Image: Game and set to Sajith but match to Ranil. (n.d.). Retrieved from https://www.sundaytimes.lk/200202/columns/game-and-set-to-sajith-but-match-to-ranil-390023.html

කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය සාරාංශගත කිරීමක් අප විසින් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පමණ පෙරය. එහි කොටස් දෙකක් (පළමු කොටස මෙතනින්, දෙවන කොටස මෙතනින්) මේ වන විටත් අවසන් කර ඇති අතර, මේ තිබෙන්නේ එහි තුන්වන කොටසයි. අපේ රටේ ඓතිහාසික ප්‍රභූ තන්ත්‍රය මෑත ඉතිහාසයේ දැවැන්තම දේශපාලන අර්බුදයට මුහුණ දී ඇති අවස්ථාවක මේ පන්තියේ ඉතිහාස කතාව විමසා බැලීම බෙහෙවින් ප්‍රයෝජනවත් වැඩක් කියා අපි සිතමු. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ මෙම කෘතියෙහි දෙවන පරිච්ඡේදය වන ‘ධනේෂ්වර පංතියේ උපත’ නම් කොටස සාරාංශගත කිරීමටයි.

              මෙම කොටසෙන් සාකච්ඡාවට ලක් කරනු ලබන්නේ ධනේෂ්වර පංතියක ඇතිවීම සඳහා අවශ්‍ය කරන මූලිකාංගයක් වන බදු අයකිරීම් සහ එහි සංකීර්ණතා පිළිබඳවයි. මෙම පරිච්ඡේදය කියවීමෙන්, අප මේ ගෙවමින් සිටින කාලය යනුද එක්තරා අර්ථයකින් පූර්ව නූතන යටත් විජිත පාලක පංතියක ග්‍රහණයේ සිටිනා යුගයක් සේ ඒත්තු යාම වැලැක්විය නොහැකි වේ. ඉතිහාසය කියවීමේ අත්‍යන්ත වැදගත්කම වන්නේ මෙයයි.

              යටත් විජිත සමයේ ලෝක මට්ටමින් ප්‍රධාන ප්‍රවාහණ මාධ්‍ය වූයේ නැව් ගමනා ගමනයයි. ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීම සහ බෝට්ටු වැනි දෑ තැනීම මේ යුගයේ ප්‍රාග්ධනය සමුච්චනය කිරීමේ මූලික ප්‍රවේශයක් විය. මේ සඳහා යෙදවූයේ වෙළඳ ප්‍රාග්ධනය නොව නිෂ්පාදන ප්‍රාග්ධනය නිසා එය ධනවාදයේ මුල් වර්ධනයට අඩිතාලමක් සැපයීය. මෙරටදී උතුරේ කයිට්ස් වරාය නැව් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් ඉසිළීය. ඒ අතර බටහිර සහ දකුණු වෙළඳ තීරයේ පොහොසත් පවුල් අතර, තමුන් පරම්පරාගත නැව් තනන්නන් බවට විශ්වාසයක් විය. රට අභ්‍යන්තරයේ ප්‍රවාහණය දියුණු වීමට පෙර මෙරට වරායවල් ආශ්‍රිතව ප්‍රවාහණය වර්ධනය වී තිබුණි. මේවා පුද්ගලික භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත්තද, යටත් විජිත ආණ්ඩුව විසින් අපනයන ද්‍රව්‍ය මෙන්ම පරිපාලකයින්, හේවායින් නොයෙක් වරායවල් අතර ප්‍රවාහණය කිරීමට යොදාගන්නා ලදී.

නැව් සහ බෝට්ටු අයිතිකරුවන් පොදුවේ සියලුම ජාතීන්ගෙන් සමන්විත විය. සිංහල වෙළෙන්දෝ බොහෝ විට අරක්කු, ලණු, පොල්, පුවක් වැනි දෑ ඉන්දියාවට අපනයනය කළෝය. පසුව ඔවුන් හාල්, වී කල්දේරම් සහ ඇඳුම් ආයිත්තම් මදුරාසියෙන් මෙරටට ගෙන ආහ. මෙහිදී රීඩ් නැමති වෙළෙන්දාට අනුව බොහෝ විට අරක්කු අපනයන කළේ දුප්පත් වෙළෙන්දන්ය.

අභ්‍යන්තර වෙළඳාම සහ ප්‍රවාහණය බොහෝ සෙයින් දියුණු වූයේ බ්‍රිතාන්‍ය සමයේදීය. ඒ නමුත් ප්‍රවාහණ මාර්ග සහ කරත්තවල වර්ධනයක් ලන්දේසි සමයේදී ක්‍රමයෙන් වර්ධනය වී තිබුණි. බ්‍රිතාන්‍ය සමයේ අභ්‍යන්තර ප්‍රවාහණයේ ප්‍රධාන පෙනී සිටීමක් වූයේ උඩරට නැවතී සිටි බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතා සැපයීම සඳහා නිර්මාණය වී තිබූ මාර්ග වේ.

***

1833 දී මෙරට සිදු වූ සුවිශේෂ සිදුවීමක් වන රාජකාරී ක්‍රමය අහෝසි කිරීමත් සමග ඉන්දියානු වෙළඳ සමාගම් වෙත උරුම වී තිබුණු කුරුඳු ඒකාධිකාරය බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අහෝසි කරන ලදී. ඒ අතරම පොල් සහ මිනිරන් අපනයනයෙන්ද රජය ඉවත් විය. ඉන්පසුව ක්‍රමයෙන් විදේශ අයෝජන ගලා ආ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැවිලි ආර්ථිකය නව මුහුණුවරකින් කෝපි වගාව සමග වර්ධනය විය.

මේ යුගයේත් මීට පෙරත් වර්ධනය වෙමින් පැවති තවත් ප්‍රධාන අංගයක් වූයේ මුස්ලිම් වෙළෙන්දන් මෙරටට දක්වන ආකර්ෂණයයි. පෘතුග්‍රීසි යුගයේ සිටම සෑම වරායකම පාහේ මුස්ලිම් වෙළෙන්දන් බහුලව වෙළඳාම් සිදු කරමින් පැවති අතර ඔවුන් බොහොමයක් මෙරට කාන්තාවන් සමග විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස, එම කාන්තාවන්ද මුස්ලිම් ජාතිකයින්ට බවට පත් විය. ඔවුන් මුහුදු බඩ පළාත්වල පමණක් නොව උඩරට පළාත්වලද තම වෙළඳාම් කටයුතු සිදු කළෝය.

මෙහිදී අන්තෝනි බර්ටොලොච්චි උපුටා දක්වමින් කුමාරි ජයවර්ධන පෙන්වා දෙන්නේ වැවිලි කර්මාන්තට පෙර 1817 පමණ වන අපනයන කළ භාණ්ඩ එතරම් වටිනාකමක් ගෙන දෙන ඒවා නොවූ බවයි. ඊට හේතුව ඒවා නිමිභාණ්ඩ නොවීමයි. එහෙත් සී. ආර්. බොක්සර්ට අනුව සුළුවෙන් වුවත් සිංහල සහ දෙමළ වඩු ශිල්පීන් ඉන්දු-ලන්දේසි බැරෝක් යුගයේ ශෛලීන්ට අනුව ලී බඩු තනා ඇත. හොඳම වඩුවන්ට ‘ප්‍රවීන ශිල්පියා‘ නමින් නම්බු නාම ලබා දීමට ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍යයින්ද කටයුතු කර ඇත. ඔවුන්ට ආණ්ඩුවේ දෙපාර්තමේන්තු විසින් ගෙවීම් කරන ලදී. මෙමගින් වඩා දක්ෂ වඩු කාර්මිකයින්ට යම් ප්‍රාග්ධනයක් එකතු කර ගැනීමේ හැකියාවක් ලැබුණි.

සමස්තයක් ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුව අභ්‍යන්තර වෙළඳ කටයුතු සඳහා ප්‍රවාහණය සහ සැපයුම් ලබා ගැනීමට කොන්ත්‍රාත්කරුවන් මත යැපුණි. ඒ සඳහා වෙළෙන්දන් තුළ උද්යෝගයක් පැවතුණි. මේ අතර සිදු වූ සුවිශේෂ සිදුවීමක් වූයේ පොල් තෙල් නිෂ්පාදනය සඳහා යන්ත්‍රයක් සොයා ගැනීමයි. එය ‘වාෂ්ප යන්ත්‍රය‘ ලෙස නම් කර තිබූ අතර බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයෙක් වන විලියම් රඩ් එම යන්ත්‍රය භාරව සිටියේය. මෙරට ප්‍රධාන පෙලේ වෙළදුන් බොහොමයක් මේ සඳහා කොප්පරා සහ දර සැපයීමට ඉදිරිපත් විය. මෙමගින් 1830 දී ලන්ඩනයට පොල්තෙල් ගැලුම් 30000ක් යැවීමේ හැකියාව ලැබී ඇත.

ඉඩම් අයිතිය පිළිබඳ සංවාදයේදී මුදලිවරු නමින් යටත් විජිත ආණ්ඩුවට බැලමෙහෙවරකම් කළ ස්වදේශීය නිලධාරී නාමයක් ලන්දේසි යුගයේ සිට අපට හමුවෙයි. මොවුන් අතර පහතරට සිංහලයෝ වඩා ඉදිරියට පැමිණි අතර පෙර යුගවල රජු යටතේ සිටි රදලයන් මෙන් නොව මොවුන් යටත් විජිත ආණ්ඩුවලට ඉතා නම්‍යශීලී වූවන් විය. ඔවුන් ‘ඇකොමඩේසන්‘ නමින් යටත් විජිත පාලනයෙන් ලැබෙන ඉඩම් ලබාගත් සුළු පිරිසක් වූ අතර කෘතියට අනුව ඔවුන් නම් කරන්නේ සොක්කන් ලෙසය. රජයට කරන ලද සේවයට අනුව වැටුප් වෙනුවට සියළුම කොන්දේසිවලින් නිදහස් වූ ඉඩම් ඔවුන්ට ලැබුණි. ඒ අතර තම පුද්ගලික වුවමනාවන් සඳහා නිදහසේ මිනිසුන්ගේ ශ්‍රමය භාවිතා කිරීමට හැකියාව ලැබුණි. 1798 දී නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් සඳහන් කර ඇති මේ උපුටා ගැනීමෙන් ඔවුන් පිළිබඳ පැහැදිලි අදහසකට පැමිණීමට හැකිවනු ඇත.

මහමුදලි හැමවිටම පදිංචි වී සිටින්නේ ආණ්ඩුකාරයා සමීපයේය. ඔහු මා සමග සිටින විට කිසි විටෙක හිඳ නොගන්නේය. පා වැසුම් නොපළදින්නේය. එහෙත් ඔහු ඇත්ත වශයෙන්ම ලංකාවේ මහා අමාත්‍යවරයාය. ඔහු මා දෙන සෑම නියෝගයක්ම වහාම ක්‍රියාත්මක කරන අතර රටේ සිදුවන දෑ වහා ම මට දන්වා සිටියි. ඔහු ඔහුට පහත් මුදලිවරු ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන එකම ගෙවීම වන්නේ සුළු ‘ඇකොමඩේෂන්‘ ඉඩම් දීමනාවක් පමණකි. ඔවුන්ගේ එක ම ප්‍රාර්ථනය වන්නේ කඩු, රන්මාල, මෙඩල් ආදී තෑගි ලබාගැනීමයි. ඒවාට ඔවුන් විශාල කෑදරකමක් දක්වන අතර ඒවා මගින් ඔවුන්ගේ අවනතභාවය දිනා ගන්නා ආකාරය ලන්දේසිහු හොඳින්ම දැන සිටියහ. (ජයවර්ධන, පි. 29)

              1833 දී රාජකාරී ක්‍රමය අහෝසි වුවත්, මුදලිවරුන් ඒ වන විටත් විශාල ඉඩම් ප්‍රමාණයක් අයිති කරගෙන සිටියහ. ඒ අතර සොලමන් ඩයස් බණ්ඩාරනායක, කරෝලිස් ද ලිවේරා, ක්‍රිස්ටොෆෙල් ද සේරම් සහ ඒබ්‍රහම් ද සේරම් වැනි බලවත් මුදලිවරුන්ගේ එක් අයෙකුට අවම වශයෙන් අක්කර 1000ක් පමණ අයිති වී තිබිණි. ඉඩම් සම්බන්ධයෙන් මොවුන්ට තිබුණ කෑදර කම රාජකාරී ක්‍රමය අහෝසි වීමෙන් පසුව සුවපත් නොවූ අතර පවතින නීති යටතේ පවා ඔවුන් රජයෙන් ඉඩම් මිල දී ගැනීම සිදු කළෝය.

              ලන්දේසින්ගෙන් ආරම්භ වුවත් කුරුඳු අපනයනයේ සැලකියයුතු වර්ධනයක් ඇතිවුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මුල් කාලයේදීය. කුරුඳු කර්මාන්තයේ නියැලී සිටි ජනතාව කෙරෙහි සෑම විටම දැඩි පාලනයක් පැවැතිණි. ලන්දේසි කාලයේ ඕනෑම ඉඩමක තිබෙනා කුරුඳු ගසක් රාජ්‍ය දේපලක් ලෙස හැඳින්වීමට ලන්දේසි ආණ්ඩුව කටයුතු කර තිබුණි. එහිදී මෙම කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා දැඩි දඩුවම් ක්‍රියාත්මකව තිබූ අතර මරණ දණ්ඩනයද ඒ අතර විය. සලාගම කුලයේ අය මේ සඳහා වෙන්කර තිබුණු අතර ඔවුන් 14 වන සියවසේ පමණ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මෙරට සමාජ සංස්කෘතියට අවශ්‍ය වන පරිදි අවශෝෂණය වී තිබුණි. මොවුන් වෙත එල්ල කළ දැඩි පීඩනය නිසාම කැරලිකාරී ක්‍රියා සිදු විය. එම නිසා ඔවුන් කැරලිකරුවන් ලෙසද හැඳින්වීය. මෙම තත්ත්වය යටතේ ඔවුන්ව පාලනය කිරීමට ස්වදේශීය නිලධාරීන් පත් කළ අතර ඔවුන්ට වැටුප් වෙනුවට ඉහත සඳහන් කළ ‘ඇකොමඩේසන්‘ ක්‍රමයට ඉඩම් ලබා දීම සිදු කෙරුණි. ඔවුන් කුලයෙහි පවතින සීමා කම් ඉක්මවා වරප්‍රසාදිත තත්ත්වයක් අත්කර ගෙන තිබුණි. එනම් ගොවිගම මුදලිවරුන්ට වඩා සලාගම කුලයේ මුදලිවරුන්ට රජයෙන් සහ සමාජයෙන් ලැබුණු සැලකිලි වැඩි විය.

              රජයේ බදු ආදයම් අතර ඉතා වැදගත් ආදයම් ලබන මාර්ගයක් වූයේ අරක්කු රේන්දය (‘rent’ යන්න සිංහලයෙන් හඳුන්වන ලද්දේ රේන්දය නමිනි) යි. ඉහළම ලන්සුකරුට අරක්කු රේන්දය ලැබෙන අතර එය වාර්ෂිකව අලුත් කරගත යුතුය. රේන්ද හිමියන් රජයට අවශ්‍ය මුදල ගෙවා දැමීමෙන් පසුව තමුන්ට රිසි පරිදි මිල ඉහළ පහළ දමමින් ජනතාවට අරක්කු විකිණීමේ අයිතියක් ලබා ගෙන තිබුණි. එහෙත් බ්‍රිතාන්‍ය නිලධාරීන් මෙහිදී මෙයට විවේචන එල්ල කළ අතර එකල ජනප්‍රියව පැවති ඇඩම්ස් ස්මිත්ගේ අදහස් අනුව යමින් ඔවුන් ප්‍රකාශ කළේ මෙම රේන්ද ක්‍රමය යල් පිනූ එකක් බවයි.

හෝබාර්ට් සාමිවරයා සහ මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාද මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනයට ලක් කළෝය. බර්ටලොච්චි සඳහන් කරන්නේ මොවුන් කිසිදු ආකාරයක රජයේ භාණ්ඩාගාරයට මුදල් උපයා දෙන හෝ කම්කරුවන් ලෙස පෙනී සිටිමින් ජීවත් වන කොට්ටාශයක් ලෙස නම් කළ නොහැකි රෞද අතරමැදි, මංකොල්ලකරුවන් පිරිසක් බවයි.

මේ අතර වී රේන්දයට තවත් කැපී පෙනුණු බදු ක්‍රමයක් විය. මෙහි බදු අයකිරීමද අතිශය ක්‍රෑර අන්දමින් සිදු වූ වකි. රේන්දය හිමි ස්වදේශීය නිලධාරීන් විසින් අස්වැන්න ගැනීම හැකිතාක් ප්‍රමාද කර ඉතාම අඩු මුදලකට ගොවීන්ගේ අස්වැන්න මංකොල්ල කන ක්‍රමයක් සකස් කරගෙන තිබුණි. ගොවියාට අස්වැන්න වෙනත් අයෙකුට විකුණා ගැනීමට නොහැකි හෙයින් ගොවියාට මෙම රේන්ද හිමි නිලධාරීන්ට පගාවක් දී කුඹුරට ගෙන්වා ගැනීමට සිදු වෙයි. වී රේන්දය සඳහා තරගයක් තිබූ නිසා ආණ්ඩුවට බදු ආදායම වැඩි කරගත හැකි වුවත් රේන්දකරුවන් ගෙවන රජයට ගෙවන බදු අගය වැඩි වන සෑම මොහොතකම එය ගොවියාගෙන් අය කර ගැනීමට හැකි වන පරිදි ඔවුන්ට නිදහසක් ලැබී තිබුණි. පැට්රික් පීබල්ස් සඳහන් කරන ආකාරයට විසිවැනි සියවසේ ප්‍රභූවරන්ගෙන් වැඩි දෙනෙකුගේ ආරම්භය වන්නේ මෙම වී රෙන්දය යි.

තවත් පීඩාකාරී බදු ක්‍රමයක් වූයේ මාළු රේන්දයයි. එහිදී ධීවරයින්, රේන්ද හිමියන්ට තම අස්වැන්නෙන් සැකලියයුතු කොටසක් ලබා දිය යුතු විය. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වූ අතර සමස්තයක් ලෙස එය සමස්ත කොටසින් ¼ ක් පමණ විය. තවද 1/30 ක් ධීරව විදානේටත්, කොටසක් වෙන්දේසිකරුවන්ටත් ගෙවිය යුතු විය. කතෝලික ධීවරයින් මීට අමතරව පල්ලියටද කොටසක් වෙන් කළ යුතුය. අනෙක් රේන්දවල මෙන්ම මෙහිදීද සමහරක් ආණ්ඩුකාරවරු රේන්ද කරුවන්ගේ ක්‍රියාකලාපය විවේචනය කළෝය. කෝල්බෘෘක්-කැමරන් ප්‍රතිංස්කරණවලදීද මෙම භාණ්ඩය කල්තබා ගත හැකි දෙයක් නොවන නිසාත් දැනට පවතින ඒ වෙනුවෙන් බදු අයකිරීමේ ක්‍රමයේ අක්‍රමවත්භාවයත් ඔවුන්ගේ විවේචනය ලක් විය. මෙවැනි ආකාරයේ විරෝධතාත්, ධීවරයන්ගේ පෙත්සම්වලත් ප්‍රතිඵලයක් ලෙස 1840 දී මෙම බදු ක්‍රමය අහෝසි වූ අතර මෙතෙක් කල් බ්‍රිතාන්‍ය ආණ්ඩුවද තමුන්ගේ භාණ්ඩාගාරයේ වර්ධනය උදෙසා මෙම ක්‍රෑර බදු එකතු කිරීම් ඒ දක්වා ඉවසාලීය.

මාර්ග සඳහාද බදු මුදල් අයකිරීම අපට මේ කාලයේ අධිවේගී මාර්ගයට සීමා වුවද බ්‍රිතාන්‍යයන්ට පෙර සිටම, පාලම්, ගංගා, ඇළ මාර්ග සහ වැව් සඳහා මුදල් අයකිරීමේ ක්‍රමයක් පැවතිණි. බ්‍රිතාන්‍යයන් පැමිණීමෙන් පසුව පුළුල් වූ මෙරට මාර්ග පද්ධතියේද මෙම ප්‍රවාහණ රේන්දය ක්‍රියාත්මක විය. නිතර රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුකාරවරුන් ගමන් ගන්නා මාර්ග පමණක් මෙම රේන්ද භාර ස්වදේශිකයින් නිසි ලෙස නඩත්තු කළද බොහෝ පාලම් පාරුවල පාරු පදවන්නෙක් පවා සිටියේ නැත. එහෙත් රේන්දකරුවන් හෝ ඔවුන්ගේ ඒජන්තයෙක් සිටින නිසා ජනතාවට පාරුව තමන්ම පැදගෙන ගොස් රේන්දකරුවන්ට ගෙවීම් පවා කිරීමට සිදු විය. මෙහි ඇති ක්‍රෑරත්වය වන්නේ බඩු භාණ්ඩවලටත්, සතුන්ටත් (ගවයන්, ඌරන්, එළුවන්) බදු අයකිරීමයි. බඩු භාණ්ඩවල වර්ගය අනුවද බදු අයකිරීම වෙනස් විය. එය තීරණය කිරීමේ බලය පැවතියේ රේන්ද හිමියාටයි. මෙම තත්ත්වය බරපතල වූ නිසා ආණ්ඩුව, මේ සඳහා පරීක්ෂකවරුන් පත්කළද එමගින්ද ජනතාව අස්වැසිල්ලක් අත් නොවීය.

රේන්ද අතර එතරම් තරගකාරීත්වයක් නොතිබූ සහ ආණ්ඩුවට එතරම් ලාබයක් ලැබීමට නොහැකි වූ රේන්ද වූයේ සූදු පොලවල් සහ කුකුලන් කොටවන සූදු පොලවල් ය. මෙයද කොල්බෘෘක්-කැමරන් කොමිසම විසින් දුසිරිතක් ලෙසද සලකා ඉවත් කළ යුතු යැයි යෝජනා කරන ලදී. සමස්තයක් ලෙස 1820 දශකයේ පමණ වන විට මෙවැනි ආකාරයේ සුළු රේන්දවලින් ආණ්ඩුවට එතරම් ලාබයක් ලැබුණේ නැත.

මේ සියලු තත්ත්වයන් යම් තරමකින් හෝ වෙනස් වීම ආරම්භ වන්නේ කොල්බෘෘක්-කැමරන් ප්‍රතිසංස්කරණවලින් පසුව – 1840 පමණ ඇති වූ වැවිලි කර්මාන්ත සහ රාජකාරී ක්‍රමයෙන් පසුව ඇති වූ නව ආයතනික සහ නිලධාරී පංතිය තුළින්ය.

මෙම සංකීර්ණ තොරතුරු ජාලය ඇසුරින් කුමාරි ජයවර්ධන අපට පෙන්වා දෙන්නේ වර්තමානය දක්වා දිවෙන – සහ වර්තමානයේ දී ඔත්පල වී පණ අදිමින් සිටින – අපේ රටේ පාලක ප්‍රභූ පන්තියේ සංකීර්ණ ඉතිහාස කතාවයි. ඔවුන් ධනවතුන් වී තිබෙන්නේ යම් නිෂ්පාදන අතිරික්තයක් ජනනය කිරීමෙන් නොව අතරමැදි කොමිස් සහ මංකොල්ලකරුවන් ලෙස බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අනුර කුමාර දිසානායක ගේ භාෂාවෙන් කියන්නේ නම් අපේ රට පාලනය කරන චෞර වළල්ලට තිබෙනා ඉතිහාසය අප සිතනවාට වඩා තරමක් දිගු විය හැක.

රංග මනුප්‍රිය