ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකිණීම නොහොත් අලෙවිකරණය


  • නිශාන්ත කමලදාස

ඇස්කිමෝවරුන්ට ඒ අය ජීවත් වන රටේ දී ශීතකරණයක් ඔබට විකිණිය හැකි ද? එය නොහැකි බව ඔබ කියනු ඇත. එහෙත් ඔබ අලෙවිකරණයේ දක්ෂ නම් එය ද කළ හැකි යැයි පිළිගැනේ. ඒ සඳහා, අවශ්‍ය යැයි මිනිසුන් නොහඟින දේ සම්බන්ධයෙන්, අවශ්‍යතාවක් ඇති කිරීමට ඔබ දක්ෂ විය යුතු ය.

මිනිසුන් මිල දී ගන්නේ භාණ්ඩ හා සේවා ම නොවේ. ඒවායින් ඇති කරනු ලබන අත්දැකීම ය. මින්ට් රස ඇති ටොෆිය විකුණන්නේ උණුසුම් දවසක කටට ලැබෙන අයිස් සීතල සිහි ගන්වා ලන දැන්වීමක් හරහා ය. නිල් පැහැති හිම කැට රූපයට නගා ය. සමහර කෑම විකුණන්නේ ලැබෙන ෆන් එක ගැන මතක් කරලා ය. ඒ ෆන් එක ගන්නට නම් අහවල් දේ කන්නට ම වෙනවා ය. බීර විකුණන්නේ ලැබෙන ගැම්ම මතක් කරන සතෙකුගේ ගෙරවිල්ල ඉදිරිපත් කර ගෙන ය. අමෘතය බොන කෙනෙකු විඳින රසය සිහි ගන්වන සේයා රුවක් ඒ සමග අප ඉදිරියේ තැබෙන්නේ ය. දැන් නොබී බැරි ය.

ඒ අත්දැකීම පහසුවෙන් ගිලින්නට හැකි ලෙස සකසා ඉදිරිපත් කරන්නේ නම් ඔබට ජය නියත ය. දරුවන්ට පැණි බෙහෙත් දෙන්නේ ඒ සඳහා ය. දරුවන්ට පමණක් නොව වැඩිහිටියන් ද පැණි බේත් වලට තිත්ත කසාය වලට වඩා කැමති ය. ඒ නිසා භාණ්ඩය නිකම් ම නිකම් අමුවෙන් ඉදිරිපත් වන්නේ නැත. ඉදිරිපත් වන්නේ ඊට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සැරසිලි සහිත ය. ලස්සන දවටනයක දවටා නැතිනම් ලස්සන පෙට්ටියක අසුරලා ය.

තර්කානුකූල දත්ත හා තොරතුරු ඉදිරිපත් කළ පමණින් අලෙවිය සාර්ථක කර ගන්නට බැරි ය. ඒවා රඳන්නේ නැතිව ලිස්සා යෑමට ඇති ඉඩ වැඩි ය. දත්ත තොරතුරු තර්ක අදාළ උඩු සිතට ය. උඩු සිත අලස ය. කම්මැලි ය. එහි ක්‍රියාකාරිත්වය සඳහා අපේ සක්‍රීය මැදිහත් වීමක් අවශ්‍ය ය. ඒ සඳහා අප මහන්සිය විය යුතු ය. සිතිය යුතු ය. ඇත්තට ම අලෙවිකරණයේ දී අවධානය යොමු කරන්නේ උඩු සිතට නොවේ, යටි සිතට ය. හැඟීම් භාවමය සිතුවිලි විඳීම් සියල්ල දැනෙන යටි සිතට ය. හිතන්නේ නැතිව තීරණ ගන්නා බහුතරයක් මිනිසුන්ට ආමන්ත්‍රණය කළ යුත්තේ ඒ ආකාරයට ය.

අප මිල දී ගන්නේ තර්කානුකූල ව විමසීමකින් පසු නොවේ. අපේ යටි සිත විසින් මෙහෙය වීමෙනි. ඒ නිසා අපට අවශ්‍ය දෑ මෙන් ම එසේ නොවන දෑ ද අපි මිලට ගන්නෙමු. අප කීකරු වන්නේ අපේ යටි සිතට ආමන්ත්‍රණය කළ හැකි මිනිසුන්ට ය. හැඟීම් ඇවිස්සිය හැකි අයට ය. අපේ භාවයන් කූද්දා අපට ආතල් දිය හැකි අයට ය.

තර්කය යොදා ගන්නේ අපේ යටි සිත විසින් ගත් තීරණය සනාථ කරනු පිණිස පමණ ය. ඒ නිසා ම අප සොයන්නේ එසේ සනාථ කළ හැකි කරුණු පමණ ය. එවැනි තර්ක පමණ ය. ඉතිරි සියල්ල අපි මග හැර යමු. ඒවා නොදුටු නොඇසූ සේ හැසිරෙමු. ඒ නිසා ම අප තර්ක කර තීරණ ගන්නේ යැයි සිතු ව ද එය එසේ වන්නේ නැත.

මේ බව තේරුම් ගත හැකි නම් අපට සිතාමතා ම මෙයින් ගැලවීමේ ඉඩක් ලැබේ. එහෙත් බොහෝ දෙනෙකු මේ කාරණය දන්නේ නැත. ඔවුන් හිතන්නේ ඔවුන් තර්කානුකූල ව කරුණු සලකා බලා සොයා බලා තමන් තීරණයන්ට එළඹි බව ය.

භාණ්ඩයක් මිල දී ගැනීමක දී පමණක් නොව අප‌ බොහෝ තීරණ ගනිද්දී ද වැඩි බරක් දෙන්නේ යටි හිතට ය. අපේ සහකරුවා නැත්නම් සහකාරිය ගැන අවසන් තීන්දුව ගන්නා විවාහයේ දී ද අපේ පාලකයා කවරෙක් දැයි තීරණය කරන මැතිවරණයක දී ද සිදු වන්නේ ද මෙය ම ය.

දැනට වසර 18කට පොරොතුව පැවති 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අපේ යටි සිතට බලපෑවේ කෙසේ ද? මහින්ද රාජපක්ෂ ජාතික ඇඳුමින් සැරසී වෙල් යායක පසුබිමේ සිට තමන්ගේ ජනාධිපතිවරණ පණිවුඩය මුදා හරින විට රනිල් වික්‍රමසිංහ සුද්දාගේ ටයිකෝට් ඇඳ ටයිල් ඇතිරූ මන්දිරයක සුවපහසු පුටුවක වාඩි වී තම පණිවුඩය කියා සිටියේ ය.

කැපුවත් කොළ හෝ කැපුවත් නිල් කියන අය හැරුණු කොට සෙසු අයට, පාවෙන තීරණාත්මක ඡන්ද ගොඩට, මේ පණිවුඩ දෙක දැනුණේ කෙසේ ද? පණිවුඩ දෙක ම කරුණු සලකා බැලුවොත් එක ම ය. එවකට ඡන්දයේ තීරණාත්මක සාධකය වී තිබුණේ යුද්ධය ය. ඊටත් ඒ සඳහා පිළිගත හැකි විසඳුම ලෙස ජනප්‍රිය ව තිබුණේ දේශපාලන විසඳුමක් හරහා මේ යුද්ධය නතර කිරීම ය. රනිල් ඒ වන විටත් සාම ගිවිසුමක් ක්‍රියාත්මක කර තිබුණු අතර මහින්ද කීවේ උතුරට ගොස් ප්‍රභාකරන් සමග කැවුම් කා යුද්ධයට තිත තබන බව ය. දෙන්නා ම කියා සිටියේ තමන් සුදු පරෙවියන් බව ය.

ජනාධිපතිවරණය අවසන් වන විට ගමේ ඡන්ද බහුතරයක් මහින්දටත් නගරයේ බහුතරය රනිල්ටත් ලැබී තිබුණේ ය. ගමට දැනුණේ, ගමේ මිනිසුන්ගේ යටි සිතට දැනුණේ, මහින්ද තමන් සමීප බවකි. නගරයට වඩා සමීප වූයේ රනිල් ය. මහින්ද මාමා වන විට රනිල් අන්කල් වී තිබුණේ ය. ඉතිරි තර්ක සියල්ල ගොඩ නැගුණේ මේ යටි සිතේ තිබූ මනාපය සනාථ කිරීමට පමණ ය. තර්කයට වැදගත් කමක් තිබුණේ දෙවැනි පෙල ට ය. එය ද්විතීයක විය.

ජාතික ඇඳුමින් සැරසුණු මාගම් පත්තුවේ ගැමියාට 2015 ජනාධිපතිවරණය තුළ මුණ ගැහුනේ ජාතික ඇඳුමින් ම සැරසුණු පුලස්ති පුර ගොවියෙකුගේ පුතෙකි. පළමුවැන්නාගේ නම මෙරටට බුදු දහම ගෙනා මිහිඳු හිමියන් සිහිපත් කළ නමුත් දෙවැන්නාගේ නම මතු බුදු වන මෛත්‍රී බුදුන්ගේ නාමය ම, බුදුන්ගේ මූලික ශික්ෂාවක් වූ මෛත්‍රියේ ම, නාමය වූයේ ය. මෛත්‍රී ට විරුද්ධ අය මේ නමේ ප්‍රබලත්වය දැන සිටි අතර මෛත්‍රී යුගයක් බිහි කිරීමේ සටන් පාඨයේ හයිය ද දැන සිටියෝ ය. ඒ නිසා ඔවුන් කළේ මෛත්‍රී යන නම වෙනුවට සිරිසේන – අයියෝ සිරිසේන – එලිය ට ගැනීම ය. මේ යටි හිතට අමතන අලෙවි කරණයේ අතිශය ප්‍රබල උදාහරණයක් ලෙස සැලකිය හැකි ය. අන්තිමේ දී යුද්ධය ජය ගෙන රට බේරා ගත් විරුවා පැරදුනේ ය. ඒ තමන් යටතේ තමන් සිදු කළ සියල්ලට අත උස්සා සහය දැක් වූ තමන්ගේ ම පක්ෂයේ ලේකම්ට ය. මෛත්‍රී ට ය. ඒ මෛත්‍රීය විසින් ලබා ගත් ඡන්ද වලට අමතරව ඒ පිටුපස සිටි ටයිකෝට් ඡන්ද ද ගෙන ගොඩ බේරා ගෙන ය.

අප මෙයින් තේරුම් ගත යුතු වැදගත් ම කාරණය නම් අලෙවි කරණයේ දී තර්කය ද්විතීයක බව හා හදවතට ආමන්ත්‍රණය කිරීමේ, භාවයන්ට ආමන්ත්‍රණය කිරීමේ, ඇති තීරණාත්මක බව ය. අනෙක් අතට අලෙවිකරණයේ විජ්ජාවන්ට අසු නොවී බේරීමට නම් භාවයන් යටපත් කර ගෙන කරුණු සංඛ්‍යාලේඛන විමසීමේ වැදගත් කම ය.

Leave a comment