ඇස්ටොං ගෙදර!

 

srilankan traditional story sinhala story

එකදාස් නමසිය අනූ ගණන් වල එකෝමත් එක ගමකට ඉර පායලා තිබුනා.

ගමේ කෙලවර ගමටම කොස් බෙදුව මහ පතරංග කොස් ගහේ සරුසාරෙට කොස් පීදිලා තිබුනා. ඒ කොස් ගෙඩි අතර අතු වලට ගමටම සද්දෙ බෙදන්නැහේ ලවුස්පීකර කොහු ලණු අමුණලා සවියට ගහටම බැඳල තිබුනා. ඒවායින් අපූරු වට සිංදු වාදනය උනා. පරණ සිංදු. ජෝතිපාල උන්නැහේගෙ සිංදු තමා හුඟක්ම. කැසට්ටු පටි නෙව තිවුනෙ ඒකාලෙ. අකුණු ගහමින් මහ වැහි වැටෙද්දී උනත් ඒ සද්දෙ අඩු නොවී ගමටම ඇහුනා. ඒ කොස් ගහ අසල මිදුලේ වෛර්ණ මඩුව යට ඇස්ටොං ගෙදර සිරි සිරික්කිය නතර වෙලා තිබුනා. හැමෝම තුෂ්නිම්භූත වෙලා උන්නා. පුංචි සිරිමාලි ගේ ඇස්ටෝන් ගෙදර කලඑලිය වැහි අඳුරින් යටපත් උනා. මිදුල පුරා වතුර ගලාගෙන ගිහින් මඩුව ඇතුලටත් ආවා.

එකමත් එක උදයක වෙනද වගේම පාසල් ගිය සිරිමාලිට වෙනදා නැති පුංචි බඩ රුජාවක් විටින් විට දැනුනා. නව යොවුන් වියේ ලක්ෂණ ටිකෙන් ටික පෙන්නමින් උන්නු සිරිමලී දිහාත් පන්ති භාර ගුරුතුමිය උන කුසුමාවතී ගුරුතුමී අවධානයෙන් හිටියෙ මේ කාලෙ හරිම අවධානම් කාලයක් නිසා. එදා ඉස්කෝලෙ ගිය සිරිමාලි ටික වේලාවකින් තමන්ට දැනුනු වෙනස් හැඟීම් සමුදායක් හින්දා යාලුවත් එක්කම ගිහින් ගුරුතුමීට විස්තරය කනට සැල කලා. දරුවව විවේකාගාරයට එක්කන් ගිහින් ටික වේලාවකින් විදුහල්පතිතුමාටත් විස්තරය පවසාලා එහෙම ඇයව පන්තියෙන් පිටතට එක්කන් ගියා.

සිරිමාලි උන්නෙ හයේ කැලෑසියේ. පන්තියේ ගුරුතුමී එදා  සුදු රෙද්දකින් වහගෙන එයාව ගෙදරට එක්කන් ඇවිල්ලා අම්මට භාර දුන්නම අම්ම ආදරයෙන් හිස ඉඹලා තුරුලු කර ගත්තු හැටි සිරිමාලිට අපූරුවට තාමත් මතකයි. ඒ වෙලාවෙ කුඹුරු කොටලා ඉඳපු අම්මගෙ ලඟ තිබුනු දාඩිය ගඳ, ඇගේ බරසාර සුසුම් හොඳහැටි තාම මතක් කරන්න සිරිමලීට පුලුවන්. ටික වේලාවකින් ගමේ තලත්තැනි ඥාති ගැහැණු ඇවිල්ලා තමන් වහන් වෙලා උන්නු කාමරේට ඇවිල්ලා හිස අතගාලා ආසිර්වාද කරපු හැටි. එකේක නොතේරන කරුණු කාරනා විටින් විට කියාපු හැටි, බඩ, යටි බඩ රිදෙනවා කිව්වහම සුදු ලූණු එහෙම තම්බලා කන්න දීපු හැටි, බඩේ තෙල් ගාපු හැටිත් මතකයි. සිරිමලීට තාමත් හොඳට මතකයි.

“ඔහොම තමයි දුවේ ඔය කාලෙට“

මූණ පුලුටු කරන් වේදනාවෙන් ඉන්න සිරිමලීට එහෙම කිව්වෙ සිරිමලීගෙ අත්තම්මා

එකදාක උදේ තමන්ව කාමරෙන් එලියට අරන් මීදුම පිරුණු සීතලේ, වෙල අද්දර ලිඳට එක්කන් ගිහින් නාවපු හැටිත් තාම මතකයි. දත් ඇඳි කට කට ගාලා එකට හැප්පෙද්දි සීතල ජල කඳ කලයේ මුවින් තමන්ගෙ කෙස් වැටිල පොඟෝගෙන කඩා හැලුන හැටි තාම මතකයි. සිරිමලී නාලා ලස්සන ඇඳුමක් ඇඳලා ගෙදරට ආව ගමන් කැවිලි පෙවිලි සහ තවත් අඩුම කුඩුම තිබුන පැදුරක් වටේ ගිහින් ඉහලගමේ රෙදි නැන්දාගේ උපදෙස් පරිදි පහන් පත්තු කරලා කණ්නාඩියකින් මූණ බලලා අම්මට තාත්තට වැඳලා නෑදෑයෝ ඉස්සරහ කිරිබත් කාලා පවත්වපු උත්සවයේ මතක තාමක් නටඹුන් වෙලා සිරිමලීගෙ හිතේ තියෙනවා. 

තමන්ගේ අවාසනාවන්ත කොටහළු අවමඟුල!

--------------------------------------------------------------------------

මේ සේරම සිරිමලී මතක ගොනු අවුස්සන ගමන්ම පෙරේදා ලොකු දැරිවියක් වෙලා හෙවත් කොටහළු උන තමන්ගෙ එකම දූ පොඩිත්ත ලං කරන් කිව්වා. දැන් මේ ගෙවෙන්නෙ සිරිමලී විවාහත් වෙලා දහවෙනි අවුරුද්ද. දැන් සිරිමලීට වයස අවුරුදු විසි අටක්. ඇය වගේම ඇගේ දූ පොඩිත්තිත් අවුරුදු දහය වෙද්දිම ගෙට උනා. මේ ගෙවෙන්නෙ ඉස්කෝලෙ නිවාඩු කාලේ නිසාම සිරිමලීගේ හිතටත් සතුටුයි.

ඒ කාලේ ඉස්කෝලෙ ගිහින් අහවර උන ගමන්ම වාගේ ගෙදරින් ගෙනාපු "කච්චේරියේ ලියන මහත්තයා" ගේ යෝජනාවට කැමති උන සිරිමලී අවුරුදු දහ අටෙන්ම කසාද බැන්දා. මාස කීපයකින් පසු ලැබුන එකම දරුවා ලොකු මහත් කරන් ගේ දොර බලාන සිරිමලී කල් ගෙවද්දී, ලියන මහත්තයා ඉක්මණින් කාර්යාලයේ ලොකු තනතුරකට උසස් උනා. ඉන්පස්සෙ දෙපාර්තමේන්තුවේ ලොකු තැනකටත්.

සිරිමලී පොඩි කාලේ ඉඳන් උන්නු ගෙදරම බින්න බැහැපු ලියන මහත්තයා වෙනසකට කලේ ගේ ටිකක් නවීන පන්නයට හදපු එකයි, පුංචි කාර් එකක් ගත්තු එකයි විතරයි. අවංක නිලධාරියෙක් උනු සිරිමලීගෙ සැමියා අවංකව සියලු දේ කරගත්තා. සිරිමලීගේ මහ ඉඩම ඉස්සර වගේම සරු සාරෙට තිබුනා. සිරිමලීගෙ දෙමාපියන් දැන් වයසයි. තමන්ගෙ දූගෙ වගේම මිණිපිරීගෙත් කොටහලුව දැක ගන්න තරම් ඒ වයසක ඇත්තො වාසනාවන්ත උනා කියලා සිරිමලීගෙ අම්ම කාට කාටත් ලොඹු කට පෙන්නලා හිනා වෙවී කිව්වෙ ඇත්තටම සතුටින්.

සිරිමලීත් ලියන මහත්තයාත් සෙමින් සෙමින් මැදිවියට ලං වෙද්දි සිරිමලීගෙ දූ විරාගි දැන් සිරිමලීගේ තරුණ කාලේ අත්දැකීම් වලට මූන පාන්න සූදානම් වෙන්න වෙලා. ලංකාව විතරක් තාම පරණ සිරිත් මත්තේ නහින නිසා ඒ ගෙදර දෙවැනි වරටත් කොටහලුවකට සූදානම් උනා.

--------------------------------------------------------------------

අධිකාරම් කියන්නෙ ගමේ උන්නු පරණ මනුස්සයා. සිරිමලීගෙ දූ විරාගිගෙ කොටහලු මඟුලට ලෑස්ති උන දා ඉඳන්ම සිරිමලීලගෙ ගෙදර ඉඳපු මේ මනුස්සයාව කාටවත්ම වැදගත් උනේ නැහැ. අධිකාරම්ට මතකයි ඒ කාලේ සිරිමලීගේ කොටහලුවත් මේ වගේ සරු සාරෙට ගත්තු විත්තිය. 

එතකොට අධිකාරම් උන්නැහේ තරුණ පහේ ගැටයා. උස මහත කඩවසම් තරුණයෙක් නොවුනට සරම කැහැපොට ගහගෙන ඔන වැඩකට සූදානම් සරීරෙන් කඩිසරව ඉන්න අපූරු ගැටයා. කොස් ගහේ ලවුස් පීකර බඳින්න, සිංදු සද්දෙට බෙදන ටවුමෙං ආව මහත්තුරුන්ට උදව් කරේ සම්පූර්ණයෙන්ම අධිකාරම් උන්නැහේ තමයි. උයන පාටියට විහිලු තහලු කරන්නත් මේ කොල්ල ගැටයට වෙලාව තිබුනා. කෝම උනත් කොටහලු ගෙදර සැරසිලි වලට අවශ්‍ය කරන මල්, කොල, ගස්, අතු සේරම සපුරාලන්න වන වැදුනෙත් මේ අදිකාරම් කොල්ලා තමයි. සිරිමලීගෙ තාත්තගෙ කටේ තිබුනෙම අධිකාරම් කොල්ලා කියන වචනේ විතරයි. ගමේ කාටත් එකසේ උදව් කරන අධිකාරම් කොලුවා රස්සාවට කලේ ගෙවල් ගානේ ගිහින් පුංචි පුංචි වැඩ කරලා දෙන එක තමයි.

කොටහලු ගෙදර සිරිමලීව නාවලා ගෙට ගත්තු හැටිත් ඉන් පස්සෙ නානාප්‍රකාර අමුත්තො ගෙදරට ආව හැටිත් ගේ මඩුවෙ පැත්තට වෙලා උන්නු අධිකාරම් කොල්ලට පෙනුනා. මොනා උනත් හැම තැනම බර අදින ගොනා අන්තිමට පැත්තකට වෙනවානේ. ඒ වගේ කන බොන වැඩ වලට වත් අධිකාරම් කොලුවට කවුරුත් කතා නොකලට සිරිමලීගේ අප්පච්චිට කළ ගුණ තිබුන නිසා කොල්ලව එක්කන් ගිහින් මිදුලෙ මඩුවෙ පැත්තක මේසයක් වටේට තිබුනු රට බීම ගොඩින් හොඳවයින් එකක් වක්කොරලා බොන්ට දුන්නා. දෙවැනි එක කටට වැටෙද්දි අදිකාරම් කොලුවා දොඩමලු උනේ මහ සද්දෙන්. 

කෑම වෙලාව ආවම අනික් අය එක්කම ගිහින් අධිකාරම් කොල්ලත් කෑම ගත්තා. කුකුළු මස්, ඌරු මස් සමග කහ බත්, පරිප්පු වගේම තව ව්‍යංජන හුඟක් කෑම මේසයේ තිබුනා. බීමත් අය බයිට් වර්ග කෑමට ගන්නා ගමනුත් බිව්වා. බත් බෙදන් ආව අදිකාරම් කොල්ලා තවත් රට බීම වීදුරුවක් වක් කරලා එක හුස්මට ඇදලා දාලා බත් කටවත් දෙක තුනක් ගිලලා වැනි වැනී ගිහින් පිගාන හෝදලා ඇවිල්ලා ආයෙම බේබදු කස්ටියක් එක්කලා වාඩි උනා.

මත වැඩි වෙද්දී එකේක කතා ඇදිල එනවනේ. බුදු හාංදුරුවොත් ආදීනව කිවුවෙ සුරාවෙ, නිකං කට කහනවට නෙමෙයි. ගමේ උන්නු දවස් පඩියට රියදුරු කං කරන ඇල්සන්ටත් අදිකාරම් එක්කලා තිබුනා පරණ කෝන්තරයක්. ඒ වචන වහෙං ඔරෝවට ඇල්සන්ගෙ කටිං එකින් එක එලියට එනකොට මහ වැස්ස පටන් අරන්.

---------------------------------------------------------------------------------------

ගමේ කෙලවර ගමටම කොස් බෙදුව මහ පතරංග කොස් ගහේ සරුසාරෙට කොස් පීදිලා තිබුනා. ඒ කොස් ගෙඩි අතර අතු වලට ගමටම සද්දෙ බෙදන්නැහේ ලවුස්පීකර කොහු ලණු අමුණලා සවියට ගහට බැඳල තිබුනා. ඒවායින් අපූරු වට සිංදු වාදනය උනා. පරණ සිංදු. ජෝතිපාල උන්නැහේගෙ සිංදු තමා හුඟක්ම. කැසට්ටු පටි නෙව තිවුනෙ ඒකාලෙ. අකුණු ගහමින් මහ වැහි වැටෙද්දී උනත් ඒ සද්දෙ අඩු නොවී ගමටම ඇහුනා. ඒ කොස් ගහ අසල මිදුලේ වෛර්ණ මඩුව යට ඇස්ටොං ගෙදර සිරි සිරික්කිය නතර වෙලා තිබුනා. හැමෝම තුෂ්නිම්භූත වෙලා උන්නා. පුංචි සිරිමාලි ගේ ඇස්ටෝන් ගෙදර කලඑලිය වැහි අඳුරින් යටපත් උනා. මිදුල පුරා වතුර ගලාගෙන ගිහින් මඩුව ඇතුලටත් ආවා.

මිදුලේ පොල් අතු වහපු ඇස්ටොං මඩුවේ ඔලුවෙන් ලේ පෙරාන අදිකාරම් ගැටලා වැටිලා උන්නා. අනෝරා වැස්සෙන් සැරසිලි පෙඟිලා දියවෙනවා. ගමේ පොලීසිය එනකං ගමේ උදවිය අනේ අපොයි කියමින් කම්බුල් වල අත් ගහගෙන උන්නා. ඇලිසන් අල්ලගන්න කියලා අනික් ගැටයෝ ටික කැලේ පීරමින් උන්නා. වැසි දිය ගලාගෙන මඩුව ඇතුලට ඇවිල්ලා බිම වැටිලා උන්නු අධිකාරම්ගේ ඔලුවෙන් ගලපු ලේ කැටි දිය කරගෙන ගලාන ගිහින් ඉස්සරහින් ඇලට වැටුනා. මිදුල රක්ත වර්ණ උනා. ගිගුරුම් සහිත වැසි වැටෙද්දී පුංචි සිරිමලී කඳුලු හලමින් කාමරයට වෙලා උන්නා. රුධිරය නිසා ඇරඹුනු කොටහළු මඟුල  රුධිරය නිසාම අවසන් වෙලා අවමඟුලකුත් උදා වෙලා තිබුනා.

කවුරුත් නොදන්නා කෝන්තරයකට තරුණ රියදුරු ඇලිසන් කුලීකරු අදිකාරම්ට පිහියෙන් ඇනලා ගමෙන් දුරකට පැනලා ගිහින් තිබුනා. 

--------------------------------------------------------------------------------------- 

සිරිමලීගෙ දූ විරාගි ලස්සනයි. සිරිමලීත් ඒ කාලේ මේ වගේම ලස්සන බව අදිකාරම්ට හිතුනා. එදා මැරුණ දා ඉඳන්ම අදිකාරම් උන්නැහේ සිරිමලීලගෙ ගේ අවට උන්නට කාටවත් දකින්ට බැරිඋනා. ගමේ සුසානයේ වැලලුනාට තමන්ගෙ පණ ඩිංග ගිය භූමිය අතහැරල යන්න බැරි මොකක්දෝ දෙයක් අධිකාරම්ගෙ හිතේ පැහැව්වා. කවදා හරි ඇස්ටන් ආවොත් ඇයි මාව මැරුවෙ කියල අහන්න දැඩි ඔන කමක් අධිකාරම්ට තිබුනා. කොච්චර පින් පැමුණුවත් කොච්චර ආත්ම පතාගෙන ආවත් අධිකාරම් සිරිමලීලගෙ වත්ත හතර මායිමෙන් පිටට ගියෙ නැහැ. හැබැයි ඔහු ඉන්නවා කියලා කවුරුත් දන්නෙත් නැහැ. දැකලත් නැහැ. ඔහු කාටවත් කරදරයක් කරලත් නැහැ.

කරුමය ඒක තමා. මැරිලත් හිතට නිවනක් නැහැ. දුව විරාගි ලස්සන ගවුමක් ඇඳලා. කවුදෝ දිග හොම්බක් එල්ලාගෙන කෙල්ලගෙ එකේක අතට එලි ගහනවා අධිකාරම් දැක්කා. ටිකකින් සංගීතයක් මහ හයියෙන් ඇහෙන්න ගත්තාම විරාගි ඒ වයසෙම කෙල්ලො ටිකක් එක්ක ඇවිල්ලා නටන්න ගත්තා. එදා වගේම මඩුවක නොව ගේ ඇතුලෙ කාමරයක වෙනම මධු සාදයක් නැගලා යනවා. ටයි කෝට් දාගත්තු කස්ටියක් ඒකෙ අනුමත වෙනවා. ටිකෙන් ටික සිනා හඩ පැතිරෙනවා. සාදය නැගලා යනවා. එතකොට ටයි පටි බුරුල් වෙනවා. මස් වර්ග කඩල වර්ග හතු බිම්මල් සමඟ බෝතල් මේසයට එනවා. කදිමෙට සාදය නැගලා යනවා. ඒ අස්සෙ එදා වගේම වැස්ස වැටෙනවා. ඒ වැස්ස අස්සේ කොහෙන්දෝ මාලිගාවක් වගේ වාහනයක් ඇවිල්ලා මිදුලෙ නතර වෙනවා.

ඒ වාහනෙන් බහින මිනිහා දැකලා අකුණු පහර වැදුනෙ ගෙදර මඩුවෙ පුටුවකට වෙලා උන්නු ගන්ධබ්බ අදිකාරම්ගෙ හිතට. වයසට ගිහිල්ලා උන්නු රියදුරු කවුරුත් නෙමෙයි ඇල්සන්. ඒ ආව ඇමතිතුමාගෙ රියදුරු වෙන කවුරුත් නෙමෙයි ඇල්සන්. මිනී මරලා නිදැල්ලෙ ඉන්න ඇල්සන්.

---------------------------------------------------------------------------------------

එදා සිරිමලීගෙ කොටහලුව දවසේ මහ වැසි වැටෙද්දි ඇල්සන්ගෙ ඇහැට පෙනුනෙ තමන්ගෙ හතුරා අධිකාරම්. වාදය ඇවිලෙද්දි ඇල්සන් ගහපු පා පහරින් ලී පුටු පෙරලාගෙන බිම වැටුනු අදිකාරම් කිසිත් හිතාගන්න බැරිව උනත් නැගිටලා බමන මතින්ම පුටුවක් උස්සලා ගැහුව පාර වැදුනෙ අරක්කු බෝතල් ගොඩ උඩට. වටේ ඉඳන් බීපු ගමේ ඈයෝ අනික් අයට අගක් මුලක් නෑ. බමන මතින් උන්නු අයවලුන් ගැටුම බේරන්න තරම් සිහියකින් හිටියෙ නැති නිසා රණ්ඩුව දරුණු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

තමන්ට වීරකම් පෙන්නන්නැහෙ අරක්කු බෝතල් ටිකත් බින්ද නිසාම කේන්තිය ඉවසගන්න බැරිව විසි වෙලා තිබුන පුටුව අරන් එක සැරේටම අදිකාරම්ගෙ ඔලු කට්ට පුපුරන්නම ගැහුව ඇල්සන්ට ඊට පස්සෙ සිහිවුනේ තමන් කරපු අපරාධයෙන් ගැලවෙන හැටි විතරයි.

බඩු මුට්ටු පෙරලාගෙන හනි හනික පිලිකන්නෙ තිබුනු දොරින් පිටවෙලා ගිහින් ජෝතිපාලගෙ සිංදු ඇහෙන කොස් ගහ යටින් කැලේ වැදිලා තමන්ව ලුහුබඳින මාර සේනාවෙන් සැඟවිලා ඉඳලා මහ රෑම හම්බන්තොට පැත්තට පිටත් උනා. පලාතෙ මන්තිරි කෙනෙක් ගාව වැඩට ගියපු ඇල්සන් මන්ත්‍රීගෙ හිත දිනාගෙන තමන් කවුද කින්ද මන්ද ආවෙ කිමද කාරනා එකින් එක කිව්වම මන්ත්‍රී ඇමති වෙලා ඉවරයි. බල්ලෙක් වගේ විස්වාස උනු තමන් වෙනුවෙන් සීයක් එක්ක උනත් හැප්පෙන ඇල්සන් රියදුරු කර ගත්තෙ ඒ විස්වාසෙටමයි. දෛවයේ හැටියට කතා ලියවෙනවනේ. අන්තිමට ලියන මහත්තයා උසස් උනේ මේ ඇමතිගෙ දෙපාර්තමේන්තුවෙ ලේකම් කෙනෙක් හැටියට.

ඉතින් ඇමති එන්නම එපැයි. ඇමතිත් එක්කම ඇල්සනුත් ආවා. ඇල්සන්ගෙ දෛවය ඇල්සන්ව අරන් ආවා. දැන් බිය පහවෙලා නිසා ගමේ කාටවත් ඔහුව අදුනන්න බැරි තරම්ම වෙනස් වෙලා නිසත් ඇල්සන් නොබියව නිහඩව ගමට ආවා. කර්මය ඔහුව අවුරුදු ගාණකට කලින් තමන් විසින් මිනිහෙක් මරපු ගෙදරටම ආපහු අරන් ඇවිල්ල. අඳුනගන්න බැරි තරම් වෙනස් වුනු සිරිමලීලගෙ ගෙදර තිබුන පරණ එකම දේ අර ගමටම කොස් බෙදන සිංදු ඇහෙන කොස් ගහ විතරයි.

කාටවල් ඇල්සන්ව අඳුනගන්න බැරි උනා. ඇල්සන්ට යන්තම් මතකයක් තිබුනත් ආව පැත්ත ගැන එච්චර සැලකිල්ලක් උනේ නෑ. ඒ කොහොම උනත් කවුරු නැතත් අදිකාරම් ගැටයා නං ඇල්සන්ව ඉතා හොඳින් අඳුනාගත්තා.

----------------------------------------------------------------------------------------------

කොටහලු මඟුලෙ මැරුණු අදිකාරම් ගමේ කාත් කවුරුත් නැති කෙනෙක් නිසා මරණය හරි ඉක්මණට කෙරුනා. සුරාවේ ආදීනව ගැන සුලු දේශනාවකින් පස්සෙත්, කාගෙත් අනේ අපොයියාව මැද ඔහු ගමේ සුසානෙ පස් යට තනි උනා. පැන ගිය ඇල්සන්ගේ හෝඩුවාවක් නොමැති තැන අසම්පූර්ණ ගොනුව පොලීසියේ රාක්කයක දිරාපත් උනා. පස් වලට යට කරපු  වෙන උන්ගෙ මිනී වලවල් වල දවස් හත තනි මකන්න කැරකෝප්පුවේ කල් ගෙවපු අදිකාරම්ගෙ මිනී වලට තනි රකින්නට බල්ලෙක්වත් උන්නෙ නැහැ. කලගුණ නොදන්නා ගමක අදිකාරම් ගන්ධබ්බයෙක් වෙලා තනි වුනා. හැමෝටම ඔහුව අමතක උනා. අදිකාරම් කෙනෙක් ඔවුන්ගෙ ගමේ උන්නෙ නැති තරමයි. ඉතින් අධිකාරම්ගේ මෘත කලේබරය පස් වලට මුහු වෙද්දී දිනෙන් දින ඔහුගේ බලාපොරොත්තු නං යසට වැඩුනා.

කවදාක හෝ මිනීමරුවා තමන්ට හමුවන විත්තිය!

ඉතිං ඇල්සන්ව දැක්ක එදා කවදාවත් නැතුව අදිකාරම්ට සතුටක් දැනුනා. හරියට ලොකු බරකින් නිදහස් උනා වගේ. තමන්ට දැනුනෙ තමන් කූඩුවෙන් නිදහස් කරපු ගිරා පෝතකයෙක් වගේ. ඉතින් සාදයෙන් සප්පායං උන ඇමතිතුමා පිටවෙද්දීම අධිකාරම් ඒ පස්සෙන් පාවෙලා ගිහින් වාහනයට නැඟුනා. ඇල්සන් උන්නැහේ යාලුවෙක් වගේ ඇමතිතුමා එක්ක කතා බස් කරමින් මාලිගාවක් වගේ වාහනයත්  පැදගෙන වේගයෙන් කොළඹ කරා ඇදුනා. රාත්‍රිය උදා උනා. ගාලුමුවදොර හිරු බැස යද්දී අධිකාරම්ද කැටුව ඇමතිතුමා සහ ඇල්සන් රියදුරු උන්නැහේ ඇමති නිල නිවාස වෙත ඇදෙමින් උන්නා.

--------------------------------------------------------------------------------

පසුදින පුවත්පත් වල පලවුනු පුවත් අතර තිබුනු පුවතක් සිරිමලීගේ ඇස ගැටුනා. කොටහලුවේ වෙහෙසින් උන්නු ඇය සියල්ල අස්පස් කර විඩා නිවන්නට තේ කෝප්පයක් හදාගෙන සැමියාගේ මේසය මත තිබුනු පුවත්පත රැගෙන සාලයට ආවා. කොටහලු දා හවස පටන් ගත්තු වැස්ස පායලා මිදුල තෙත්ව තිබුනා. සිය දියණිය සෙමෙන් සෙමෙන් පාඩම් පොතක ගී ගායනා කරන හඩ ඇයට ඇසුනා. ආලින්දයේ තිබුනු පුටුවේ අසුන් ගත් ඇය ටීපෝව මත තේ කොප්පය තබමින් පත්තරයට අවධානය යොමු කලා

"සංස්කෘතික ඇමතිගේ රියදුරු මරා දමලා. හිස්කබල අතුරුදහන්" එහි රියදුරුගේ ජායාරූපය එක්කම පුවත සඳහන් කරලා තිබුනා.

සංස්කෘතික ඇමතිගේ රියදුරු තැන රියදුරු නිල නිවසේදී ඝාතනය වී ඇති අතර ඔහුගේ හිස් කබල ගලවාගෙන ගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙලි උනා. හිස් කබලට සිදු වූ දෙයක් නොමැති බව පවසන පොලීසිය ඉදිරි පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවත් පවසා තිබුනා.

මේ ආකාරයට සඳහන්ව තිබුනු පුවත දැකල කලබල වුනු සිරිමලී නැගිටිද්දී ටීපෝව පෙරලී ගියා. කිරි තේ කෝප්පය ඉහිරී යද්දී කලබල වූ විරාගිත් වැඩට ඉන්නා කමලාත් දුවන් ආවා.

පත්තරය දෙසම පුදුමයෙන් බලා උන්නු සිරිමලීගේ මුවින් "දෙයියනේ ඇල්සන්" යන වචන දෙක අපූරුවට වාතලයට නික්මුනා!

------------------------------------------------------------

අදිකාරම් මැරුවා. ඇල්සනුත් වසර ගාණකට පස්සෙ මරලා දාලා. ඒත් කිසිවෙක් කිසිවකට හේතුවක් නොදන්නා කාරණා දෙකක්. ඒවා එකිනෙක ගැලපෙන්නෙ මන්ද කියා දන්නේ ඇල්සන්ම පමණයි. ඇල්සනුත් කාටවත් මතක නැති අදිකාරම් ගැටයාත් එකම ගමේ බව කාටවත්ම ගානක් උනෙ නැහැ. කාටවත්ම ගාණක් උනත් ඒ දෙක ගලපන්න හැකියාවකුත් නෑ. මරණ දෙක අතර කාල පරාසය විසාල එකක් නෙව. 

කාලය වේගයෙන් ගෙවෙද්දී ඇල්සන්ගේ මරණය පිලිබඳ නොවිසඳුනු පරීක්ෂණයේ ගොනුව ඇල්සන්ගේ ගමේ පොලීසියටම ලැබුනා. ඒ ගමේ පොලීසියේ රාක්කයක දූවිලි වැදිලා දිරාපත් වෙමින් තිවුන කලකට පෙර නොවිසඳුනු අදිකාරම්ගේ මරණය පිලිබඳ පරීක්ෂණ ගොනුවටම ඇල්සන්ගේ ගොනුවත් හේත්තු කෙරුනා. 


11 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඇල්සන්ගේ ඉරණම ඉදිරිපත් කර ඇති ආකාරය හොඳයි. එය කෙළින්ම අදිකාරම්ගේ ගිනුමට බැර නොකර අවිනිශ්චිතව තැබීම හොඳ අදහසක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා වෙනදා වගේම කමෙන්ටුවට!

      Delete
  2. අපුරුයි, වෙනස් කතාවක්.
    විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විජේබාහු සහෝදරයා

      Delete
  3. කතාව ලස්සනයි.

    ReplyDelete
  4. කථාවෙ එන කොස් ගහ සංඛේතාත්මකව අධිකාරම්ගේ ජීවීතය පෙන්නුම් කරනවාදැයි සිතුනා... මැරුණත් නොමැරුණත් කොස් ගහ වගේම මහගෙදර නොවෙනස් උන එකම් දේ අධිකාරම් විතරයි...නැත්නම් අධිකාරම්ගෙ අධිෂ්ඨානය....

    කථාවේ මූලික අරමුණ හොල්මන් ඇත්තටම තියෙනවා කියන එකද? අද්භූත බලවේග විශ්වාස නොකරන කෙනෙක්ට උනත් කථාවේ අවසානය දක්වා කියවන්න තරම් කුතුහලයක් ඉතිරි කරමින් කතාව ගලා ගෙන යනවා..
    ඉස්කෝලේ දී වෙන සිරිමලීගේ වෙනස් කම කථාවේ ප්‍රධාන තේමාවට එතරම් ම අදාල නොවුනත් එතැනට වැඩි බරක් දාලා ලියලා තියෙනවා කියලා හිතෙනවා..මොනා උනත් කථාවේ ආකෘතියත් , බසාවත් කියවන්නාව බැද තබා ගැනීමට තරම් ප්‍රබලයි.

    ReplyDelete
    Replies
    1. අද්භූත දේවල් තියෙනවාද යන්න මාධවටත් හැමදාම ගැටළුවක්

      කෙසේ උනත් ඇස්ටොං ගෙදරක ලද අත්දැකීම් කීපයක් සැබෑ ඒවා. ඒවා එකතු කරලා ලිව්ව කතාවක්!

      ඔබේ විචාරය හුඟක් අපූරුයි.
      ඇස්ටොං ගෙදරක නිමිත්ත ගැන ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප ඉස්මතු කරන්නත් උවමනාව තියනවා. තව කතාන්දරයකින් බලමු!!

      Delete
  5. හුම්. තවත් වෙනස් විදියෙ කතාවක්!

    සමහර සිදුවීම් තියෙකව තමා... පාරභෞතික සිදුවීම්ද කියල හිතෙන තරමේ පුදුම සිදුවීම්

    ReplyDelete
    Replies
    1. thank you සහෝදරයා ඔබගේ කමෙන්ටුවට

      Delete
Previous Post Next Post

Contact Form