Saturday, January 20, 2024

234. කොන්ඩයා තට්ටයෙකු වූයේ කෙසේද? (ශනිදා දහයට )


"මිනිසා යෝධයෙකු වූයේ කෙසේද?" යන මැයෙන්; සෝවියට් පොතක් එකල පලවී තිබුනි. එහි සඳහන් වූයේ මිනිසාගේ පරිණාමය පිළිබඳ කථාන්දරය ය!

නියැන්ඩර්තාල්, හෝමෝඉරෙක්ටස් සිට හෝමෝ සාපියන් දක්වා ගමන් ගත් අයුරු එහි දැක්වේ.

මේ පෝස්ටුවෙන් කියැවෙන්නේ තරුණ අවධියේ කොණ්ඩයෙකුව සිටි අයෙකු; තට්ටයෙකු බවට පත්වීමේ ගමන් මග හා ඒ ආශ්‍රිත කයිවාරු කිහිපයකි.

මීට වසර 10කට - 15කට පමණ පෙර මමද ඔබ වැනිම වූ කොන්ඩයෙකි. මාගේ සොහොයුරා විවාහවූ අසූව දශකයේ මැද භාගයේ කොන්ඩය පිටුපසින් දිගට වවාගත් අයෙකු විය. 

කාලය ගෙවී යත්ම කොන්ඩය මාගෙන් සෙමෙන් සෙමෙන් සමු ගැනීමටත් ඒ වෙනුවට පිටුපසින් තට්ටය; කලා පිරෙන සඳ සේ එකළු වීමටත් පටන් ගති. 

ඊට හේතු භූත වූ කාරණා අතුරින් "වයස" යන්නට ලැබුනේ දෙවන තෙවන ස්ථානය ය.

ඊට හේතුවූ කරුණද මාගේ අනෙක් වැඩ සේම තරමක ඇඟ රිදෙන එකක්මය. එය මෙතැනම ලියා දමන්නම්.

මාගේ වෘතීය වූයේ මෝටර් කාර්මික ශිල්පය ය. මේ නිසාම මා බොහෝ විට පැරණි වාහන වලට භය නැතිව කර ගැසුවේය.

"ලෙඩ ගෑනියෙකුයි, පරණ වාහනයකුයි, ඉඩං නඩුවකුයි මිනිහෙකුට ගෙන එන්නේ සෙනසුරු අපලයටවත් සෙකන්ඩ් වෙන්නැති මාරකයක් ය. එහෙත් මා පරණ වාහන වලට තිබුනේ කිසිදා අඩු නොවූ සුපිරිම ලව් එකක් ය. පරන ජීප් එකක් දෙස මා බැලූවේ අප්‍රමාණවූ සෙනෙහසකින්ය. එය ඉලංදාරියෙකු; ලමිස්සියක දෙස බලන ආදර බැමටවත් දෙවෙනි නොවුනි! මා සතු කර ගත්තේම පරන වාහන කබල්මය. 

මේ නිසාම මාහට ඇතිවූ යහලු මිත්‍රාදීන්ද එම වර්ගයේම පශ්චාත් භාගයේ දරුණු ආබාධ වලින් පෙලෙන්නන්ම වූවෝය. මේ වාහන වලින් බොහොමයක් මා රෙකමදාරුකොට අරං දුන් දරහැවවල් වූවෝය. මේ හේතුව කරණ කොට ගෙන; මගේ පරණ ලඩි සහ මිතුරන්ගේ අටම්පහුරු අලුත්වැඩියා කොට කෙලින් කරණ්ණට සිදුවූයේ මටමය! බොහෝ විට මේ කටයුතු කෙරුණේ රෑ පානේමය.

වාහන යට රිංගා මජං නාමින් රෑ 12.00 - 1.00 පසුවන තුරු වැඩකොට නින්දට පෙර වතුර නෑමේදී හිස අත පය සෝදා හැරීමට බොහෝ විට පාවිච්චි කලේ "කාර් වොෂ්" ය! නැතිනම් "ඩිෂ් වොෂ්" ය!! රින්සෝය!!!

ඔවැනි උග්‍ර ඩිටර්ජන්ට්ය. ඒවාට ඔරොත්තු දෙන්නට තරම් මාගේ ඡිවි කල්‍යාණියට හැකියාවක් නොතිබුනි. එය කේෂ කල්‍යාණිට යන්නට හැර පාඩුවේ සිටියාය!

අවසානයේ කොන්ඩයකුත් නැති තට්ටයෙකුත් නැති තැනකට මම පැමිණියෙමි.

කොන්ඩය එහෙන් මෙහෙන් ඉදෙන්නටද පටන් ගත් අතර කඩේ සාප්පුවෙන් ගත් ඩයි වල පිහිට පැතීමට සිදුවන තැනට මම කෙමෙන් කෙමෙන් පත් වුනෙමි.

Never Dye - Till I Die! කියාගෙන පොර සීන් එකේ සිටි මා හට ඩයි කරණ්නටද සිදුවීම කෙතරම් කණගාටුදායක තත්වයක්ද?

මේ වන විට කොන්ඩය අඩුව ගොස් ඇති නිසාම; ඉතිරි කෙස් ගස් ඉතාම අකීකරුවී තිබුනෝය! ඒවා තිබුනේ ඒවාට ඕනෑ ලෙසින් මිසක මාගේ අභිමතයට නොවේ.

එක ගසක් වමට පීරා අතාරිනා සැනින් එය වෙනතකට හැරේ. එය කපුටු කූඩයකට සම නොකරණ්නේ මේ මල හත්තිලව් වලට අහක ඉන්න කපුටන් පලි නැති නිසාම නොවේ. 

තැනින් තැන සුදුවූ ඒ අතරින් එබී බලන සඳක් වන් තට්ටය සහිත හිස කපුටු කූඩයකට සම කල නොහැකිම නිසාය. 

මේ කාලයේත්; කොයි කලයේත් කොන්ඩය බෙහෙවින් කොටට කපා සිටීමට මා බෙහෙවින් ආශා කලෙමි. 

ඊටද හේතු දෙකකි. පිහිනීම, කිමිදීම ඇතුළු බොහෝ ජලාශ්‍රිත කටයුතු වලට ගැට ගැසුනු උභය ජීවියකු වන මාගේ කොන්ඩය ඉක්මණින් වියලා ගැනීමට; කොන්ඩය කෙටි කොට තබා ගැනීම පහසුවක්ම විය! 

ඊට අමතරව හිසකෙස් ගැලවීම ඇරඹි අයෙකු එය රැක ගැනීමට හැකි පහසුම මගක් ලෙස කොන්ඩය කොටට කැපීම බොහෝ දෙනා නිර්දේශ කරයි.

මෙසේ දිනක් කොන්ඩය කැපීමට මා නිවෙසින් පිට වුනෙමි. "අදවත් හොඳ තැනකින් කොන්ඩේ කපාගන්න - කලර් කරණවා නම් ඒකත් එතැනින්ම කරගන්න!" බිරිඳ මා නිවෙසින් පිටවත්ම අවවාදයක් දුන්නාය. 
සාමාන්‍යයෙන් රුපියල් 20න් වැඩේ ගොඩ දාගන්න සිතා සිටි මාගේ  සිතුවිල්ල වෙනස් කිරීමට එම විධානය එකසිය ගානට සමත් විය! 
කඩවත එකල හොඳ සැලුමක්; එකල තියා මෙකල වත් නැත! හොඳ සැලුම් ඇත්නම් ඒ මනාළියන් (ගොනාට ) අන්දන රූපලාවන්‍යාගාර යැයි හඳුන්වා දුන් ටිංකර් පේන්ට් ගරාජ් ය!
මේ නිසාම කිලෝ මීටර 5ක් පමණ ගේවා බුළුගහ හංදිය කිට්ටුවට පැමිණ La Passion බාබර් සාප්පුව සොයා ආවේමි.
වෙනදා මා දකින බාබර් සාප්පු වාගේ නොවේය. ඇතුල සීතලම සීතලය! කොන්ඩා කැපීමට සිටියේද; කපන්නට පැමිණි අයට වඩා හොඳින් ඇඳ පැලඳ සිටි තරුණ පහේ ගැටව් ටිකක්ය. උන්ගේ කොන්ඩාද "අම්මට සිරි"ය! වෙනත් බාබර් සාප්පු වල මෙන්; බිම කෙස් කොට පිරී නොමැත.
මුහුණට වතුර විදින බෝතලය හෝ රැවුල කපා අවසන මුහුනේ උලන සීනක්කාරන් කැටයද නැත.
අප කුඩා කල කොන්ඩය කැපුවේ "ලෑන්ඩ් මාස්ටරෙන්" ය. ලෑන්ඩ් මාස්ටර් කීවාට ඒය රෝද දෙකේ අත් ට්‍රැක්ටරයක් නොව එවන් උප කරණයකි. ඒ කාලයේ සිටි බාබර්ලා කලේ එමගින් කොන්ඩය ඉගිල්ලීම යැයි මා සැක කරණ්නෙමි. 
ඒ; එය; එතරම් තරු පෙනෙන; ආතල් අත්දැකීමක්ය නිසාය! බාබර්ගේ වැඩේ ඔලුව අල්ලා පහතට එබීමය.  කොන්ඩය කපාගෙන යද්දී නොදැනීම හිස එසවීම මාගේ වරදක් නොවීය. එය අස්ති පඤ්ඤරයේ අවුලක්ය. නිරෝගී අයෙකුගේ ගෙල නිකරුනේ නැවී තිබෙන්නේ නැත! ඒය මෝල් ගස සේ කෙලින් වීම සාමාන්‍ය තත්වයකි. මේ කථන්දර බාබර්ට ගැලපෙන්නේ නැත. උගේ වැඩේ ඔලුව වේගෙන් පහලට එබීම හා "ඔහුව උශ්ශන්න එපා හමයො! හිහ හලාහෙන හින්නවකො!" කියයි. භාෂාව පොඩ්ඩක් විතර අප්සැට් ගසා ඇත්තේ බාබර්ගේ කට පිරෙන්න බුලත් විටක් ඇති හෙයිනි!
එකල සෑම බාබර් සාප්පුවකම බිත්තියේ එල්ලූ ඝන හම් පටියක් විය. කනට ඉහලින් හා පසු පස පෙරං ගෑමට භාවිතා කල දැලි පිහිය එම හමේ අතුල්ලා මුවහත් කර ගැනීම එකල සිරිතය.
කොටින්ම ඒකාලේ තිබුනු "බාබර් සාප්පු" දැන් අතුරු දහං වෙලාය. ඒ වෙනුවට ඇත්තේ "සැලෝන්" ය. 
අප කුඩා කල හක්බෙල්ලාවක නොම්මර එකේ "බාබර්" කෙනෙක් සිටියේය. ඔහු සරම අඳින කෙනෙක්ය. ඔහු උදේටත් හවසටත් එහෙන් මෙහෙන් අබලං වූ කුඩා  සූට් කේසයක් රැගෙන පාර දිගේ ගමන් කරයි. කරේ සාලුවක් ය. එකල සාලුව කීවේ මෙකල තුවාය හෙවත් ටවල් එකටය. (ටවල් එකට වැඩි හොඳට ට්‍රවල් එක, ට්‍රබල් එක කියන එවුංද මට හමුවී ඇත! ඒක වෙනමම කථාවකි.) 
පාරේ ඉබා ගාතේ ඇවිදින බාබර් හට කවුරු හෝ කතා කලවිට එම ගෙදරටම ගොස් කොන්ඩය, රැවුල කපා දේ. සියලු අඩුම කුඩුම අර සූට් කේස් පෙට්ටියේය. හවස් වන විට කැලෑ අරක්කු වලින් සප්පායම් වන "බාබර්" පාර පුරා වංගු කප කපා ගෙදර යයි. වරෙක අපේ ගමේ අයෙකු පැවසූවේ දිනක් හවසක "බාබර්" හමුවීමට ගෙදරට යන විට උන්දෑ දැලි පිහියෙන් සාලයන්ගේ කොර පොතු අරිමින් සිටි බවය!
මේ  La Passion ඒවන් එකක් නොවීය. කොටින්ම එය බාබර් සාප්පුවක්ද නොවීය. එය කටපුරා ආඩම්බරයෙන් කිව හැකි "සැලෝන්" එකකි. 
"ගුඩ් මෝනිං සර්!" තරුණ පහේ කුඩා ගැටයෙක් මා පිළිගත්තේය. "සර් හෙයා කට් එකකටද?" මට හිතා ගැනීමට නොහැක. ඊට අමතරව මෙතැනට කුමක් කරගන්නට මා වැන්නන් පැමිණෙනවා ඇත්ද? එතැනම හිටවා තිබුනු පොලිතීන් දැන්වීම් පුවරුව මාගේ සැකය දුරු කලේය.

Hair Cut with Head Massage
Hair Setting
Hair Cut Shaving and Tonic Massage
Hair Cut Shaving and Oil Massage
Shaving
Beard Trimming
Braiding per Strand Short
Braiding per Strand Long
Hair Tattoo
Hair Massage  - Oil
Hair Massage - Tonic
Hot Oil Hair Treatment

(අම්මට සිරි!) "හෙයා කට් එකකට!" මා වට පිට විසිතුරු බලමින්ද දැණ්වීම් පුවරුව කියවා බලන තුරුත් මා දෙසම සිනහ මුසුව බලා සිටි තරුණයාට මම කෙටියෙන්ම පිළිතුරු දුන්නෙමි.
"සර් අපොයිමන්ට් එකක් අරංද ආවේ?"

"අනේ නෑනෙ පුතා! අපොයිමන්ට් එකක් නැතිව කොන්ඩෙ කපා ගන්න බැරිද මෙතන!"

"පුළුවං සර්! විනාඩි 20ක් විතර  ඉන්න වෙනවා! අපේ හෙයා ඩ්‍රෙසර්ස්ලා ඔක්කෝම බිසී! ඊළඟට අපොයින්මන්ට් එකක් නැත්නම් සර්ට ඉක්මනට පුළුවන් වෙයි"

"අම්මට සිරි! හරි අවුලක් නෑ මම ඉන්නම්!" අද මේ කොන්ඩෙන් දෙකෙන් එකක් කර ගත යුතුය. මීට කලකට පෙර පැත්තට පීරූ; පසු කලෙක උඩට පීරූ; කලකට පෙර දියේ ගිලී ඔලුව උඩට ඔසවනවාත් සමග අතින් පසු පසට කල; බස් රියක යන විට කොන්ඩය අවුල් වේයැයි කවුලුව වසා ආරක්ශාකල කොන්ඩය අද මට නොමැත!
එය බෙහෙවින් අකීකරුවී කිසිදු ලෙසකින් කිසිදු සම්මත හෝ අසම්මත ආකාරයකට පීරා තබා ගත නොහැකි තැනකට වැටී ඇත! 
කොටින්ම එය ගොයං කපා අවසන් වූ පසු ඉපනැල්ල මෙනි. ඔරොප්පුවට හිටවූ පොල් ඉඩමක් මෙනි.
තැනින් තැන මීයන් විසින් කා දැමුණු කොහු ගුදිරියක් මෙනි! මෙලෝ රහක් නොමැත. අද දෙකින් එකක් කර ගත යුතුය. මේ කොන්ඩය (ඇත්තෙන්ම කොන්ඩය පැවති ස්ථානය කිසියම් සම්මත හො අසම්මත ක්‍රමයකට පීරීමට සකසා ගත යුතු මය!
මා පසෙකින් තිබුනු සෝපාවේ ඉඳ ගත්තෙමි. අසල තිබුනු සඟරා රාක්කයේ කොන්ඩය හා සම්බන්ධ වෛවාරණ සඟරා පිරිලාය. මා එයින් එකක් ගෙන පෙරලා බැලුවෙමි. එය පුරා පැවතියේ ඒ මේ අතට පීරූ, පීරා දැයි සිතා ගත නොහැකි අපබ්‍රංස කොන්ඩා විලාසිතාය. සඟරා කිහිපයක්ම මම පෙරලා බැලුවෙමි. තව තවත් පෙරළා බැලුවෙමි. එතැන තිබුනු සියළුම සඟරා පෙරළා බැලූවද මාගේ කොන්ඩය වන් අක්‍රමවත් එකක් හෝ ඊට ආසන්න එකක් සොයා ගත නොහැකිවිය! 

"සර්! එන්න සර්!"

පෙර පැමිණි තරුණයා මාව කැඳවාගෙන එතැනින් ඇතුළු ශාලාවකට ගියේය. එතැන බාබර්ලා; (සමාවෙන්න) හෙයා ඩ්‍රෙසර්ස්ලා හතර පස් දෙනෙක් සීරුවට වැඩය!
එක් කෙළවරක තිබුනු ඉතා සුව පහසු ආසනය අසල සිටි කුඩා නව යොවුන් තරුණයෙක් මා දෙස බලා ආසනය පෑවේය. මා එම ආසනය මත පත බෑවුනි!
"සර් වොෂ් එකක් දාමු නේද?" තරුණයා කොන්ඩය අල්ලා බලා විමසීය. අප අපගේ සංසාරය තුල පුරුදු පුහුණු වී ඇත්තේ කොන්ඩය කපා නෑම විනා නෑමෙන් පසු කොණ්ඩය කැපීමට නොවේ! එහෙත් මාගේ මූලික අභිප්‍රාය මුදුන් පත් කර ගැනීමට එනම් මේ කොන්ඩය (සමාවෙන්න; එය පැවති ස්ථානය ) කිසියම් රටාවකට, පිළිවෙලකට සකසා ගැනීමට නම් මේ යකා කියන පිළිවෙලකට කටයුතු කල යුතු වන්නේය!
"හරි පුතා"
වෙනදාට මෙන් බාල්දිය ගෙන නාන ළිඳ ලඟට තුවායත් කරේ දාගෙන පරණ කොට කලිසමත් ඇඳගෙන යාමට එතැන අවශ්‍ය නොවීය! ආසනය අංශක 180ක් භ්‍රමණය කොට මුළු ආසනයම පසු පසට ගෙන මාව ළිං ගැට්ටේ නිදි කරවීමට තරුණයාට ගියේ තත්පර කිහිපයකි. 
ළිං ගැට්ටක් කීවාට එය හිස සේදීමටම සැකසූ කිරි ගරුඬ (හෝ පිඟන් ගඩොල්) බේසමකි. තරුණයා අසල තිබුනු මේසය මත තිබුනු වර්ණවත් ලේබලයකින් සැරසුනු බෝතලයකින් ලබාගත් සබන් යොදා කොන්ඩය හොඳින් එමෙන්ම මෘදුව සම්බාහනය කරමින් සෝදා හැරියේය. ඉන් පසු සුදෝ සුදු තුවායකින් පිහිදා හැර හෙයාර් ඩ්‍රයරයකින් හුස්ම පිඹ හිස මත වූ කෙස් ගස් කිහිපය වේලා ගත්තේය.

"සර් කොහොමද කොන්ඩෙ පීරන්නේ?" තරුණයා මගෙන් ඇසීය. සත්තකින්ම මම මෙතැනට පැමිණියේද ඒ  කාරණයට නිසි පිළිතුරක්ලබා ගැනීමටය! "පීරූ" හැටි දන්නා මුත් "පීරණ" හැටියක් ගැන මා දන්නේ නැත. මට අවශ්‍ය වන්නේද ඊට නිසි උපදෙසකි!
"පුතා ඇත්තටම මටම හිතා ගන්න බෑ මගේ කොන්ඩෙ කොහොම පීරන්නද කියලා! ඔයා බලන්න මගේ කොන්ඩෙට හරියන ස්ටයිල් එක මොකක්ද කියලා!" මම ඇත්තම කීවෙමි. දොස්තරටත් ලෝයර්ටත් බොරු කීම අවදානම්ය. අද මේ තරුණයාද දොස්තරයෙකු මෙන් ය!

"හරි මම සර්ගේ ෆේස් එකටයි හෙයාර් එකටයි හරියන්න කට් එකක් දෙන්නම්! මුලින් සර්ට අවුල් වගේ දැනුනාට ගනන් ගන්න එපා! කාලයක් යන කොට සර්ටම තේරෙයි මේක තමයි සර්ට හරියටම සූට් වෙන්නේ කියලා!" කොලුවා මොහොතක් මගේ ඔලුව දිහා බලා සිට පැවසීය.

"හරි අවුලක් නෑ! මට ගැලපෙන එක ඔයා තීරණය කරණ්න. මගේ ෆීල්ඩ් එක හෙයා ඩ්‍රෙසිං නෙවේනෙ!"

තරුණයා හොඳින් කොන්ඩය අතරින් තම සිහින් ඇඟිලි තුඩු යවා සම්බාහනය කරණ්නට විය. මෘදුව පටන් ගත් එය තරමක් තදින් අවසන් කිරීමට ගොස් නැවත මෘදු ස්පර්ශයකට ගෙන ආවේය. මෙම ආදර සැලකිළි සියල්ල මා දෙනෙත් පියා විඳ ගත්තෙමි. 
කොන්ඩය කපන්නට පටන් ගත්තද දෙනෙත් ඇර බැලීමට මා ලෝභ උනෙමි. සම්භාහනය ඒතරම්ම හිසට පමණක් නොව සර්වාංගයටම සුවයක් ගෙන දී ඇත. කොටින්ම බෙල්ල කපා ෆ්‍රිජ් එකක් ඇතුලේ තැන්පත් කල බවක් දැනෙමින්ය.
විනාඩි 20ක් පමණ කාලයක් ගත වන විට කොන්ඩය කපා අවසන් විය! ඒ බව මාහට දැනුනේ හිසට සුලං අල්ලා පිරිසිදු කිරීම සමගය. කිසිදාක නැති සුවයක් සිසිලසක් හිසට දැනෙමින් විය.

"සර් දැන් බලන්න!" මා ඇස් විවෘථ කොට ඉදිරියේ වූ කැඩපත දෙස බැලුවෙමි! "මේ මොකාද මේ?" මම මගෙන්ම අසා ගත්තෙමි!

"සර් මුලින් අවුල් වගේ දැනේවි! ගනං ගන්න එපා! සර් බියර්ඩ් එක වවන්න! එත කොට ඔය අඩු ගතිය වැහිලා යනවා!"

අම්මට සිරි මේ මමය! මගේ කොන්ඩය මුළුමනිනම බූ ගා තිබුනි. 

"සර් මේ උඩ කපලා තියෙන්නේ වන් එකෙන්! දෙපැත්ත නෝට් එකෙන්!" 

"හරි! තැන්කිව් පුතා" මගේ මූනට හරි යන්නේ මේක වෙන්න ඕනෑය! දෙයියනේ කියා මාහට වෙන දා කොන්ඩය කපනවා වගෙ විසි තිස් ගුණයක බිලක්ද ලැබුනි. එය ගෙවා දමා මා සැලූනයෙන් පිට වූයේ නැවත බෝඩ් ලෑල්ල දෙස හැරී බලමිනි.

එතැනින් එළියට පැමිණි මා කිලෝ මීටරයක් හමාරක් පැමිණ ටයර් හංදියෙන් ටයර් සංස්ථාව දෙසට හැරී නතර වූයෙමි. කොන්ඩය බූගා දැමූ නළුවන් හා රටේ ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයින් මතකයට ගන්නට උත්සාහ කලෙමි.

Dwayne Johnson
Vin Diesel
Patrick Stewart
Jason Statham 
Ben Kingsley 
Yul Brynner

මේ අතරට;
 නිහාල් සිල්වා, 
ඇන්තනී සී පෙරේරා
පූජිත මෙන්ඩිස් 
වැනි අයගේ නම් සහ ඔවුන්ගේ මූනත් තහඩු හිතට ගලා ආවේය. 

ඒසමගම මතකයට ආවේ පාසැලේ දහය පංතියේදී ඉගෙන ගත් සාහිත්‍ය පාඨ සංග්‍රහයේ එන "නාගසේන වස්තුව" ය. 
"නාගසේන වස්තුව" එන්නේ "සද්ධර්ම රත්නාවලිය්" පොතේය. "සද්ධර්මය නමැති මිණි කැට අවුණන ලද මාලය" එහි අදහසයි. 
එහි එක් තැනෙක කුඩා නාගසේන කුමරු රෝහණ මහ තෙරුන් ගෙන් හිස මුඩු කොට ඇත්තේ ඇයි දැයි ඇසූ පැනයට. තෙරණුවෝ කදිම පිළිතුරක් දුන්නේය. එය මෙසේය:-"හෙම්බා කුමාරයෙනි, මේ හිසකේ වඩා වඩා පිරිමසන්නවුනට අට්ටාල දොළොසෙක් ඇත. ඒ දොළොස නම් කවරේcද යත්? හිස කේ සිටුවන්නහු මුර නො වරදවා සේධුව මැනැව. පැන් නො සිටුවා හිණි ගැන්වුව මැනැව. බඳිනට පෙරාතුව හිස කේ තැනුව මැනැව. තෙල් ගා පන්ති කළ මැනැව. හිස සෝධා පී කලට මල් සෙවුවමැනැව. මිල දීවුවද සුවඳ සෙවුව මැනැව. සුවඳ ගැල්වුව මැනැව. පණා ගැසුව මැනැව. අවුල් කඩා පීරුව මැනැව. උකුණන් හැරවුව මැනැව. නර පෙනෙන කලට කරුප්පු ලුව මැනැව. හිස කේ වැගිරෙන නියාව දුටු කලට මුසුප්පු වුව මැනැව. මෙකී අට්ටාල් නිසා මෙ සේ කලට ඒ හැම නැති හෙයින් හිස කේ කපම්හ" යි වදාල සේක.

මීට අමතරව ලෙනින්, මුසලෝනි, ඩ්වයිට් ඩී අයිසෙන් හවර්, වින්සන්ට් චර්චිල්, සොක්‍රටීස්, මහත්මා ගාන්ධි, නිකිතා කෘෂේව්, ඔලිවර් ගුණතිලක මේ සියල්ලන්ම තට්ටයන් විය! ඒ අයටද සිදුවූයේ මට සිදුවූ අලකලංචිය දැයි මා නොදනිමි. එහෙත් අවසාන ප්‍රථිඵලය එකම විය. 

මා සෙමෙන් සෙමෙන් ගෙදරට ලඟා වුනි.
"ආයේ කොන්ඩෙ කපන්න ඕනෙත් නෑ! ඩයි කරණ්න ඕනෙත් නෑ!!' මම ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන පොඩි පහේ සද්දයක් නොහොත් ඇඩ් එකක්ද දාගෙන ගෙදරට රිංගූවෙමි.
"අම්මට සිරි මේ මොකද මේ?" වසික හෝ කල්මී දුටු වනම පළමුව විමතියටත් පසුව හිනා වෙන්නටත් පටන් ගත්තේය. 
"අම් . . . . මේ . .ඒ .ඒ . !" ඊළඟ මොහොතේ බෙරිහන් දුන්නේය.
බිරිඳ මතුවූයේ තවත් මොහොතකින් ය!
"කොහොමද හොඳද . . ?" මම දේශපාලන සිරකරුවෙකු සේ බැක් ෆුට් එකේ ප්ලේ කෙරුවෙමි!
"මම කිව්වා කියලා හිතා ගන්නකෝ!" ඒ අපේ බිරිඳට නොම්මර එකටම මල පැන්න පසු පවසන සරළ සුගම භාෂණය ය!

එදින හවස් වෙන තුරු කල්මිලාගේ වසිකලාගේ විනෝදාශ්වාදය වූයේ මාගේ නෝට් එකට කැපූ තට්ටය අතගෑමය!
රාත්‍රිය එළඹුනි.
රාත්‍රියේ බිරිඳගේ අත; මාගේ හිසේ ගැටුනි!
"විඛාර! හරියට හාමුදුරුවොත් එක්ක බුදියනවා වගේ . . !" ඇගේ මුවින් නැවුම් වදනක් පිටවූයේ එසේය!

පසුදින උදයේ මා මුහුන දෝවනය සඳහා නාන කාමරයට ගාල් වුනෙමි.
රැවුල බෑමට පටන් ගත්තෙමි.
ශේප් එකේ නෝන්ඩි නැතිව කොන්ඩයේ; සමාවෙන්න කොන්ඩය නොව; පෙරදින කොන්ඩය තිබුනු තැන වතුර ටිකක් අතින්ම ගා තල තුනේ බික් රේසරයෙන් පෙරං ගෑමට කන අයිනේ සිට පටන් ගතිමි. වැඩේ සාර්ථකය!
හිමිං සීරුවේ මුළු ඔළුවම බෑවෙමි. තුවායෙන් මුහුණත් තට්ටයත් පිහිදාගෙන දිනය පටන් ගතිමි. ඊට පෙරදින නොම්මර එකෙන් කැපූ නෝට් එකෙන් ඔප මට්ටම් කල තට්ටය සහ අද දින පෙරං ගෑ තට්ටය අතර වෙනසක් නිවැස්සෝ නොදුටූහ!
"තාත්තිට මේක හොඳත් වගේ!" කල්මි කින්ඩියට මෙන් කීවේය!
බිරින්දෑ ඉවත බලා ගත්තීය.

රැකියාව සඳහා යුනයිටඩ් මෝටර්ස් ආයතනයට ගියවිට මුල් දින කිහිපයේ මා ප්‍රදර්ශන භාන්ඩයක් වුවද එය ගැටළුවක් නොවීය. 
මා සමග සේවය කල නීල් නිවිතිගලද උපන්ගෙයි තට්ටයෙකි. බොහෝ පාරිභෝගිකයින් නීල් යැයි පටලැවී මා සොයා ආවෝය.
"තට්ටයන් සියල්ල නීල් ලා නොවෙති!" මා සිනහ මුසු මුහුණෙන් ඔවුනට පැවසූ විට ඔවුන්ද පෙරලා නීල් සොයා ගියෝය!

ජපානයේ ඔකාසාකි නගරයේ මිට්සුබිෂි පුහුණු ආයතනයට ලංකාවෙන් මා සමග ගියේ පුබුදු ගුරුගමගේය! ඔහුද නොම්මර එකේම තට්ටයෙකි. මදි පාඩුවට ඔහු වැක්ස් හෙවත් ඉටි ගා තට්ටය පොලිෂ් කරගෙන සිටියේය.
අපගේ උපදේශක කවකමි සාං; අප හමුවට ආ විගස ඔහු වික්ෂිප්ත විය. ඔහු පළමුව ඇසූවේ ඔබගේ ආයතනයේ සියලුම සේවා උපදේශකයින් සිටින්නේ කොන්ඩය බූ ගා දැයි කියාය! එහෙත් පාරිභෝගිකයින් හා නිරන්තරයෙන් ගැටෙන අප කොන්ඩය බූ ගා දැමීම ගැන ඒ තරම් සතුටු වූයේද නැත!


එතැන් පටන් වසර 15 කට ආසන්න කාලයක් මා තට්ටයෙකුසේ සමාජය ඇඳින ගත්තේය. 
අලුතින් දැන හඳුනා ගන්නා අය මාගේ දූරකථන අංකය ගබඩා කිරීමට යාමේදී මාගේ නම මතුවෙයි.
"තට්ටයා" මේ මොකක්ද මේ?" ඔවුන් අසයි.
ඒ මගේ Trade Name එක! මම ආඩම්බරයෙන් පවසමි.

අවසාන වතාවට වසිකවත් කල්මීවත් බැලීමට කැන්ගරු දේශයට ගොස් නැවත පිටත්වන දින වසික  අනගි ත්‍යාගයක් මා අත තැබීය. ජීවිත කාලය පුරාවට ලබා ගැනීමට බලාපොරොත්තුවූ භෞතික වස්තුවක් වූ එය විවෘත කර බලන මෙන් වසික මාගෙන් ඉල්ලීය. 
එය Leatherman Tool එකකි!
සියළු ඇසුරුම් ඉවත් කොට එය මා අතට ගත්තෙමි. එහි ද මාගේ Trade Name කිසිදා නොමැකෙන සේ ලියා තිබුනි!



වැඩේ සුපිරිම සීන් එක ඔය එකෙක් වත් නොවේ. ගෙවල් වල හුදී ජනයාගේ වදේට පොරේට; දාන මාන, පිරිත් පිං කං වැනි දේට ගිය බොහෝ අවස්ථාවලදී එතැන් සිටින හාමුදුරුවරුන්ට වඩා මගේ තට්ටය ප්‍රශස්ථ මට්ටමක පැවතීමයි.
"මහත්තයා හැමදාම බානවාද?"
වැනි ප්‍රශ්ණ මගෙන් බොහෝ යති වරු අසා ඇත!

ඒකෙත් සුපිරිම වැඩේ උනේ මීට වසර ගනනාවකට පෙර; මාගේ බිරිඳගේ සේවා ස්ථානයෙන් කෙරුණු පිං කමකට සහභාගී වන්නට රුවන්වැලි සෑ අභියසට ගිය අවස්ථාවේදීය.
එතැනට වැඩම කල හාමුදුරුවෝ කාලීන බනක් කෙලින්නට පටන් ගත්තේය.
"දැං මේ රට සම්පූර්නයෙන්ම අනිත් පැත්ත හැරිලා. සියල්ල විකුර්ති වෙලා. හාමුදුරුවරු කොන්ඩෙ වවං ඉඳිද්දීඉඳිදී ගිහියෝ තට්ටේ ගානවා!" ඒ හිමියෝ තම ශ්‍රී මුඛය හෙවත් හැකර කටෙන් කියවන්නට පටන් ගත්තේය. 
ඒ වගන්තිය කෙලවර වෙන්නටත් පෙර එතැන සිටි උවැසි උවැසියෝ මා දෙස බැලූවේ "විකුර්ථියක්" පියවි ඇසින් බලා ගැනීම සඳහා විය යුතුය!

ඔබට කියන්න සුපිංවතුනි ඒ බයිලාව දෙසා උන්දෑට කට ගන්නට බැරිවිය. එතැන කෙලින් අතට හිටවා තිබුනු  මුරායුධයක් එක වරම ඔහුගේ හිස මතට වැටුනි. ඉන් ඔහුගේ හිස තුවාල වී ලේ ගලන්නට විය.
හිටුවා තිබුනු අඩි හයක් පමණ උසැති මෙවන් මුර ආයුධය හෙවත් හෙල්ලේ දෙපස ඇති තියුනු උල හිසට කඩන් වැටුනි.

මේවා කාට කාටත් හොඳ පාඩම්ය! 

"තට්ට ධම්ම වේදනීය කර්ම" පඩිසන් දෙන්නේ එලෙසින් ය!

41 comments:

  1. අයියෝ..... හිනා කාල මැරුණා .. ඉතාම අසනීප තත්වයක සිට මේක කියෙව්වේ.... දැන් ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙන තරමට ලෙඩේ වැඩි උනා වගේ දැනෙනවා.
    බිරිඳගේ වදන තමා සුපිරිම. "හරියට හාමුදුරුවොත් එක්ක බුදියනවා වගේ . . !"
    සමහර වෙලාවට මම දන්න තට්ට අයියාලා එක්ක කතා කරද්දී මටත් එහෙම දැනිලා තියෙනවා .. " හරියට හාමුදුරුවෝ කෙනෙක් එක්ක කතා කරනවා වගේ."
    තට්ට අයියලාට උසුළු විසුළු කරන්නත් දැන් නම් බයයි. දැක්කනේ අර බණට වැඩපු හාමුදුරුවන්ට "තට්ට ධම්ම වේදනීය කර්ම" පඩිසන් දීපු හැටි.
    විහිළුවට වගේ අර කොන්ඩේ තිබුන කාලේ ගත්ත පින්තුරයකුත් එකතු කළා නම් ලිපිය සම්පුර්ණයි කියලා මට හිතුනා.
    ඒ වුනාට ඉතින් අවසානයේ .... "සියළුම තට්ටයෝ හාමුදුරුවෝ නොවෙයි"... වගේම "සියළුම හාමුදුරුවෝ තට්ටයෝ නෙමෙයි" කියලා හිත හදාගන්න මම තීරණය කළා.

    ReplyDelete
    Replies
    1. හඃ! හඃ!! හා!!! මගේ පෝස්ටුවටත් වඩා රසවත් කමෙන්ටුවක්!
      සමහරුන්ගේ මූනේ උත්පත්තියෙන්ම "සඝ ඝණ" පිහිටා තියෙනවා. උං ඔලුව පෙරං ගාවත් නැතත් හාමුදුරුවරු වගේ තමයි.
      ස්තූතියි මෙහි ආවාට!

      Delete
  2. කොන්ඩේ යැම බොහෝවිට තාත්තාගෙන් ආ දැවැද්ද වෙන්න පුළුවන්. බොහෝ දෙනාගේ මතය එයයි. එත් අද කාලේ තට්ටය ඉහලම ෆැෂන් එකක්නේ, ඒ නිසා අව්ලක් නෑ.

    මගේ එක යාලුවෙක් ඉතා අඩු වයසෙන් කොන්ඩේ යැම ගැන කිව්වා දේ, නරක වැඩ කරලා ලෙඩ බෝවෙනවට ප්‍රති ජිවක බිව්ව නිසා.

    මගේ යාලුවෙක් ඉන්නවා පරණ වාහන ලෙඩේ උග්‍ර උන. (අර RILEY RMA එක එයාගේ) මැන් අත් වල මජන් හෝදන්න පැට්‍රොල් සහ වැලි දාලා උලලා, ඉයම් ඇඟට ගිහින් මරෙන්නම් ගියා.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අපේ තාත්තා එහෙම තට්ටයෙක් නම් නොවෙයි. ඒත් ඉතිං අපිට සෙට් වෙන්නේම "විලීන ජාන" නොවැ! අම්මට සිරි ඌ මාර පොරක් නේ!?

      Delete
  3. පෙනනෙ හැඩට ලස්සනකට හිටිය කොණ්ඩයා
    නොදැන අහෝ පත්වුනාද ලෙසට තට්ටයා
    ලියන වදනෙ රස පතුරා දෙන්න චන්ඩියා
    තියෙන වයස වැඩිවූවත් තවම හැන්ඩියා....😀

    කලින්ම දාපු කමෙන්ට් එක නැතෝ....

    ජයවේවා අයියේ.

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක්! අගය කිරීම පිළිබඳව; බොහොමත්ම ස්තූතියි දුමී මල්ලී!

      Delete
  4. ඉස්සරහින් තට්ටේ ඇත කට්ටයට
    පිටුපස තට්ටෙ එන්නේ මොට්ටයන්හට
    ඉස්සර කතන්දරයකි සිහිවෙන්නෙ මට
    කියා දෙන්න, ඔබ හිම මොන කුලකයට?

    ReplyDelete
    Replies
    1. 'ඔබ හිම මොන' යන්න 'ඔබ හිමි මොන' යනුවෙන් නිවැරදි විය යුතුය.

      Delete
    2. ඔයාට අවශ්‍ය උත්තරය මම දන්නවා! ඔය ඉවානුත් පහලින් ටක්කෙටම කියලා තියෙන්නේ! නමුත් මෙච්චර හරියටම කියලා ඔබ තමුන්නැහැලට නොතේරෙන හැටි මගේ දුක්බර කථාව!?

      Delete
    3. මගේ වෙලාව හොඳයි! තට්ටයා මහත්තයාට පෙනිලා නෑ- මගේ පිටුපස තට්ටෙ!

      Delete
  5. පිරිසිදු කරන්න යොදලා තියන දේවල හැටියට ඔලුව ඔය තරමින් රැකී තිබීම ගැන දෙවිදේවතාවුන්ට පින් දෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒකනං සහතික ඇත්ත!

      Delete
  6. ඔබේ කතා කියවන එක කෙටි චිත්‍රපටයක් බලන එකටත් වඩා සතුටක් චමත්කාරයක් ගෙන දෙනව.ඒ හැම සුලු සිදුවීමක් පවා උපමා ,උපමේය සහිතව ,පෙල ගස්වල, විස්තර කරල තියන අපූරුව නිසා. ඔබ රැකියාව හැටියට පරිපාලනය හා යාන්ත්‍රික විද්‍යාව නොව ලිවීම තෝර ගත්ත නම් කොපමන වටිනවද කියල මට හැගෙනව.

    ReplyDelete
    Replies
    1. සරත් මහත්තයා මම මේ ගැන මීට කලින් තැනක දෙකක ලියලා තියෙනවා. මම හිතාන හිටියේ පුවත් පතක විශේෂාංග කතෘ කෙනෙක් වෙන්න. ඒ සඳහා මම ටිකින් ටික ලෑස්ති උනා! ඒත් දෛවයේ ටොනඩෝව මාව කරකවල මෙතනට තමයි බැස්සුවේ! ඒ නිසාමයි මගේ බ්ලොග් එක එක් ක්ෂේත්‍රයක් පිළිබඳව නොලියා විශේෂාංග එකතු කරලා තියෙන්නෙත්. මෙය සඟරාවක් ලෙසට ඔසවා තබන්නට උත්සාහ ගන්නේත්!

      Delete
  7. ඔය මොක කිව්ව්ට්ත්ත් තට්ටේ එන්නෙ වල් කමට මිසක් ඔය එක් එකේව්ට නෙවේ

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ උඹ විග් එකක් දාගෙනද ඉන්නේ?
      මොනා උනත් විස්කෝතුයි වල් පූසාගේ පැමිණීමට!

      Delete
  8. හෙහ්..හෙ. මරැ 😁

    විග් දාන අයගෙ ෆන් ස්ටෝරි ටීකුත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. අයියෝ ලියපංකො නමියා!

      Delete
  9. සුපිරි ලියැවිල්ලක් නේ.....මෝටර් රථ කාර්මික ආංශයේ වැඩ කරපු බවක් දැන ගත්තේ අද... බලං ගියාම තට්ටේ ඇවිල්ලා රැකියාවෙ නිසා ලැබුනු ත්‍යාගයක්...

    දැන්නං ඔනේ වෙන එකක් නෑ...ඒත කඩවත් 9 කණුවේ ඉන්න ව කොන්ඩේ කපන අළුත් කොල්ලෙක්...පොර හොදයි....මමත් දෙපැත්ත නෝට් එකේන් ගාලා මැද ශේප් කරලා ඉන්නේ...ඒ නම් මෙහෙ කොන්ඩෙ පනවයි කියන එකට යුරෝ 15-18 ක් යන නිසා...

    ReplyDelete
    Replies
    1. ඔව් නමියා එහෙම කියන්නත් පුළුවන්!
      කොහොමත් දැන් මට සැලූන් එහෙම පෙනෙන්නේ "ජාතික අපරාධයක්" ලෙසයි!

      මීට කාලෙකට ඉස්සෙල්ලා මගේ කොන්ඩෙ කපපු බාබර්ලා දැන් මා දිහා බලන්නේ උන්ගේ ජාති වෛරක් කාරයෙක් දිහා බලන ලෙසට!

      Delete
    2. සමාවෙන්න මේ පිළිතුර නමියාට නොව මයියාටය!

      Delete
  10. උණ මරගාතේ ඒ මදිවට කැස්ස හොදටම මේක කියවල,දැන් ටිකකට කලින් හිනාවෙලා වීසින් වැඩි වෙලා මැරෙන්නත් ගියා අප්පා.සත්තලන්ගෙන් බැනුනුත් ඇහුවා.

    ReplyDelete
    Replies
    1. අසනීප මැද්දේ උනත් මේ පැත්තට ගොඩ වැදුනාට මෙන්න මගෙන් බුරියානි හට්ටියක් පිලියන්දල අරලිය කේටරින් එකෙන්!

      Delete
    2. එහෙම කේටරින් එකක් පිලියන්දල නැහ් 🙃

      Delete
    3. මගුලයි! මොකක්ද අප්පා ඒකේ හරි නම!? බම්බුව!

      Delete
  11. ඔබතුමාගේ බස සැබවින් ම ලස්සනයි! නිර්මාණාත්මකයි! පළමු වතාවට කියවන්නට ලැබුණෙ! පොතක් ලෙසින් පළවුණොත් අගේට හිටීවි නේද? ඔබතුමාගේ බස භාෂා වාදකයකුගේ බසක්(දොස්තර ෂිවාගො ලියු ලේඛකයාගේ බස හඳුන්වන්නෙ එහෙමයි) ඉක්මනින් ම ඔබතුමාගේ පොතක් කියවන්නට ලැබේවා!
    මණ්ඩාවල හාමුදුරුවෝ

    ReplyDelete
    Replies
    1. මගේ ලිවීම පිළිබඳව මා ලැබූ ඉහලම වටිනාම මෙය යැයි කීමට මා පසුබට නොවෙමි!
      ලියන කියන කෙනෙකුට; පාඨකයෙකුගෙන් ලැබෙන මෙවන් ප්‍රථිචාරයක් සම කල හැකි අන් ත්‍යාගයක් නොමැත.
      මා ජීවිතය පටන් ගත්තේ පත්තර කාරයෙකු වන්නටය. එහෙත් මෙම පෝස්ටුවටම ලියූ එක් කමෙන්ටුවකට මා දුන් පිළිතුර පරිදි; වෙනස්ම තැනක සිටින්නෙමි.
      ජීවිතය ඔහේ ගලායාවි.
      මා අත් දැකපු රසවත් මෙන්ම අමතක කල නොහැකි "මතක" මෙසේ පෙලගස්වමි.
      එහිදී හැකි පමණ අනුගමනය කරණ්නේ පුවත් පත් කලාවේදී අනුගමනය කලයුතු රීතීන් ය!
      සමහරෙකුට එය "සමාජ මාධ්‍යයක" හර පද්ධතිය විනාශ කිරීමක් සේ දැක් විය හැක.
      එහෙත් එය මාගේ ක්‍රමයයි.
      මා ප්‍රභන්ධ ලියා නොමැත!
      කෙටි කථා පවා ජීවන අත්දැකීම්ය.
      ඒවා යම් පමණකට හෝ රසවත් වී ඇත්නම්; ඒ එවා "සත්‍ය්ය" නිසාම විය යුතුය.
      බොහොමත්ම ස්තූතියි මෙහි පැමිණ; පොඩිත්තක් දොඩමළු වීමට නැවතුනාට!
      හිට ගෙනම නොවැ කථාකලේ. දන්නෙම නෑ ඇවිත් යනකල්.
      (සුදු පිරුවටක් දමා ආසනයක් පනවන්නට නොහැකිවීම පිළිබඳව කමාව අයදිමි!)

      ජයවේවා ඔබ වහන්සේට!

      Delete
    2. "වටිනාම" නොව; එය "වටිනාකම" ලෙස නිවැරදි විය යුතුය!

      Delete
  12. Hamadaama wage adath supiriytama liyalaa thiyenawaa.
    Jayawewaaa.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!
      ලියන කෙනෙකුට ඔය වචන වල තියෙන වටිනා කම ඔබ දන්නවා නම් . . . !

      Delete
  13. නියමයි. ලස්සනට ලියලා තියනවා.👌

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි!
      ඔය වචන තමා මේ ලිවීමට සැපයෙන ඉන්ධන!

      Delete
  14. ආසාවෙන් කියෙව්වා. මංජුල එක තැනකින් පටන් අරන් අපිව ලෝකෙ වටේ ගෙනියනවා. තව ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ! ඔබත් අපව ලෝකෙ වටේ සවාරි ගෙනියනවා නොවැ!?
      ස්තූතියි හැමදා වගේම ඔබේ පැමිණීම පිළිබඳව සතුට!

      Delete
  15. මටත් කාලයක් කොණ්ඩේ ඕසේට තිබුනා. තට්ටයා වගේ තට්ටේ ගෑවේ නැහැ. එංගලන්තේ වසයට් ඇවිත් අවුරුදු දහයකින් විතර තට්ටේ එන්න පටන් ගත්ත. හැමෝම කීවේ වතුර වලට කියල. හැබැයි මම හිතන්නේ ආරෙට යන දෙයක් කියල. අර සුව පහසු මුල්ම තට්ට අත්දැකීම කියවද්දී සුපුරුදු පරිදි සෝවියට් දේශය මතක් වුනා. එහෙ බාබර් වැඩේ කලේ ලස්සන යොවුන් වියේ කාන්තාවෝ. මුල්ම දවසේ ගියහම මම හිතුව වැරදිලා කාන්තාවන්ගේ සැලෝන් එකකට වත් ගියාද කියල නැහැ ඒ අයට වෙනම ඩිප්ලෝමාවක් පවා තියනව කොන්ඩේ කපන්න, ඔය වගේම ඔළුව හෝදලා මසාජ් කරලා තමා කපන්නේ. ඊට පස්සේ ඉඳන් බාගෙට වැවිගෙන එනකොට කොණ්ඩේ කපන්න යනවා. 😀

    ReplyDelete
    Replies
    1. රුසියාවේ වගේ උනා නම්; මෙරට එක කොන්ඩෙ තියෙන එකෙක් වත් හොයා බැරිවෙයි!

      Delete
  16. අර ෆොටො එකේ මිනිමයිනරයත් එක්ක හිටපු කොන්ඩයා, තට්ටයෙක් වෙච්චි හැටි නම් හරිම අපූරුයි. තවම තට්ටෙත් එක්ක හරඹ නොකෙරුවත් බොහොම ආසාවෙන් කියෙව්වා. කොන්ඩෙත් බේරාගන්න බැරිවුන එකේ, තට්ටෙවත් බේරාගන්න බලමු නේද තට්ටයා මහත්තයෝ....
    - වීරසිරි බන්ඩාර -

    ReplyDelete
    Replies
    1. තට්ටෙත් දැන් බේර ගන්න අමාරු තත්වයක් තියෙන්නේ වීරසිරි මහත්තයා!
      කොහොම උනත්; ඉපදුනු එකේ කොහොම හරි ට්‍රයි කරලා මැරෙන්නත් එපායැ!

      බොහොමත්ම ස්තූතියි හැමදාම වාගේම මේ පැත්තේ ආවාට.
      ජයවේවා!

      Delete
  17. බිරිද හරි යැයි මටද සිතේ.මටද තට්ට පිරිමින් දුටු විට ඇතිවන්නේ හැඟීම් විරහිත පන්සල් හැඟීමකි.සමාවෙන්න.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...