පස්සට අදින්නෙ නැහැ. බය වගේම අපි මේ වැඩේ ගැන Excited. අපි මේ නිර්මාණය කරද්දි මේ වගේ මේ වගේ පර්යේෂණාත්මක නිර්මාණ විදිහට කරපු චිත්‍රපට ගොඩාක් අපි බැලුවා. ඒ චිත්‍රපට වල ආභාශය මේක ඇතුලට අපි ගත්තා.

මෙතන ලොකු කණ්ඩායමක් ඉන්නවා. අත්දැකීම් සහිත, අත්දැකීම් නැති, සිනමාත්මක දැනුම ඉහළ, තාක්ශණික දැනුම ඉහළ, ආදී විවිධ විදිහට මේ අයව බෙදන්න පුලුවන්. ඒ ඔක්කොම අයට මට ඕන දේ Convince කරන එක සහ මේ අය එක්ක මේ ගමන යන එක ලේසි වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම මේ වගේ ඉන්ඩි වැඩකදි ඒක හරිම අසීරුයි.

ඉතින් අපි කවුරුත් චිත්‍රපටය ඇතුලෙ අපට එන අවුට්පුට් එක ගැන බයයි වගේම. Excited. ඒ කාරණා දෙකම අපිව ඉස්සරහට තල්ලු කරනවා මිසක පිටිපස්සට අදින්නෙ නැහැ.

ඔබේ පෙර නිර්මාණවලට වඩා වැඩි පරිශ්‍රමයක් Collapse into me වෙත දරන්න සිද්ධ වුනු බව සැකයක් නැහැ. කොහොමද ඒ අභියෝග ජය ගත්තේ?

මම එන්න එන්න මගේ වැඩ වල ස්කේල් එක වෙනස් කරන්න, තව තවත් විශාල කරගන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේම ඒකෙ තියෙන ගුණාත්මක බව වැඩි කරගන්න උවමනාවක් තියෙනවා. ඉතින් අභියෝග එනවා. කෙටි චිත්‍රපටයක් කරද්දි ලෝකයේ ඕනම නිර්මාණකාරයෙකුට වෙන අභියෝග ප්‍රමාණය දහ ගුණයක් වෙලා ලංකාවෙ අපට එනවා. ඉතින් ඒව එහෙම තමයි නේද..? මොන අභියෝගය ආවත් මේ කණ්ඩායමේ එක්කෙනෙක්වත් මේ වැඩේ අත ඇරියෙ නෑ. සමහර වෙලාවට අපි ඇඬුවා. සමහර වෙලාවට අපි හිනාවුණා. බය වුණා. රණ්ඩු වුනා. හැබැයි අන්තිම මොහොත දක්වාත් අපි තවම වැඩේ එක්ක ඉන්නවා.

කවුද මේ වැඩේ පිටුපසින් ඔබත් සමඟ එකතු වුනේ?

ලොකු කණ්ඩායමක් ඉන්නවා. MCC Group Private Limited ආයතනය මම එක්ක මේ වැඩේ නිශ්පාදනයෙන් එකතු වුණා. ඒ එක්කම මගේ මිතුරන් වන විමුක්ති නානායක්කාර සහ කල්මිණ හෙට්ටිගේ යන අය නිශ්පාදනයෙන් සහය වුණා. වටිනම දේ මේ අය කිසිම වෙලාවක මගේ නිර්මාණකරණයට ඇඟිලි ගහන්න නොආපු එක. ඊලඟට මගේ Crew එක. එයාලා කිසිම වෙලාවක දෙසැරයක් හිතුවෙ නෑ මේ වැඩේ එක්ක එකතු වෙද්දි. සහ අද වෙනකම්ම මේ කවුරුත් ඉන්නවා අර කිවුවත් වගේ. දිවා රෑ වෙහෙසිලා මේ කවුරුත් වැඩ කලා. මගේ යාලුවෝ මේ වැඩේ ඇතුලේ ඉන්න මාව වැඩෙන් එලියෙදි පරිස්සම් කලා. ඒක ආර්ථිකමය අතින් වෙන්න පුලුවන්. දිරිගැන්වීම් අතින් වෙන්න පුලුවන්. වෙන විදිහකට වෙන්න පුලුවන්. මගේ ගෙදර අය. අම්මා තාත්තා අක්කා අයියා. කවුරුත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන.

Collapse into Me සිනමා රසිකයින්ට ඉක්මනින්ම නරඹන්නට ලැබේවි නේද?

ඔව් පෙබරවාරි මාසයේ 22 වැනිදා Collapse Into Me ප්‍රේක්ශකයන් අතට පත් වේවි. එතැන් සිට ඒක ඔවුන්ට බාරයි.

ඔබ ඇතුළු කණ්ඩායම සංවිධානය කළ ‘ජාතික තරුණ සිනමා උළෙල’ ගැනත් අපි මතක් කරමු…

ජාතික තරුණ චිත්‍රපට උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැගුණු වැඩසටහනක්. මම තමයි ව්‍යාපෘතියේ ජාතික සම්බන්ධීකාරකවරයා හැටියට කටයුතු කරන්නේ. 2023 වසරේ සිනමා උළෙල, පසුගිය දෙසැම්බර් මාසයේදී, අතිශය සාර්ථකව නිම කරන්න අපට හැකියාව ලැබුණා.

ලංකාව පිරා විසිරුණු පැතිරුණු කෙටි චිත්‍රපට කරුවන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක්, රාජ්‍ය වේදිකාවක් මතට ගෙන එන්නත්, සිනමාත්මක දැනුම, සිනමාව ගැන අධ්‍යාපනය, සිනමාව, සම්මාන මේ සියල්ල එකතුව අතිශය පරිපූර්ණ සම්මාන උළෙල අත්දැකීමක් තරුණ සිනමාකරුවන්ට දෙන්න අපට පුලුවන් වුණා. මේ අපේ පළවෙනි පාර. ඉදිරියේදි චිත්‍රපට උළෙල හරහා නිර්මාණය වන අවස්ථා අවකාශය තව තවත් පුළුල් වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

කලාව සහ සිනමාව ඇතුළේ මහේල හෙට්ටිආරච්චිව අපිට ඉදිරියේදී දැකගන්නට පුලුවන් කොහොමද?

රස විඳින්නෙක් විදිහට, ප්‍රේක්ශකයෙක් විදිහට මම මගේ ජීවිත කාලෙ පුරාම ඉඳීවි. ඒක තමයි මාව ජීවත් කරවන දේ. ඊට අමතරව සිනමාකරුවෙක් කියන තැන ඉඳගෙන මම කටයුතු කරාවි ඉදිරියටත්. විශේෂයෙන්ම අපි වැඩ ආරම්භ කරපු “දයාබර පබලු” සහ තවත් දීර්ඝ සිනමාපට කීපයක් ගැන කතාබහ කරමින් ඉන්නවා අපි. ඒවා ප්‍රේක්ශකයන්ට වඩා සමීප සහ සිනමාත්මක අතින් වඩා යාවත්කාලීන වුණු නිර්මාණ වේවි. සදාකාලික මතකයක් ඉතුරු කරන, වාණිජ සිනමාපට ලාංකේය සිනමාවට දායාද කරන්න මට හීනයක් තියෙනවා.

මේ හැමදේටම අමතරව මගේ ජීවිත කාලය ඇතුලේ, “සිනමාකරුවෙක් යනු වෘත්තිකයෙක්ය, සිනමාකරණය යනු වෘත්තියක්ය.” කියන කාරණා සාමාන්‍යකරණය කරන්න මම මට පුලුවන් හැම දායකත්වයක්ම දේවි.

Share

155 Views 4.33 On 6 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.