Saturday, January 6, 2024

232. Face Book Market Place (ශනිදා දහයට)


මම හැමදාම කිව්වා වාගේම අපි ගල් ලෑල්ලේ ගල්කූරෙන් ලිවීම ඇරඹූ පරපුරක් වූවෙමු. ඉතිං ඒ නිසාම අපි ලියන කථා පටං ගන්නේම දශක තුන හතරකට කලින් ඉඳන්!

ඒ කාලේ පත්තරවල තිබුන ලුහුඩු දැන්වීම් කියලා පිටුවක් දෙකක්. දිනමිණේ පිටුවකට හමාරකට සීමා වුවත් සිළුමිණේ පිටු දෙක තුනක්ම තිබ්බා. "මනාලයෝ", "මනාලියෝ", "වතුපිටි ඉඩකඩම්", "ගව ආදී මහීෂාදී සතුන්", "තුවක්කු සහ පතරොම්" මේ ආදී වශයෙන් වෙනස් වෙනස් මාදිළියේ කාණ්ඩ යටතේ ඒවා ගොනු කොට තිබුනා. ඊට අමතරව "රසායන විද්‍යාව", "භෞතික විද්‍යාව", "කරාටේ", මල්ලව පොර" වැනි දේවලුත් අතරින් පතරින් තිබුනා.

ඒ කාලේ අද වාගේ "තුනේ ශ්‍රේණියේ පරිසරය පංතිය" , "හතරේ ශ්‍රේණියට ශිෂ්‍යත්ව පංතිය" වාගේ කුලෑටි පංති තිබ්බේ නෑ. පත්තරේ දිගේලි කරපු ටියුෂන් පංති තිබුනේ උසස් පෙල පංතියට පමණයි. රසායන විද්‍යාව - රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න, භෞතික විද්‍යාව - සේනාරත්න, සත්ව විද්‍යාව - නෝනිස්, ඔන්න ඔය වාගේ; හිමාලි - කිරිබත්ගොඩ, ජීවනී - අලව්ව, නැෂනල් - මහරගම, ලිච්ඡවී - අලුත්ගම වාගේ ගහට පොත්ත වාගේ එකට ඇලුනු නම් පේලියක් තිබුනා.

 කරාටේ ඉගැන්නුවේ ජී.ඒ.ටී. ලිවේරා. පසුව එම්.බී.ඩී සිල්වාත් ඒතැනටම ආවා. ඔය අතරේ "ශ්‍රීමත් මදන මෝදකය", "හැරියට් ඊ ජයසේකරගේ නාසානන්ද තෛලය" වගෙ ඒවාත් මෙතැන ලිවිය හැකි සහ නොහැකි තව තව දේවලුත් මේ ලුහුඩු දැන්වීම් අතරේ තිබුනා. පත්තර දැන්වීම් ගැන වෙනමම දවසක කථා කරමු! 

මේ විදියට වැඩි වෙනසක් නොවී ගලාගෙන ගිය දැන්වීම් කර්මාන්තය එක වරම උඩු යටි කුරු වූයේ "ලංකාදීප" පත්ත්‍ර "ලහිපිට" පටං ගැනුමත් සමග! අදටත් එය කිසියම් සාර්ථකත්වයකින් පසුවෙයි.

පුවත් පත් දැන්වීම් කර්මාන්තයට කණ කොකා ඇඬලුවේ "ikman.lk" පටන් ගැනීමත් එක්ක කියලයි මටනම් හිතෙන්නේ. ඒත් අදටත් පත්තර වල ලුහුඩු දැන්වීම් වල ජනප්‍රියත්වය ඒතරම් පහත බැහැලා නෑ කියලත් හිතෙනවා ඒවායේ තියෙන දැණ්වීම් ප්‍රමාණය දැක්කාම නම්! 

ikman.lk සාමාන්‍ය ජනතාව අතරට කෙසේ වෙතත් යන්තං හෝ පරිඝනකයක් ගැන අහලා දැකලා තියෙන අය අතරට ගියේ හරිම ඉක්මනකින්. තමා විකුණන්නට යන අයිතමයේ පිංතූර 6ක් හා වචන ගනනාවක රචනාවක් ලියා එය පාරිභෝග්කයා හෝ ගැනුම් කරු වෙතට ලං කිරීමට තිබුනු ඉඩකඩ මීට හේතුව වන්නට ඇත. ගැනුම් කරුවන්හටද තමාට අවශ්‍ය අයිතමය සොයා ගැනීම ikman.lk ෆෝරමය මහත්වූ තෝ තැන්නක් වුනා!

විශේෂයෙන් රථ ගාය තදේටම තිබුනු අපි වාගේ අයට තම අවශේෂ වේලාව ගත කිරීමේදී; වාහන ප්‍රදර්ශණයක් බලන්නට ගොස් සිටිනවා ලෙස සිඟිති ආතල් එකක් ගැනීමට ඉඩ සලසන තැනකුත් වුනා කිව්වොත් ඒක බොරුවක් නොවේ!

මෙම ෆෝරමයට ගොඩ වූයේ හුදෙක් විකුණන්නන් හා මිළදී ගන්නන් පමණක නොව බ්‍රෝකරයන්ද මෙහි සැරි සැරූහ! ඊට අමතරව තමා සතු වාහනයේ වටිනාකම දැන උගෙන ගැනීමේ ආතල් එක සන්තර්පණය කර ගැනීමටද මෙය ප්‍රයෝජනයට ගත් අය සිටින්නේය. එසේම වාහන මිළදී ගන්නන් වෙත "මූල්‍ය සහන" ලෙස වෙස් වලාගත් ෆිනෑන්ස් කාක්කන්ද මෙහිම ලැග සිටීම දක්නට ලැබුනි.

ikman.lk පටන් ගත් කාලයේ මෙන් නොව කාලය ගතවන විට එහි ඇඩ් එකක් පල කර ගැනීමට සෑහෙන මුදලක් ගෙවීමට්ද සිදු විය. එසේම එය තුලින් වාහනයක් හොයා ගැනීමත් තරමක් අවුල් සහගත එකක් බව වැටහී ගියේ "රිය සේවන" පටන් ගැනීමත් සමගය! "රිය සේවන" සාපේක්ෂව වඩාත් පාවිච්චි කරණ්නාගේ පහසුව  (User friendly) පිළිබඳව සිතා බලා සැකසූ වෙබ් පිටුවක් විය. අද වන විට ikman.lk අභිබවා රිය සේවන ඉදිරියට ඇවිත් යැයි මට සිතේ. එසේම තවත් එවන් විවිධ දෑ විකුණන්නටත් මිළදී ගන්නටත් තව තවත් වෙබ් පිටු, ෆෝරම ඇතිවී ඇත. සමහර ඒවා පටන් ගත්තද අවසන් වූ බවක් හෝ සොයා ගැනීමට නොහැක!

On Line  විකිණීම පටන් ගත්තේ මේ අතරමය. ඒවා බොහෝ විට සමාජ කුලක අතර සංසරණය වූ මෘදු දැන්වීම් හෙවත් ෆ්ලයර්ස් හා වත්පොත හරහා සිදුවේ. ලොකයේ කොයි ඉසව්වක; ඔන්ලයින් මාර්කටිං සාර්ථකව කෙරුණද මෙරට එයට ඇත්තේ දැඩි අප්‍රසාදයකි. පසුගිය කාලයේ "ඩරාස්" එකේ ගැටවුන්හට මහපාරේ අම්බානක සඳ ගුටි දෙන වීඩියෝ කෑලි; WhatsApp ජාලයන්ගේ හා වත්පොතේ සංසරණය වූයේ මෙහි ප්‍රථිඵලයකි. 

පසු ගියදා  මා දන්නා අයෙකු On Line ගෙන්වා ගත් බිම මොප් කිරීම හා වතුර ඇද ඉවත් කිරීම එකට ඇති ගැජබිට් එක සාදා තිබුනේ; ටීවී ඇන්ටනා බට වලිනි! එය සාදා තිබුනේ "සෙල්ලං ගෙවල්" සඳහා විනා එදිනෙදා පාවිච්චියට නොවේ! ඔන් ලයින් කඩ කාරයින් තම සේවාව ඔන් ලයින්ම කරණා මුත් එම ස්ථානයට ඇවිත් මිළදී ගැනීමට ඉඩ පහසුවක් සලසා නැත්තේ මේ නිසාම විය යුතුය!

මෙවන් මිළදී ගැනීම වලට පෙර ඒම භාන්ඩයේ දිග පලල වැනි දේ ගැන නිවැරදි අවබෝධයක් ඇතිකරගෙන කරණ්නට හැකි නම් මීට වඩා යහපත් "කූඨ වෙළෙඳ ප්‍රජාවක්" ඇතිවිය හැක!

රටේ කිහිප දෙනෙක් රහසේ බැලූ ඔන් ලයින් වෙළඳාමක් පිළිබඳව මුළු රටටම "හෝල් සේල්" එකේ කියා දුන්නේ ජන මාධ්‍යයෙන්මය. ඒ දෙල්ගොඩ අඩුවයසේ ගෑනු ළමයෙකු ඔන් ලයින් ක්‍රමයට මාර්කට් කිරීම ගැනය. කොටුවේ පොඩි සාදුගේ සිට ඊට නොගෑවුනු කෙනෙක් නොමැති අතර ඒ සීන් එකට කුමක් උනාදැයි කොටුවේ පොඩි සාදු තබා ඒ ගෑනු ළමයාවත් දන්නේ දැයි අප දන්නේ නැත! ඒ මෙරට හැටිය. සිසිර කුමාර මාණික්ක ආරච්චි කියනා ලෙස; "කැකිරි බර මෙසිරි ලක" කේස් සොල්ව් වන්නටත් පෙර වාෂ්ප වේ.

ඔන්ලයින් වෙළඳාම මේවන විට ඉතා ලාභදායි වංචනික ව්‍යාපාරයක් වී අවසානය. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකං, සාස්තර, කඨින, දේව බලයෙන් ලෙඩ සුව කිරීම, බෝධි පූජා වැනිම මහත් ලාභ දායි ව්‍යාපාරයක් වූ මෙය මෙරට පුරෝගාමීන් වූයේ "කප් රුක" හා "ලස්සන ෆ්ලෝරා" යැයි මට සිතේ. (වරදක් වෙතොත් එය නිවැරදි කරණ්න!) එතෙර සිටින සුපිංවතුන්ගේ ධන පරිත්‍යාගයෙන්; මෙරට සිටින නෑදෑ හිතමිත්‍රාදීන්ගේ මන දොළ සනහා ලන්නට කේක් ගෙඩි, මල් පොකුරු, කුඩා අත්කම්, පොත් පත්, සිංදු පටි තැටි වැනි දෑ ගෙදරටම වැඩම කිරීම මෙම මුදලාළිලා ජයටම කරගෙන යනු ලබති.

"කප් රුක ලා" මගෙන් අම්ම මෝ නැතිව අහගත්තු කථාව මේ අස්සටම දැම්මෝතිං මේ ලියැවිල්ලේ උඩිංම දාපු හෙඩිම අප්සැට් ගසන බැවිං ඒක වෙනමම ලියන්නං; ඔය හදිස්සියේ ලියන්නට දෙයක් නැති දවසක; නයිට් වොච්මන් විදියට!

මේ සියළුම දේ මෙසේ සිදුවෙද්දී මේවන විට හිස ඔසවා ඇති සුපිරිම වෙළෙඳ "තට්ටුව" Facebook market place ය!

මට මෙය අලුත් දෙයක් වුනාට; මෙය කියවන දනන් හට එය තවත් එක් "නියැණ්ඩර්තාල්" කෙනෙක් හෝ "බළංගොඩ මානවයෙක්"  විය හැකි වුවත් මම ලබපු අත් දැකීම් ටිකක් මෙහි ලියන්නම්. 

FMP (කෙටියෙන් Facebook market place) මා වඩාත්ම ප්‍රයෝජනයට ගැනීමට පටං ගත්තේ කැන්ගරු දේසේදී. වසිකත් කල්මීත් සිටි කුඩා නිවාස පලුව "ගෙයක්" කිරීමට අපට අවශ්‍ය පොඩි පොඩි අයිතම  ලබා ගත්තේ FMP එක හරහා මයි. දින ගනනාවක් යන විට එය තනිකරම පුරුද්දක් වෙලා! කොයි වෙලාවේ බැලුවත් FMP එකේ "බඩු" බලන එකමයි වැඩේ. බඩු බැලීමටත් වඩා ඒවාට ලංසු තැබීමත් පොඩි පහේ ආතල් ජනනීය කාරණයක් වුනා. වසික මගේ ලංසු දිහා බලා කිව්වේ "අවුලක් නෑ ඌට තාත්තිට ගහන්න බෑනේ!" කියාය!

එරටින් නිවසට කුඩා කෑම මේසයක් සය පුටු පහක්, කුඩා තරප්පුවක්, රාත්තල් 9000 වින්චියක්, රාත්තල් 12000 වින්චියක්, ස්කොට් බයිසිකල් දෙකක්, කෑම්පින් කූඩාරමක්, කැරොකෙ බොක්ස් එකක් හෙවත් සිංදු පෙට්ටියක්, ඊජිප්තු දර්බක් එකක්, canoe කැනූ එකක් සහ තවත් අමතර දේවල් කිහිපයක් මා මිළදී ගත්තේ FMP එකට පිං සිද්ධ වෙන්නටය!

මෙහි හොඳම අවස්ථාවක් සිදුවූයේ 32mm Box Socket එකක් මිළදී ගන්නට ගිය අවස්ථාවේදීය. වසිකගේ යෙහෙළියක් මිළදීගත් අවුට්ලැන්ඩර් රථය ලියා පදිංචියට පෙර ලබා ගත යුතු රෝඩ් වර්දිය හෙවත් යෝග්‍යතා සහතිකයේදී එහි අළුත්වැඩියාවන් කිහිපයක් නිර්දේශ කොට තිබුනා. ඒවා නිම කිරීමට සිදුවූයේ මාහට! (මටත් වෙන දේවල්!) එහි ඇක්සල ගැලවීම සඳහා 32mm Box Socket එකක් අවශ්‍ය වූ අතර එය මිළදී ගැනීම සිදුවූයේද FMP හරහා මය! ඔහු එය මා අතට පත් කිරීම හා මුදල් ලබා ගැනීම සිදු කලේ හරි අපූරු ක්‍රමයකට!




"බොක්ස් සොකට් එක මාගේ තැපැල් පෙට්ටිය මත තබා ඇත! ඔබ එය ගෙන ඩොලර් 5 තැපැල් පෙට්ටියට දමන්න!" ඔහු මැසෙන්ජර් මගින් දැනුම් දී තිබුනි. අදාල දිනයේ මා එහි ගොස් ඩොලර් 5 පෙට්ටියට දමා බොක්ස් සොකටය රැගෙන ආවෙමි. 

මාගේ දෙමව්පියන් වෙතින් මාවෙත ලැබුනු පැරණි නිවෙසක් යටියන්තොට පිහිටා ඇත. එය පසුගිය කාලවකවානුව පුරාවට කුලියට දී තිබුනි. අවසානයේ එහි රැඳී සිටියවුන් මා පිටත් කර යැව්වේ; ඔවුන්ගේ ගෙවල් බඩු පටවාගෙන යන ලොරියට අදාල රුපියල් 15000 මා විසින් ගෙවා දමාය! අවසානයේ මා වෙත ලැබුනේ හිස් සහ අබලන්වූ නිවෙසකි. දෙමව් පියන් ඇවෑමෙන් එහිතිබුනු සියළු ගෘහ භාන්ඩ ඔවුන් ගෙන ගොස් තිබුනි.  මිරිස් ගලේ දූ ගල පවා ඔවුන් රැගෙන ගොස් තිබුනු අතර මව ගල හෙවත් විශාල කොටස ඉතිරිවූයේ එය තාත්තා විසින් කොන්ක්‍රීට් මේසයකට සවිකොට තිබුනු නිසා යැයි මා විශ්වාස කරමි! මේ නිසාම නිවෙස අළුත් වැඩියා කිරීම ඇරඹීම සමගම ගෙදරට අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වෙනත් කුඩා කුඩා දේ මා FMP හරහා මිළදී ගැනීමට පටන් ගතිමි. සමහර දේ FMP එකට දමා පැය ගනනාවකින් අන්තරස්දාන වීම හා පිංතූරය මත සොල්ඩ් ලේබලය ඇලවීම දුටු මා සමහර දේ භෞතිකමය වශයෙන් දැකීමට පෙර අත්තිකාරම් මුදල් යැවීමි!

ඉන් සමහරක් භාණ්ඩ පිළිබඳව මා රැවටී ඇත! එහෙත් තවත් සමහර දේවල් පිළිබඳව ඇත්තේ මහත්වූ සතුටකි. හොරණට කිට්ටුවෙන් මිළදී ගත් කුළු පුටු හතර කොටින්ම දර ගොඩකි! වනවාසලින් මිළදී ගත් විසල් ඇඳ සහ මෙට්ටය ඉතා හොඳ ඩීල් එකක් විය.


මාගේ සිතේ මැවුනු කුළු පුටු හතර මේ වාගේ ඒවා උනත් 
ලැබුනු ඒවා ගැන කතා කිරීමෙන් පලක් නැත!
මේ පිළිබඳව මාගේ අත්දැකීම නම් FMP හරහා කිසියම් දෙයක් මිළදී ගැනීමට අවශ්‍ය වේනම්; තමන්ගේ අවශ්‍යතාවය කෙතාම් දැඩි වුවත් භෞතිකමයව දකිනා තුරු මුදල් යෙදවීම භයානක බවය! 
කලක පටන් මා ඇන්ටික් ගැන දක්වන්නේ අසාමාන්‍ය ලෙංගතු කමකි. කුරහං ගල්, සෙක්කු ආදිය දෙස මා බලන්නේ රූබර ලලනාවක් දෙස බලනා ආකාරයෙන්ය!
මේ දවස් වල සෙක්කු අරං පිරිමහන්නට බැරිය. හොඳ සෙක්කුවක් ලක්ෂ එක හමාරේ සිට හතර හමාර දක්වා මිළ ගනං වෙනස් වේ. කුරහං ගල ඊට වඩා ලාබාලය. එය රුපියල් 6000 සිට 15000 දක්වා වෙනස් වේ. ජා ඇල තිබුනු කුරහං ගලක් මා "කර තබා ගත්තේ" ඔන් ලයින් අත්තිකාරමක් ගෙවා දැමීමෙන් ය! එහි මිල 8000ක් වූ අතර මා භාන්ඩය නොදැක 5000ක් බැර කලෙමි. එහෙත් ය අත්පත් කර ගැනීමට ගිය විට ඒ ගැන තිබුනු සිහිනය තරමක් දියාරුවී ගියේය!

එහෙත් පමාව පසුතැවිල්ලට හේතුවක් විය හැකි නිසාම හැකි ඉක්මණින් එහි ලඟා වීමද කලයුතුය!

35 comments:

  1. අදත් ලිපිය ඉතාම රසවත් විදිහට පෙළ ගස්වලා තබුණා. ඔබ ඇන්ටික් ගැන දක්වන අසාමාන්‍ය ලෙංගතු කම ගැන නම් මනාව පැහැදිලි වුනා. ඔය විදිහට ඔන්ලයින් එකෙන් බඩු අරගෙන ලබා ඇති අත්දැකීම් නම් අපිටත් බහුලව ම ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇන්ටික් වලට කොයි තරම් කැමතිද කියනවා නම් ගෑනු ලමයි දිහා නෙවෙයි බැලෙන්නේ අසූව පැනපු ආච්චිලා දිහා!

      Delete
  2. ඇයි තැපෑලෙන් රෙඩ්යෝ හැදීම, මමත් කරා.

    මේ ඉන්ටෙර්නෙට් සමග කරලියට හොඳ දේට වඩා මගඩි පැමිණි බවයි මට හිතන්නේ. මේ වගේ ලෝකල් මගඩි නිසා තමයි අපේ සල්ලි ඇමසෝන් වගේ ඇමරිකන් සමාගම් වලට යන්නේ

    ඔන් ලයින් බඩු ආපසු රිටන් කරන්න බැරිනම් ගන්න හොද නැ, පිළිගත් ආයතන තැපැල් ගාස්තුවත් එක්ක අපහු ගන්නවා. 100% ඕනලයින් ඒවා ගැන විස්වාසය අඩුයි, ස්ථාපිත අයතනයකින් ඕනලයින් බඩු ගැනීම් වඩා ජනප්රියයි

    මේ මිනිස්සුන්ට ප්‍රසිද්දියේ ගුටි දීම ලොකු වැඩ නොවේ (කාර්ගිල්ස්, ඩරාස් වගේ ඒවා) අපේ රටේ නැහැදිච්ච්චකම, නීතය නැති කම ලෝකයට පෙන්වීමක්. ජනදිපති ගේ පූල් එකේ සබන් ගාල නෑමත් ඒ වගේ බාල වැඩක්
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් පිළිගත් සහ ටොප් රේටඩ් ඒවායින් බඩු ගැනීමට පෙළඹීම තමයි කල යුතු වෙන්නේ.
      ඩරාස්ලාට ගුටි දීම මා අනුමත කරණ්නේ නෑ. ඒත් එහෙම අත්දැකීම් ලැබෙන කොට ඩරාස්ලාගේ බඩු ගෙන් ගෙට ගෙනයාමට කූරියර් සර්විස් වල අය මැලිවෙනවා! එතකොට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඩරාස්ලා පෙළඹෙනවා හරි දේවල් පාරිභෝගිකයා අතට පත් කරලා නැවත විශ්වාසය දිනා ගන්න!
      ජනාධිපතිගේ පූල් එකේ සබන් ගා නෑව එක ගැන වෙනමම කථා කරමු. කියන්නට තියෙන්නේ "හැන්දෙන් ගෑරප්පුවෙන් හොරා කෑම සහ මේ රටේ අනාගතය කා දැමීම විනය ගරුක, ආචාරශීලී එකක් වෙන අතර උන්ගේ පූල් එකට බැස නෑව වනචාරී ක්‍රියාවක් බවය!"

      Delete
    2. ඔව් ඒ දෙකම වැරදීයි, හැබයි වැරදි දෙකක එකතුව එක හරියක් වෙනෙනේ නැ නේද?
      මම විජේබාහු

      Delete
  3. බ්ලොග් වල කොමෙන්ට් කොටනවා වගේ ඔන්ලියින් පැලැට් ෆෝම්ස් වල රිවීව් දැමීමත් ඒ සිස්ටම් එකේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්...රිවීව්ස් බලලා තමයි ඔන්ලයින් ඕඩර් කරන්න ඕනේ....දියුණු රටවල අපේ රටවලට සාපෙක්ශව මේ නංගි පෙන්වා අක්කා දෙන ඔන්ලයින් ස්කෑම්ස් අඩුයි..අපේ හැමෝම හොරකමටනේ පුරුදු වෙලා ඉන්නේ...ඒක තමයි ව්‍යාපාරිකයා කියන්නේ හොරෙක් කියලා මිනිස්සු හිතන්න පුරුදු වෙලා ඉන්නේ...ඒක
    හැබැයි එක බඩුවක් විකුණන එක වගේ වැඩකට අර කිව්වා වගේ ඇහෙන් බලන්නෙ නැතුව කමිට් වෙන එක පාඩු සිද්ධ වෙන්න පුලුවන් වැඩක්
    -Mayya

    ReplyDelete
    Replies
    1. ඔව් මයියා ඇත්තෙන්ම රිවීව් බලන එක හොඳ වැඩක් තමයි. ඔය වගේ මොකක්ද ස්පැනර් එකක් මම අරං එයට අහු උනාට පස්සේ මම උන් ඇඩ්වටයිස් කරණ හැම තැනම ඒක මෙලෝ රහකට නැති එකක් බව ලියා දැම්මා!

      Delete
  4. හැකි තාක් අනෙකා රවටා අයුතු ලාබ ලැබීමට උත්සාහ කිරීම අපේ ජාතික ගුණාංගයක් ද මන්දා. ඉන් ලබන ලාබයටත් වැඩිය තවකෙකු රැවටුවා කියන තෘප්තියට ආශක්ත වෙනවා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම සමහරු ව්‍යාපාර පටන් ගන්නේම "ඇන්දීමක්" කරණ්නට ඇති හැකියාව තක්සේරු කරලාමයි!

      Delete
  5. කාලෙන් කාලෙට වෙනස් වන වෙනසෙ ලාබ අලාබ දෙකම තිබෙනවා... අයියේ.
    අපූරුයි
    ජයවේවා !!!

    ReplyDelete
  6. සුපුරුදු පරිදිම නියම ලිපියක්. ඔන්-ලයින් මාර්කටින් ගැන ඇත්තේ මිශ්‍ර හැඟීමක් වුවත්, අද එය මට නැතුවම බැරි දෙයක් බවට පත් වී ඇත. වරක් දෙවරක් , බලාපොරොත්තු කඩවන බඩු ලැබුනත්, ඒ සෑමවිටම සම්පූර්ණ මුදලම නැවත ලබා ගත හැකි විය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ebay වගේ එකකින් ගන්න එක ආරක්ෂිතයි! අපේ රට ඇතුලේ ඉන්නේ නම් හොරු සෙට් එකක්!

      Delete
  7. ඔන්ලයින් හොදයි ලේසියි පහසුයි.ඒත් ලංකාවේ වෙලා තියෙන්නෙ හැමදේටම හොරකම බොරුව වංචාව එකතු වෙන එක.මමත් ඔන් ලයින් බිස්නස් කරන කෙනෙක් හැටියටත් පාරිභෝගිකයෙක් හැටියටත් විවිධාකාර අත්දැකීම් වලට මූණ දීල තියෙනවා.මට ඉන්න ගොඩක් කස්ටමර්ලා අපෙන් කෑම අරන් එයා තව කෙනෙකුට රෙකමන්ඩ් කරලා කෑම ගන්න අය.එහෙම කටින් කට ගිහින් එන අය තමා ගොඩක් ඉන්නෙ.ඊට අමතරව පින්තූර දැකලා ඕඩර් කරන අයත් ඉන්නව.නංගි පෙන්නල අක්ක දෙන සිරිත කිසිම දවසක කරල නෑ සහ ඉස්සරහට කරන්නෙත් නෑ.අපි එහෙම උනාට එක්තරා කෑම පේජ් එකක් තියෙනවා එයා අපි ඕඩරයක් කරල පැය 24 ගිය ගමන් අපේ පොටෝස් ටිකම එයාගෙ පේජ් එකේ දානවා.ඒ පේජ් එකේ තනිකරම තියෙන්නෙ වෙන පේජ් වලින් ගත්ත පින්තූර දැන් දෙපාරක්ම අපි හොදින් කිව්ව ඔය වැඩේ කරන්න එපා කන බොන දේට මිනිස්සුන්ව රවට්ටන්න එපා ඔයාම හදපු ඔයාගේ ඕඩර්ස් විතරක් දාන්න කියල.

    ඔය ඉතින් කෑම,සම්භන්ධව ඒ වගේ තමා ඉතින් මමත් නිතර එක එක සුකුරුත්තන් ,ඇඳුම් වගේ දේවල් ඔන් ලයින් ගෙන්නනව සත්තලන්ට හොරෙන් 😜 කරුමෙ කියන්නෙ ඩිලිවරි එකෙන් කෝල් කරන්නෙම උන්දෑ ගෙදර ඉන්න දවසට.එහෙම ගෙන්නන ඒවා හොද,සහ නරක දෙකම වෙලා තියෙනවා.ඇඳුම් නම් ගිහින් ෆිටෝන් කරල බලල ගන්න එක තමා නුවනට හුරුම වැඩේ.

    ReplyDelete
    Replies
    1. අපේ පොල් බූරුවෝ අනුකරණය කරණ එකවත් හරියට කරණ්න දන්න එවුං නම් නෙවෙයි. නැතිනං Bata තියෙද්දී Bettans හදයිද? කොහොමත් දීර්ඝ ගමනක් යන්න නම් හොඳ නමක් දිනාගන්න, හදා ගන්න, රැකගන්න ඕනමයි!
      කෝ ඉතිං එදා කන්න එන්න හදන කොටම "එපා!" කිව්වනේ!?

      ඔව් ඇඳුම් නම් ෆිටෝන් නොකර ගන්නවා කියන්නෙම වෙන කාට හරි ඇඳුම අරන් දෙන්න සම්මාදම් කරණවා කියන එකම තමයි!

      Delete
    2. 🙃😜 යකූ එපානෙවෙයි කිව්වෙ එන්න කලිං කියලා වරෙන් කියල කෑම හදල තියන්න.අපේ ගොඩක්,අය පටලව ගන්නවනෙ මට හෝටලයක් තියෙනවයි කියල.daily කෑම උයන.සිංහලෙන් කිව්වොත් මං කරන්නෙ කලින් ලබා ගන්න ඇණවුම් පමණයි 🙃.එහෙම ඕඩර් නැති දවසට අපි කන්නෙත් කඩෙන්.නැත්‍තං සම්බෝලයි බිත්තරයි බතුයි.

      Delete
    3. හරි හරි කියලාම එන්නංකො!
      ඔය කුළුපුටු සෙට් එක ගේන්න ගිය ගමන් තමයි පිළියන්දලදි කෝල් කලේ!
      එළම එළ!

      Delete
  8. //භෞතිකමයව දකිනා තුරු මුදල් යෙදවීම භයානක බවය// සහතික ඇත්ත.

    EBay, Aliexpress හෝ ඩරාස් උනත් ගන්න ඒවයෙ... කලින් ගත් අයගෙ feedback, review වගේ ඒව බලල සහ seller ගෙන් තව සැකදෙවල් clear කරන් ගන්නවනං වාසිත් නැතුවම නෙමේ. මට මේතාක් මේ තැන්වලිං ගත්ත කිසි දෙයක ගැටලුවක් වෙලා නෑ.
    ඉස්සරහට කොම වෙයිද මන්ද ඉතිම් 😁

    ReplyDelete
    Replies
    1. ඔව්ebay ගැනනම් මටත් තියෙන්නේ හොඳ පලපුරුද්දක්!
      මම එක වරක් අපේ වාහනයකට ECU එකක් ගෙන්නුවා!
      ඒක පට්ටම රිස්කි වැඩක්!
      ඒත් බඩු වැඩ කලා!

      Delete
  9. පොත් සහ ජර්නල් වලට අදාළ දේවල් විතරයි තාම ඔන්ලයින් ගෙන්නාගෙන තියෙන්නේ අයියේ. මොනා ගෙන්නුවත් රිවිව්ස් බලනවා . අපූරු සටහනක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මෙහි ගොඩ වැදුනාට!
      ඔව් පොත් වගේ දේකට වංචාවක් කරණ්න අමාරුයිනේ! ඒ අතින් පොත් ගෙන්වා ගැනීම තරමක් ආරක්ෂිතයි!
      එහෙත් පහුගිය කාලේ වත් පොතේ සංසරණය වුනා පොත් සඳහා කලින් සල්ලි දීලා පසුව අන්තරස්දාන වුනු අයෙක් හෝ කිහිප දෙනෙක් ගැන!
      ලියන්නේ නැද්ද? සෙනසුරාදා රාත්‍රී 10.00 පෝස්ටුවක් දාන මේ වඩේට සෙටමෝල් වෙන්න!
      ජයවේවා නංගී!

      Delete
    2. ඊයෙම කියෙව්වෙමි ඔබගේ පෝස්ටුව
      නමුත් නොලිව්වෙමි මාගේ කමෙන්ටුව
      එහෙම කළේ මං කාරණයක් ඇතිව
      මෙන්න තතු නිදිත් අහු වුණු 'රැකට්ටුව'

      fb මාරකැට්ටුවේ රැකටියර්...
      https://nidigepanchathanthare.blogspot.com/2024/01/fb.html

      Delete
  10. //මිරිස් ගලේ දූ ගල පවා ඔවුන් රැගෙන ගොස් තිබුනු අතර මව ගල හෙවත් විශාල කොටස ඉතිරිවූයේ//

    මම ඔය නම් දෙක දැනගෙන හිටියේ නෑ.

    http://www.lithiccastinglab.com/gallery-pages/2014junegrindingstonespage1.htm

    ReplyDelete
    Replies
    1. දූ ගල සහ මව් ගල! "මව ගල" යනුවෙන් ලියා ඇත්තේ වැරදීමකින් ය!

      Delete
  11. https://myhobotales.blogspot.com/2024/01/blog-post.html?sc=1704699450369#c4758752746677464855

    ReplyDelete
    Replies
    1. ගියා! ස්තූතියි දැනුම් දීමට!

      Delete
  12. ඔය ඔන්ලයින් බඩු ගෙන්වන ඒව ගැන වෙනම ලියන්න කතන්දර ගොඩයි. කොහෙද ලියන්න කම්මැලියිනෙ අප්පා.

    ReplyDelete
    Replies
    1. අයියෝ ලියමු කසුන්!
      ලිවීමට කම්මැලි උනාම කරණ්න තියෙන හොඳම දේ තමයි දිගටම ලියන එක!
      කසුන්; අහසින් එන්න!

      Delete
  13. ලුහුඩු දැන්වීම් වලින් පටන් ගත්තට අන්තිමේදි ,ලිපිය ලුහු දැන්වීම් පිලිබද විශ්ව කෝශයක් වන තරමට කරුනු අන්තර්ගතයි. හරිම රසවත්, ඒවගේම මතකය අලුත් කරන ලිපියක්.සෙක්කු වලත් කුරහන් ගල් වලත් මිල අහල පුදුම හිතුන.අවුරුද්දකට දෙකකට කලින් මම අපේ ගෙදර උන්දැගෙ ගමට ගියවෙලාවෙ ගෙදර එහෙමෙහෙ නිකම් දාල තිබිච්ච කුරහන් ගල ගැන මතක් වෙලා හැම තැනම හෙව්වට හොයා ගන්න බැරි වෙච්ච හේතුව දැන් තමයි ටික ටික පැහැදිලි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් මහත්තයා!
      කුරහං ගල් සෙක්කු ගල් අම්බානක ඩිමාන්ඩ්!
      බොහොමත්ම ස්තූතියි හැමදාම වාගේ මෙහි ආවාට!

      Delete
  14. පරණ දැන්වීම කලාව හා මෝස්තරය ගැන මතක් කිරීමත් රසවත්ය. ඒ කාලේ පත්තර ඇඩ් එක තිබුනා දෙකටන නීලකාදී තෛලය, ඕක කියෙව්වේම දෙකනට නීලකාදී තෛලය කියලා. තව එකක් දරුපල දොස්තර පෝල්... ගේ ඇඩ්.
    ලංකාවේ ඔන්ලයින් බිස්නස් හෑම මේ ලඟදී ආපු ටින් එකට පාර කැපුවා කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      දෙකටන නීලකාදී තෛලය! ඇයි නාසානන්ද තෛලය?
      මේ සියල්ල සමග මේ සෙනසුරාදා රෑ දහයට හමුවෙමු! - තට්ටයා!

      Delete
  15. මාකට් ප්ලේස් එකෙත් ස්කෑම් තියනවා. ඒත් පාරක් මම ඕඩර් කල දේ වෙනුවට සැක සහිත දෙයක් ගැන ට්‍රැකිං නම්බර් එකක් ලැබුනා. සති දෙකක් ගියත් ට්‍රැකිං එක එහෙම්මම. හොඳ වෙලාවට මම පේ පෑල් වලින් ගෙව්වෙ. කම්ප්ලේන් කලහම මගේ මුදල් පේ පෑල් එකෙත් ගෙව්වා.

    ReplyDelete
  16. වාහන ගන්න ඉක්මන් එකට කලින් Autolanka කියල එකක් තිබ්බා . මම පලවෙනි දෙවෙනි කාර් ගත්තේ වික්කේ එකෙන් ..

    FMP කියන්නේ හෙන ආතල් වැඩක් . මමත් මෙහෙට ආවට පස්සේ තමා ඔහොම එකක් තියෙනවා කියලත් දැන ගත්තේ ..

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...