දැනුම කළමනාකරණ ක්‍රියාවලියේ මර්මස්ථාන


  • නිශාන්ත කමලදාස

දැනුම කළමනාකරණය ගැන මිට පෙර සටහන් කිහිපයකින් ම සාකච්ඡා කර ඇත්තෙමු. මේ එහි තවත් පැති කඩක් ගැන ය. දැනුම සැකසෙන්නේ දත්ත හා තොරතුරු ආශ්‍රයෙනි. දත්ත අමු ය. එය සකසා ගත් විට තොරතුරක් වෙයි. දැනුම තොරතුරු අර්ථ නිරූපනයෙන් ලබන්නකි.

අද බිත්තර මිල යනු අමු දත්තයකි. ඒ අමු දත්තය පවා නිවැරදි ව ලබා ගත හැක්කේ ගැලපෙන නිධියක්, ප්‍රමාණවත් නිධියක්, භාවිතා කිරීමෙනි. බිත්තර නිෂ්පාදන මාදිලිය අනුව ද සැකසුම අනුව ද ඇතැම් විට කටුවේ වර්ණය අනුව ද කහ මදයේ පාට අනුව ද වෙනස් විය හැකි ය. ගන්නා කඩය අනුව ද වෙනස් විය හැකි ය. අපට අදාළ කුමන බිත්තරයක මිල ද යැයි අප හරි හැටි තෝරා ගත යුතු ය. ළඟ ම කඩයෙන් බිත්තර ගන්නේ නම් මට අදාළ ඒ කඩයේ මිල ය. තැන් කීපයකින් මිල දී ගන්නවා නම් එහි සාමාන්‍ය ය. ඒ අනුව දත්ත එක් රැස් කර ගැනීමට අදාළ නිධිය අප තෝරා ගත යුතු ය.

එම මිල වසර තුළ උච්ඡාවචනය වීම ප්‍රස්ථාර ගත කිරීමෙන් අපට තොරතුරක් ලැබේ. එය අර්ථ නිරූපනය කළ විට අපට පෙනෙන්නේ යම් නිශ්චිත සාධක මත බිත්තර මිල තීරණය වෙන බව ය. ඊට බිත්තර ආනයනය, කුකුළු කෑම ආනයනය හා මිල, උත්සව සමයේ ඉල්ලුම යන කරුණු රාශියක් බලපාන බව අපට පෙනේ. ඒ තොරතුරු අර්ථ නිරූපනයෙන් අප ලද දැනුම ය.

අපට ප්‍රයෝජනවත් වනුයේ ඒ දැනුම ය. දත්ත හා තොරතුරු නොවේ. එහෙත් දත්ත හා තොරතුරු නැතිව ඒ දැනුම ලබා ගත නොහැකි ය.

අප කළ යුත්තේ අපේ ප්‍රසම්පාදනයේ දී මේ දැනුම භාවිතයට ගැනුමට ය. බිත්තර මිල අවම වන කාලයේ දී ඒවා ඊට වඩා මිල අධික ප්‍රෝටීන් අහාර වලට ආදේශයක ලෙස භාවිතා කිරීමේ තීරණයට අප එළඹෙන්නේ නැත්නම් මේ දැනුමෙන් වැඩක් නැත. භාවිතයට නොගන්නා දැනුම දැනුමක් නොවන්නේ ඒ අර්ථයෙනි.

උච්ඡාවචනයන් ඇතැම් අවස්ථාවල සිදු වන්නේ චක්‍රිය ලෙස ය. අවාරයට මිල ඉහළ යන පලතුරු වගේ ය. පලතුරු වල නොවෙතත් සමහර දෑ උච්ඡාවචනයන් සිදු වන්නේ වසර පදනම් කර ගෙන නොවේ. ඇතැම් විට සතිය පදනම් කර ගෙන ය. සතියේ මුල් දින සඳුදා උදයේ පාරේ වාහන තදබදය වැඩි ය. එය නැවතත් උත්සන්න වන්නේ සතියේ අගට ය.

වාහන තදබදය මාසික ව ද වෙනස් වේ. ඒ පාසල් නිවාඩුව පදනම් කර ගෙන ය. මාසික ව වෙනස් වන තවත් දෙයක් නම් මිනිසුන්ගේ අන්තර්ජාල භාවිතය ය. මාසයේ අගට ඩේටා නොමැති නිසා එය අවම වේ.

සමහර අවස්ථාවල උච්ඡාවචන සිදු වන්නේ කාලගුණය පදනම් කර ගෙන ය. සමහර අවස්ථාවල ලෝක වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම පදනම් කර ගෙන ය.

තොරතුරු පදනම් කර ගෙන දැනුම නිපදවන්නන්, තොරතුරු අර්ථ නිරූපනය කරන්නන්, මේ තත්ව යන්ට සංවේදී විය යුතු ය. ඒ පිළිබඳ දැනුම ඇත්තන් විය යුතු ය. පුංචි තොරතුරු පමණක් නොව ඒ තොරතුරු සම්බන්ධ ලොකු පින්තූරය ද දැකිය හැකි අය විය යුතු ය.

සමාජ මාධ්‍ය වල සිදු වන සංවාද දෙස බලන විට නම් පෙනී යන්නේ මිනිසුන් අතට අසු වන ඔ්නෑ ම දත්තයක් තමන්ගේ මතය සනාථ කරනු පිණිස යොදා ගන්නා බව ය. ඒත් කළමනාකරුවෙකුට එසේ කරන්නට බැරි ය. විශේෂයෙන් තමන් තීරණ ගන්නා විට අතට අසු වන ඔ්නෑ ම අමු දත්තයක් භාවිතා කළ නොහැකි ය. මක් නිසා ද යත් තීරණයේ වගකීම ඔහු වෙත පැවරෙන නිසා ය. ඒ නිසා ම දැනුම කළමනාකරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ඔහු හෝ ඇය සතු ව තිබිය යුතු ය.

ඇතැම් තීරණ සඳහා දින කීපයක දත්ත පිරික්සා මදි ය. සතියක දත්ත අවශ්‍ය ය. තවත් තැනක සතියක දත්ත මදි ය. මාසයක දත්ත අවශ්‍ය ය. සමහර විට මාසයක නොව වසරක දත්ත අවශ්‍ය ය. ඇතැම් තැනක වසර ගණනාවක දත්ත අවශ්‍ය ය. ඒ තේරුමක් සහිත තොරතුරු සම්පාදනය සඳහා ය.

කාල පරාසය විශාල වන විට උච්ඡාවචනයන් පිළිබඳ පමණක් නොව දිගින් දිගට වැඩිවන නැඹුරුවක් ද මේ උච්ඡාවචනයන් අතරේ අපට දැක ගත හැකි ය. ඒ නිසා ම ප්‍රමාණාත්මක කාල වකවානුවක දත්ත පිරික්සා බැලීම අවශ්‍ය ය. ඒ ප්‍රමාණවත් නිධියක් ලබා ගැනීමට අමතර වශයෙනි.

අමු දත්ත වලින් සෑහීමකට පත් වෙන අයට අනුව ලොව අපරාධ වැඩි වී ඇත. එහෙත් දිගු කාල පරාසයක දත්ත විමසද්දී පෙනී යන කාරණය නම් අපරාධ වල අඩු වන ප්‍රවණතාවක් ලොව පුරා ම ඇති බව ය. අධ්‍යාපනය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වල කාර්යක්ෂමතාව පමණක් නොව තාක්ෂණයේ දියුණුව ද (cctv කැමරා) මේ සඳහා බලපාන්නට ඇත. මේ පිටුපස ඇති සැබෑ සාධක සෙවිය හැක්කේ අපේ මේ අනුමාන මත පදනම් ව ගොඩ නගන කල්පිත දත්ත භාවිතයෙන් පරීක්ෂාවට ලක් කිරීමෙන් පමණකි.

දැනුම කළමනාකරණය කරන අය දැන ගත යුතු අනෙක් දෙය වන්නේ දැනුම කල් ඉකුත් වන බව ය. ඒ නිසා ම පවතින දැනුමේ වලංගු භාවය පරීක්ෂා කිරීම දිගින් දිගට සිදු විය යුතු බව ය. ඒ සඳහා ද දිගින් දිගට දත්ත රැස් කිරීමේ නියැලී සිටිය යුතු බව ය.

දැනුම කළමනාකරුවන් මුහුණ දෙන ඊළඟ ගැටලුව වනුයේ එක් රටක, එක් ආයතනයක, එක සන්දර්භයක නිපදවන ලද දැනුම වෙනත් රටක, වෙනත් ආයතනයක, වෙනත් සන්දර්භයක් තුළ ද වලංගු ද යන්න ය. මේ නිසා ම එසේ ලබා ගන්නා දැනුම නව තත්ව යන්ට අනුරූප ව නැවත සකස් කිරීමට ඔවුන් වග බලා ගත යුතු ය. ඒ අතර ම එසේ ලබා ගත් හා සකස් කර ගත් දැනුමේ වලංගුතාව ද දත්ත එක් රැස් කරමින් යළි යළිත් සනාථ කර ගත යුතු ය.

මේ හේතු නිසා දැනුම කළමනාකරණය එක් වරක් කර සෑහීමකට පත් වීමට නොහැකි, නිරන්තරයෙන් පවත්වා ගෙන යා යුතු, ක්‍රියාවලියක් බව ඔබට තේරුම් යනවා ඇත. දැනුම කියන්නේ මුදල් යයි කියන විට එයින් අදහස් වන්නේ අප ඒ මත ගන්නා තීරණ නිසා අපට වාසි හෝ අවාසි අත් වන බව ය. අප නිවැරදි දැයි නිතර පරීක්ෂා කරන මීටරයක් දැනුම කළමනාකරණය හරහා අපට ලැබෙන බව ය. ඒ නිසා ම ඒ ගැන බර තැබිය යුතු බව ය.

One thought on “දැනුම කළමනාකරණ ක්‍රියාවලියේ මර්මස්ථාන

  1. ඉතා හොද ලිපියක්…සමහර අය දත්ත එකතු කරනවා විතරයි…ඒ දත්ත විශ්ලේශණය කරලා අවශ්‍ය තීරණ වලට එලඹීමත් …ඒ තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාවෙත් අඩුපාඩු ගොඩක් තියෙනවා…ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැඩ ගැහිලා තියෙන්නෙ මේ වගේ විශ්ලේශණාත්මකව හිතලා මතලා තීරණ ගන්න පුරුදු කරන ක්‍රමයක නෙවෙයි.

Leave a comment