අප සිතනා ආකාරයට කෙනෙක් ආගමික අර්ථකථන මෙන්ම – මේ දෙවැනි කොන්දේසිය ඉතාම වැදගත් වෙයි – සරල විද්‍යාත්මක යථානුභූතවාදයක් ද ප්‍රතික්ෂේප කරන්නේ නම් පැවැත්ම යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමට තිබෙනා බැරෑරුම් තෝරා ගැනීම් තුනක් තිබේ: බදියානුවාදය, ඩෙලූසියානුවාදය සහ මෙයසියානුවාදය.

අවාසනාවන්ත ලෙස, මේ ආස්ථාන තුන සම්බන්ධයෙන්ම අපේ රටේ විධිමත් සංවාදයක් නොමැති වේ. ඉහත තුන්වැනි ආස්ථානය පිළිබඳව බැරෑරුම් සංවාදයක් සිංහල සංවාද ලෝකයේ ස්ථාපිත කිරීමට අප උත්සාහ කරන්නේ මෙම නිසාය. මේ කෙටි සටහන ලියවෙන්නේ ඉහත අනෙක් ආස්ථාන දෙක වෙනුවට තුන්වැනි ආස්ථානය තෝරා ගැනීමට නිශ්චිත හේතුව කුමක්ද කියා පැහැදිළි කිරීමටයි. මෙයට සරල හේතුව වන්නේ බදියානුවාදය සහ ඩෙලූසියානුවාදයට වෙනස් ලෙස අපේ රටේ සමකාලීන දාර්ශනික සන්ධිස්ථානය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට මෙයසියානුවාදය සමත් වනවා කියා අප සිතීමයි.

වත්මන් ලාංකික දාර්ශනික සන්ධිස්ථානය ස්ථාවර කීපයක් අතර හමුවක් ලෙස අපට නම් කළ හැක. එකක් වන්නේ නලින් ද සිල්වා ගේ පශ්චාත්නූතනවාදී සංශයවාදයයි. අනෙක් පසින් යථාර්ථයේ නෛසර්ගික අඩුවක් යෝජනා කරනා ජිජැකියානු පාරභෞතික විද්‍යාවක් තිබේ. මේවා සමග එක් එක් ආකාරයට ගැටෙන සහ ගැට ගැසෙන, එක් අතකින්, විද්‍යාත්මක යථාර්ථවාදයක් ද, අනෙක් අතින්, සරල ආගමික විශ්වාසයන් වෙනුවෙන් විවෘත පෙනී සිටීමක් ද තිබේ.

මේ අතරින්, අවාසනාවට, ඉදිරියෙන් සිටින්නේ නලින් ද සිල්වා ගේ පශ්චාත්නූතනවාදී සංශයවාදය කියා අපි සිතමු. ජිජැකියානු පාරභෞතික විද්‍යාව මෙයට සාර්ථක පිළිතුරක් ගොඩනගනවා කියා අප කිසිසේත් සිතන්නේ නැත. මේ ජිජැකියානුවාදය වෙනුවෙන් පෙනී සිටිනා අය අතරින් බහුතරයක් එමගින් නලින් ද සිල්වා ගේ පශ්චාත්නූතනවාදී සංශයවාදයට පිළිතුරු ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්නය බැරෑරුම් ලෙස සලකා තිබෙනවා කියා අප සිතන්නේ නැත. එම නිසා, එහිම දිගුවක් ලෙස, මේවා වෙනුවෙන් පෙනී සිටිනා අය ඩෙලූසියානුවාදය, බදියානුවාදය, මෙයසියානුවාදය වැනි විකල්ප ආස්ථාන ගැන බැරෑරුම් ලෙස සිතා බලා නොමැත. එකක් මගින් අනෙක ප්‍රතික්ෂේප වන්නේ හෝ ස්ථාවර වන්නේ හෝ කෙසේද කියා බැරෑරුම් ලෙස සලකා බලා නොමැත. එම නිසා මේවා මගින් මග හැර යන්නේ මූලික දාර්ශනික ශ්‍රමය යන්නමයි. ඒ වෙනුවට එමගින් තමන් කැමති ආස්ථානයක් පිළිගෙන එයට ප්‍රතිවිරුද්ධ ආස්ථාන ගැන සිතීම ප්‍රතික්ෂේප කිරීමට මේ ප්‍රවණතාවය තීරණය කර තිබේ. එය එයින් බාහිර සමකාලීන ආස්ථාන සම්බන්ධයෙන් අඥාන කුඩා කල්ලි වෙත සීමා වන ග්‍රාම්‍ය ජිජැකියානුවාදයක් (vulgar Zizekianism) වීමේ දැඩි අනතුරකට අද මුහුණ දී තිබෙන්නේ මෙම නිසාය.

මෙයට වෙනස් ලෙස බදියු සහ ඩෙලූස් සමග සමීප සිතීමක් කිරීමේ අවශ්‍යතාවය අපි පිළිගනිමු. සැකයකින් තොරවම, ජීවයේ ප්‍රභවය වැනි දෙයක් පිළිබඳව සිතීමේ දී මෙයසියානුවාදයට අමතරව අපට තිබෙනා එකම විකල්ප ලෞකිකවාදී දාර්ශනික ප්‍රවේශය වන්නේ ඩෙලූසියානුවාදය කියා ද අපි පිළිගනිමු. මෙම නිශ්චිත කරුණේ දී ඩෙලූස් සහ මෙයසූ අතර තිබෙන්නේ තෝරා ගැනීමක් පමණි කියා ද අපට විවෘතව පිළිගත හැක. කලාව පිළිබඳව – විශේෂයෙන් ‘Image art’ පිළිබඳව සිතීමේ දී – ඩෙලූසියානු සිතීම වටිනා ඛනිජ නිධියක් බවත් අපි දනිමු.

නමුත් අවසානයේ දී ඩෙලූස් සහ බදියු යන තෝරා ගැනීම් දෙක අපට අත්හැරීමට සිදුවූයේ මෙය පශ්චාත්නූතනවාදී සංශයවාදයට *පිළිතුරක්* ලෙස අසාර්ථක වනවා කියා අපට පැහැදිළි වන නිසාය. පොදුවේ ගත්විට, සහ බොහෝ දෙනෙකුට තේරෙන සිංහලෙන් කියන්නේ නම්, මේ ප්‍රවේශ දෙක මගින්ම කරන්නේ ‘මගේ ලෝකය’ සමස්ත යථාර්ථය වෙතම දිගු කිරීමයි. මනසින් බාහිර වාස්තවික යථාර්ථය පෙන්වීමේ අභියෝගයට පිළිතුර ලෙස මේ මගින් කරන්නේ ආත්මීය යථාර්ථය සමස්තය වෙත ආරෝපණය කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට අහිමි වන්නේ පැරණි එපිකියුරියානු භෞතිකවාදයයි. අපට දැන් මළ පදාර්ථය (dead matter) යන්න සිතීමේ පදනමක් නොමැති වේ. ඒ වෙනුවට අප යථාර්ථය සම්පූර්ණයෙන් ආත්මීයකරණය කරයි.

බදියු සිය පළමු “Manifesto for Philosophy” කෘතියේ දී සිය ආස්ථානය බාක්ලී සමග සමාන වන බව විවෘතව කියන්නේ මෙම නිසාය. ඔහුගේ පාරභෞතික විද්‍යාව තුළ දේශපාලන පක්ෂ මෙන්ම කලා කෘති ද ‘ආත්මයන්’ ලෙස හඳුන්වන්නේ මෙම නිසාය. ඩෙලූස් සම්බන්ධයෙන් ඔහුගේ පහත උපුටනයෙන් මෙම සටහන අපි අවසන් කරමු. නමුත් මේ සංවාදය හැකිතාක් වර්ධනය කරන්නට අපි ඉදිරි කාලයේ දී උත්සාහ කරමු. මෙය උපුටා ගත්තතේ ඩෙලූස් සහ ගටාරි ගේ “What is Philosophy?” කෘතියෙනි:

“සැකයකින් තොරවම ගස් ගල් වලට ස්නායු පද්ධතියක් නැත. නමුත් ස්නායු සම්බන්ධතා සහ මොළයේ මැදිහත්වීම් මගින් පටක සමග බැඳුනු හැඟීම් දැනීමේ බලයක් ලෙස ගැනෙනා මොළයේ-ශක්තියක් පූර්වකල්පනය කරයි නම්, ජීව විශේෂය තුළ දෘශ්‍යමාන වන සහ කළල පටක සමග බැඳුනු හැඟීම් දැනීමේ බලයක් උපකල්පනය කිරීම සාධාරණ වෙයි […] රසායනික ආකර්ෂණයන් සහ භෞතික විද්‍යාත්මක හේතුකාරක මගින් ද ඒවාට අයත් කොටස් එකට බැඳ තබන සහ ඒවා තුළ ඒකමිතියක් ඇති කරන ප්‍රාථමික ශක්තියක් ගැන සඳහන් කරයි: මෙම ආත්මීය නිමේෂය නොමැතිව කිසිදු හේතුකාරකත්වයක් සිතිය නොහැක. සෑම ජීවියෙකුටම මොළයක් උරුම නොවිය හැක. සෑම ජීවයක්ම ඓන්ද්‍රීය නොවිය හැක. නමුත් සෑම තැනම ක්ෂුද්‍ර මොළයන් හෝ දේවල් වල ඓන්ද්‍රීය නොවන ජීවිතය ගොඩනගන බලවේග තිබේ.”

Of course, plants and rocks do not possess a nervous system. But, if nerve connections and cerebral integrations presuppose a brain­force as faculty of feeling coexistent with the tissues, it is reasonable to suppose also a faculty of feeling that coexists with embryonic tissues and that appears in the Species as a collective brain […] Chemical affinities and physical causalities themselves refer to primary forces capable of pre­serving their long chains by contracting their elements and by mak­ing them resonate: no causality is intelligible without this subjective instance. Not every organism has a brain, and not all life is organic, but everywhere there are forces that constitute microbrains, or an inorganic life of things.