දැඩි නීති රීති හා තහංචි


  • නිශාන්ත කමලදාස

බොහෝ ආයතන වල අහවල් වැඩ කළ නොහැකිය යන්න සඳහන් කරමින් නීති පනවා තිබේ. ඒවාට සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ තහංචි කියා ය. ඇඳුම්-පැලඳුම් සම්බන්ධයෙන් ද ඇවැතුම් පැවතුම් සම්බන්ධයෙන් ද මේ නීති නැත්නම් තහංචි බල පවත්වන්නේ ය. අහවල් ඇඳුම් ඇඳිය නොහැකි ය. අහවල් ඇඳුම් පමණක් ඇඳිය යුතු ය යන ආකාරයට මේවා විවිධ ස්වරූප ගන්නේ ය. මේ සම්බන්ධයෙන් දැඩි පාලනයක් ඇත්තේ පාසල පන්සල පල්ලිය යන ස්ථාන වල වුව ද ඇතැම් ආයතන ද මෙසේ දැඩි විනයකට යටත් කරන්නට ඇතැම් කළමනාකරුවන් වග බලා ගෙන ඇත.

අප මළ ගෙදරකට පාට ඇඳුම් සාමාන්‍යයෙන් අඳින්නේ නැත. මඟුල් ගෙදරකට රබර් සෙරෙප්පු දමා ගොඩ වදින්නේ නැත. ඒ අපට සාමාන්‍ය දැනුමක් තිබෙන නිසා ය. ඒ සාමාන්‍ය දැනුම කියන්නේ අප යන තැනට අප ගරු කළ යුතු බව ය. ගරු කරන බව ය. එතැනට පැමිණෙන අයට ද එතැන සිටින අයට ද අප සංවේදී බව ය. ඒ නිසා ම ඒ පිළිබඳ ව අමතරව නීති පැනවීමක් අවශ්‍ය කරන්නේ නැත.

එසේ තිබිය දී මෙවන් තහංචි දැමීමකට නීති පැනවීමකට කළමනාකරුවන් යොමු වන්නේ මන් ද? බොහෝ දෙනෙකුගේ උත්තරය වනු ඇත්තේ අතරින් පතර මේ සහජ බුද්ධිය නැති අසංවේදී මිනිසුන් සිටිය හැකි බව ය. ඒ නිසා එවැනි තහංචි පැනවීමේ ප්‍රශ්නයක් නැති බව ය.

කලාතුරකින් කරන එවැනි දෙයක් වෙනුවෙන් නීති පැනවීම අවශ්‍ය වේ ද? එවැනි හදිසි අහම්බයකින් ඇති වන බලපෑම කුමක් ද? එවැන්නක් සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් විකල්ප ක්‍රමයක් නැද්ද? කළ යුත්තේ මිනිසුන්ට වඩා සංවේදී වන්නට අවශ්‍ය අධ්‍යාපනයක් සැපයීම නොවන්නේ ද? මෙවැනි ප්‍රශ්න රාශියක් අපට පෙරලා මතු කළ හැකි ය.

එවැනි නීති පැනවීමකින් ඇඟවෙන්නේ කිසියම් සාධාරණ හේතුවක් නිසා අහම්බයෙන් වත් මේ නීතියෙන් පිට පැනිය නොහැකි බව ය. එක කකුලක තුවාලයක් සෑදීම නිසා සපත්තු පැලඳීමට නොහැකි වූ විට එහි සෙරෙප්පුවක් ද අනෙක් කකුලේ සපත්තුවක් ද පැලඳ පාසල් යෑමට කුඩා කල අපට සිදු වූයේ මේ හේතුව නිසා ය. එසේ පනවන නීති, සියල්ලට ම වඩා විහිළුවක් බවට පත් විය හැක්කේ ඒ අයුරින් ය.

ඊට අමතර ව කිසියම් වෙනත් වැඩ රාජකාරියකට යෑමට ඇඳ පැලඳ සිටින නිසා මෙවැනි නීති ඇති තැනකට යෑමට නොහැකි ව අසරණ වන මිනිසුන් ද මේ නිසා ඇති වන්නේ ය. පාසලට සාරි ඇඳ ගෙන මිසක ඇතුළු විය නොහැකි යැයි පනවා ඇති නීතියක් නිසා ඒ පාසලට යෑමට වෙනත් නිල ඇඳුමක් ඇඳි මවකට හැකි වන්නේ නැත. මේ නීති තුළ ව්‍යාතිරේක වලට ඉඩක් නැත. නීති ක්‍රියාත්මක කිරීමට බොහෝ තැනක ඉන්නේ ඒ නීති පැන වූයේ කුමකට දැයි කියා පවා නොදන්නා අය නිසා ය.

මේ නීති අනෙක් අතට මිනිසුන්ට දෙන පණිවුඩය නම් “නුඹළා මෙසේ නීතියෙන් ආණ්ඩු මට්ටු කිරීමට තරම් නොමේරුණු ළදරුවන්” බව ය. මෝඩ මිනිසුන් බව ය. මෙසේ නීති පනවන්නට සිදු ව ඇත්තේ ඒ නිසා බව ය. එහෙත් ප්‍රශ්නය නම් මෙවැනි නීති නිසා මෝඩ බවට ඇතැම් විට පත් වන්නේ නීති පැන වූ අය ම ය. පහත කතාව ඊට දෙස් දෙයි.

මහදැනමුත්තා ඒ කාලයේ මෝස්තරයට අනුව පනාවක් හිසේ පැලඳ ගෙන සිටියේ ය. දවසක් සිය ගෝලයන් සමග දුර ගමනක් යද්දී මහදැනමුත්තාගේ පනාව වැටුනේ ය. ඒ ගැන මුත්තාට දැනුනේ වැටුණු තැනින් බොහෝ දුර ගිය පසු ය. මුත්තා සිය ගෝලයන්ගෙන් ඇසුවේ පනාව වැටෙනවා ඔවුන් දුටුවේ දැයි කියා ය. පස් දෙනා ම පනාව වැටෙනු දැක තිබුණේ ය. ඉන් කෝපයට පත් මහදැනමුත්තා ඇසුවේ කවර හෙයින් එය අහුලා නොගත්තේ ද කියා ය. එවිට හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබුණේ පොතේ එහෙම නීතියක් ලියා නැති බව ය. මහදැනමුත්තා පොත ඉල්ලා ගෙන අලුත් නීතියක් එකතු කළේ ය. ඒ පනාව වැටුනොත් ඇහ‍ිලිය යුතු බව ය. ‌මේ කතාව මතකයට ආවේ එක් පන්සලක මෙවැනි තහංචි පනවමින් ගසා තිබුණු දැන්වීම් පුවරුවක් මතක් වීමෙනි. එහි තහංචි දහයක් පමණ ඇතුළත් විය. කොට ඇඳුම්, අඩ ඇඳුම්, තද ඇඳුම් ඇඳිය නොයුතු බව ද අව් කණ්ණාඩි නොපැලඳිය යුතු බව ද පාවහන් හා හිස් වැසුම් පැලඳ නොසිටිය යුතු බව ද රංචු ගැසීමෙන් වැළකිය යුතු බව ද පෙම් බස් නොදෙඩිය යුතු බව ද මුත්‍රා නොකළ යුතු බව ද බුලත් කෙළ ගැසීමෙන් වැළකිය යුතු බව ද පන්සල් භූමිය තුළ කුණු කසල නොදැමිය යුතු බව ද වශයෙන් දිග ලයිස්තුවක් ඊට ඇතුළත් කර තිබුණේ ය. බුලත් කෙළ මිස නිකම් කෙළ ගැන එහි සඳහන් ව තිබුණේ නැත. පෙම් බස් දෙඩීම ගැන මිස පෙම් කිරීම ගැන සඳහන් ව තිබුණේ නැත. දැන් මහදැනමුත්තාගේ ගෝලයින් මේ පන්සලට ගොඩ වැදුනොත් කුමක් කරනු ඇද්දැයි ඔබ සිතා බලන්න. තහංචි පනවා මෙසේ දී ඇත්තේ සෙසු සියල්ල කිරීමට අවසර පත්‍රයක් නොවේ ද?

ඔබ මිනිසුන් මෝඩයන් හැටියට සලකා කටයුතු කළ විට සිදු වන්නේ ඔවුන් ද මෝඩයන් බවට පත් ව රඟපෑමක නිරත වීම ය. අන්දරේට ගොනා වගේ සිටින්නට යැයි කියා අන්දරේගේ අම්මා කර ගත් අකරතැබ්බයට මුහුණ දීමට ය. ඒ නිසා කළමනාකරුවන් කළ යුත්තේ මිනිසුන්ට විස්තරාත්මක නීති පැනවීම නොව මනා හැසිරීමක ලක්ෂණ පිළිබඳ ව අධ්‍යාපනයක් දීම ය. පන්සලකට නම් ගමේ අය සමග ධර්ම දේශනාවක දී මේ ගැන සංවාදයකට යා හැකි ය. පාසලක පන්ති කාමරයේ දී ඒත් නැත්නම් උදෑසන රැස්වීමක දී මේ ගැන සාකච්ඡා කළ හැකි ය.

අප කළ යුත්තේ අපේ භූමි ප්‍රදේශය තුළ ගෞරවය ආරක්ෂා කර ගැනීමට උත්සුක වීමට අප ව ලඝු කර ගැනීමෙන් නතර වීම නොවේ. පොදුවේ හැසිරීම පිළිබඳ ව සංවේදී වන්නට මිනිසුන් යොමු කිරීම ය. බුලත් කෙළ නොගැසිය යුත්තේ පන්සලේ පමණක් නොවේ. තමන් යනෙන මහ පාරේ ද එය නොකළ යුතු ය. කුණු කසල දමා අපවිත්‍ර නොකළ යුත්තේ පන්සල් භූමිය පමණක් නොවේ. යන එන කිසි ම තැනක අප විසින් එසේ නොකළ යුතු ය. රටේ කිසි ම තැනක එසේ නොකළ යුතු ය. පන්සලට හා පාසලට මේ සම්බන්ධයෙන් මුල් විය හැකි ය. ඒ නීති පැනවීම වෙනුවට නිසි අධ්‍යාපනයක් සැලසීමෙන් ය.

එහෙත් එය සිදු නොවේ. හේතුව බොහෝ විට මේ නීති භාවිතා වන්නේ කළමනාකරුවන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට නිසා ය. විදුහල්පතිගේ, පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නැත්නම් දායක සභාවේ ලොකු කම පෙන්වීමට නිසා ය. නීති පැනවීම නිසා ම නීතිය කඩ කළ කෙනෙකුට හිතේ හැටියට දෝෂාරෝපණය කිරීමේ අවස්ථාවක් කළමනාකරුවන්ට ඒ හරහා ලැබෙන නිසා ය. ඒ ඇරෙන්නට පනවන මෙවැනි දැඩි නිශ්චිත නීති වලින් සිදු වන යහපතක් නම් නැත.

One thought on “දැඩි නීති රීති හා තහංචි

  1. ලංකාවේ අපි කුඩා කාලයේ ඉදන් හැදෙන්නෙ දඩුවමට ඇති බිය නිසා මිසක් අවබෝධයෙන් නෙමෙ….ඒ නිසාම අපි හැමෝම බලය ඇති තැනට කොන්ද නමන්න පුරුදු වෙලා…ඒ වගේම තමන්ගේ වපසරිය තුල තමන්ගෙ බලය පෙන්වන්න අර බල්ලා කකුල් උස්සල චූ කරනවා වගේ තමන්ගේ බලය පල්ලෙහ අයට පෙන්වන්න ඔය වගේ වැඩ කරනවා..

    – Mayya

    -https://maiyyagelokaya.blogspot.com/

Leave a comment