.

.

Jan 1, 2024

රනිල් ජනප්‍රිය වීමට ගන්නා... ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ...

 



රනිල් ජනප්‍රිය වීමට ගන්නා...

 ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ...

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ගන්නා තීන්දූ තීරණ හරි හෝ වැරදි හෝ වේවා... නායකයකු ලෙස ඔහු ක්‍රියාකරනාකාරය ගැන මාතලන්ගේ අවුලක් නැතිය. නායකයකු ක්‍රියා කළ යුත්තේද එසේමය. ඒවා කොතරම් දුරට ජනතාව විසින් පිලිගත්නේද නොගන්නේද යන්න බලාගන්නට වෙන්නේ... චන්දයකදීය.


එහෙත් මේ තීන්දූ තීරණ ගන්නේ .... මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ හාල්පාරුවන්ගේ උපදෙස් මත නම්... අපට කීමට ඇත්තේ රනිල් මෙන්ම ආන්ඩුවටද වෙරි සොරි ඩොට් කොම් කියලාය... මන්ද මේ රට බංකොලොත් රටක් කිරීමට ඝෝඨාභය නම් පීචං ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේද ඕකුන්ම නිසාය...


ඊයේ අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින්.... රනිල් උන්නැහේ කිව්වේ වැට් බද්ද වැඩී කිරීම අසීරූ මෙන්ම ජනප්‍රිය තීන්දුවක් නොවනා බවත්... එය එසේ කරන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන් බවත්‍ය... අනිවාර්‍යයෙන් මේ නම්... රනිල්ට කවුරුන් හෝ දුන් දිරච්ච ලණුවක් බව නම් 100% විශ්වාසය...


මෙසේ බදු වැඩි කළේ ඇයි? සරළම හේතුව ආන්ඩුවේ වියදම් පියවා ගැනීමටයි... එයිනුත් වැඩිම වියදමක් යන්නේ... රට බංකොලොත් වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ.... පාඩූ ලබන රාජ්‍ය ආයතන  නඩත්තුවට හා ඒවායේ ඉන්නා උන්ගේ පඩිනඩි හා දීමනා ගෙවීමටය. තත්වය එසේ තිබියදි.... ඒ මූසලයින්ගේ මනදොල පිනවන්නට උන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළේය...


මෙය ඉල්ලාගෙනම කෑමක් බවත්... මේකෙන් වෙන්නේ... රටේම ජනතාව ඉන්නා තැනටත් වඩා පහළට වැටි... බඩු මිළ හා උද්ධමනය තවත් වැඩි වෙන බව අප ඒ මොහොතේම ලියා තැබුවේය... මේ අනවශ්‍ය පඩි වැඩි කිරීම නොකලා කියා.... පරිප්පු කන්නේ... රටේ ජනතාවගෙන් 10% කි....


ඒ 10% අතරේ ජනප්‍රිය වෙන්නට ගොස්... දැන් රටේ 100% ජනතාවට පරිප්පු කන්නට වෙලා අවසානය.. දැන් පඩි වැඩි උන් අතරේ නොව මුලු රටේම උන්ගේ වෛරයට පාත්‍රවී අවසානය...


වෙළඳ ඇමති හා මුදල් රාජ්‍ය ඇමතිවරු හතරවරම් බයිලා කොච්චර ගැහුවත්... සියල්ලේ මිළ ඉහළ යන එක.... කාදිනල්ට තියා දෙවියන්වහන්සේටවත් නවත්තන්නට දැන්  බැරිය....


ගිය වසරේ 60% වැඩි වූ විදුලි බිලට අමතරව දැන් ගෑස් හා ඉන්ධන මිළද ඉහළ දමා ඇත... මේවා ඉහළ ගිය පසු... සියළුම භාණ්ඩ හා සේවා වල මිළ.... ඔය ඇමතිවරු හා ආර්ථික උස්තාද්ලා නොදන්නවා වුනාට.... සාමාන්‍ය ජනතාව නම්... බන් ගොන්ධුලටත් වඩා හොඳින් දන්නවාය....


රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගතකිරීමට කොතරම් උත්සාහ කළත්... මේ මූසල රාජ්‍ය සේවකයින් හා නිලධාරින් සමඟ ඒවා නොමිළේ දුන්නත් කිසිඳු ආයෝජකයෙක් තබා.... දේශීය ව්‍යවසායකයෙක් හෝ එන්නේ නැතිය... ඊට ප්‍රධානම හේතුව ආන්ඩුව අස්තාවර නිසාය...


මේ වසරේ චන්ද තියනවා කියා ආන්ඩුවම කියද්දි... එන්න ඉන්නට එකෙක්වත් එන්නේ නැතිය... එකම පිහිට වන්නේ... බජට් පැක් එකට එන සුද්දෝ ටික හා විදේශයන්හී කඹුරන උන් එවනා තුට්ටු දෙක පමණය....


පක්ෂ විපක්ෂ සියල්ලෝම රට ගොඩගැනීම පැත්තක තබා... චන්දවලට සැරසෙති... එහෙන් මෙහෙට මෙහෙට පනිති... සාමාන්‍ය ජනතාව හොම්බෙන්ම යති...


මේ පිළිබඳව රනිල්ට හෝ ආන්ඩුවටත් කිසිඳු දොසක් කිව නොහැක්කේ.... ආන්ඩුවේ උන්ට පඩි වැඩි කරන්නෙයි කියා සියල්ලෝම ඉල්ලා සිටී නිසාමය...


එහෙත් ඕකුන්ට පඩි වැඩි කළොත් රට තවත් බංකොලොත් වී... ජනතාව පුපෙන් යන බවට අනාවැකි කී අපට... ආන්ඩුව මෙන්ම අර ගොබ්බ හාල්පාරුවෝද විවේචනය කිරීමේ පරම අයිතිය තිබෙනවාය...


මේ රටේ පාලකයෝ හා සියළු දේශපාලුවෝ.... රාජ්‍ය පාලනය තබා බුලත් විට විකුණන එකෙක් වීල් කාරයෙක් දන්නා.... සරළ ආර්ථික තියරිවත් නොදන්නා අමු හාල්පාරුවෝ බව අද ඔප්පු වී හමාරය...


විපක්ෂයේ ඉන්නා උන් කියන තියරි නිකන්ම නිකන් සුරංගනා කතා පමණි....එකම පිහිටත් මුන්නැහේම පමණි....


පඩි වැඩි නොකලා නම් මේ පරිප්පුව ආන්ඩුවටත් ජනතාවටත් කන්න වෙන්නේ නැති බව නැවතත් ලියා තබමි...


ඒ වගත් මෙසේය......

.

17 comments:

  1. මාතලන් කියන කතාවේ ඇත්තක් තිබුණත් ආණ්ඩුව මෙහෙයවන්න වෙන්නේ ඔය ලබ්බේ රජයේ සේවකයෝ එක්ක එකට වැඩ කරලා උන්ව කේන්ති ගස්සන්නේ නැතුව ඉන්න ඕන හැම පාලකයෙක් වගේම විපක්ෂ බලවේග උනත් ඒකයි සජබයියෝ සහ මාලිමාවේ කයියනායකලා පවා රාජපක්ෂ පවුලටත් උන්ගේ හිතවතුන්ට මඩ ප්‍රහාර එල්ල කරනවා විතරයි ඔය රජයේ සේවයේ තියෙන බරපතල අකාර්යක්ෂමතාවය සහ අනවශ්‍ය සේවකයන් මිලියන ගණනක් ගැන සහ තවදුරටත් තාක්ෂණය යොදාගෙන රජයේ සේවය කාර්යක්ෂම කිරීම වගේ දේවල් ගැන උනන්දුවක් නෑ ඒකටත් හේතුව රාජපක්ෂ පවුල බව කියනවා විතරයි. මොකද උන්ගේ විපක්ෂ කණ්ඩායම් වලත් වහල්ලු සහ පක්‍ෂ මෙහෙයවන යාන්ත්‍රණය තනිකර රාජ්‍ය අංශයේ රජයේ සේවක වෘත්තීය සමිතිවල උන් යටතේ ක්‍රියාත්මක කෙරෙන නීෂා රජයේ සේවකයන්ට බනින්න එකෙක්වත් නෑ. රනිල් පසුපස සිටින ඇතැම් ලිබරල්වාදීන් විතරයි ඔය කියන ප්‍රශ්නය විවෘතව විවේචනය කරන්න හරි ඉදිරිපත් වෙලා තියෙන්නේ දේශපාලන ව්‍යාපාර වල අයගෙන්.

    ReplyDelete
  2. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඇත්තේ ජෙප්පො රාජ්‍ය සේවකයන් ඉස්සාරාට දාගෙන කරන උද්ගෝෂණ වලිඅ මොමෙන්ටම් එක නැති කරන්න වෙන්න ඇති...

    වැට් එක වැඩි උනේ 3% කින් උනාට බඩු මිල වැඩි වෙන්නෙ 30% කින් විතර...මෙවගෙ අයුතු ලාභ ගන්නේ අතර මැදියො...

    උද්ධමනය සහ බදු ස්ථාවර වෙනකං, මේ විදිහට අයුතු ලාභ බලන් ඉන්න අතරමැදි සෙට් එකට රජ මඟුල්...

    -Mayya

    ReplyDelete
  3. 2024 පලවෙනි දවසේ ඉදන් මම තීරණය කලා මින්මතුවට මන් වෙනුවෙන් ජිවත් වෙන්න.. මට focus කරන්න. මම දියුණු වෙන්න. මම ලස්සන වෙන්න. මම සතුටින් ඉන්න..වැදගත්ම දේ මම ආයිමත් නොඅඩා ඉන්න. බොරුවට නෙමේ හදවතින්ම ඇත්තටම හිනා වෙන්න.. ☺️

    මගෙ යාලුවෙක් අද ඇහුවා මගෙ long term plan එක ඉදිරියට මොකක්ද කියලා..

    සරලයි.. මම මාව සතුටින් තබා ගැනීම.. මගෙ ජිවිතේ මන් ආස කරන දේවල් සීමා මායිම් වලින් තොරව කැමති විදියට කිරීම.. සමහර දේවල් අමු ගොං වැඩ වෙන්නත් පුලුවන්. එහෙම උනොත් ඒවායිනුත් පාඩම් ඉගෙන ගැනීම. මේක තමයි මගෙ long term ප්ලෑන් එක..

    සතුට හොයාගෙන යෑම.. සතුට වෙනුවෙන් සතුටු වීම..

    ජිවිතේ ඇයි හන් ගන්නෙ ? ගොඩක් දේවල් නැතිවුනා මට..

    මට මාව අහිමි කර නොගැනීමයි මගෙ ජිවිතේ දිර්ඝකාලින සැලසුම..

    මම ශක්තිමත් ගැහැණියක් මිස අමු ගොබ්බ දුර්වල එකීයක් නොවන බව ලෝකයාට නෙමේ මම විසින් මටම ඔප්පු කර පෙන්වීම.. ඒකයි මගේ goal එක..

    මම බොලඳයි.. මම ආසයි මගෙ බොලඳකමට. මම ඒක විඳිනවා. ඉතා සතුටින්.

    ජිවිතේ පුංචි පුංචි සතුටු දේවල් මම දැන් මගේ ලෝකෙ තනියම සමරනවා..

    මට දැන් ඉන්නෙ මම විතරයි. මට මාව ඇති.. මට මගේ හීන පස්සෙ හඹායන්න මට මාව විතරක් හොදටම ඇති..

    මගේ ජිවිතේට උවමනාම දේ සතුටයි.. !!

    මේ මම මහ පරිමාණව සතුට හොයාගෙන යන අවුරුද්දක්...!

    හැමෝටම සතුට පිරුණ අලුත් අවුරුද්දක් වේවා!!

    මතක එක් කර කියනු හැකිනම්
    අකාලේ මුණ ගැසීම
    වඩා රිද්දන දෙයකි හිතවත
    හිමිව යලි අත් හැරීම
    තබා යා හැකි නම් නුබේ ලඟ
    ආදරේ ගැන මැනීම
    හැකිය හදවත ගලවලා නුඹේ
    දෙඅත මැද්දෙහි තැබීම
    බැස ගියායින් පසුද අහසක
    සඳක් ගැන කවි ලිවීම
    ප්‍රේමියේ ප්‍රේමයෙම හැටියකි
    නොලද මුත් තව විඳීම
    පෑරුවද මතකය උමතු වී
    නුඹේ උවනත දැකීම
    වරක් නොව තව වරක් පුළුවනි
    හදවතක් ඉන් නිවීම❤️

    ReplyDelete
  4. පුක්කුස වගේ පඬිවරු ටික වටේ තියන්
    වේදේහත් රට කෙරුවා කලක හිටං
    අමන රැලක් වට කරගෙන උඩ කරණම්
    ගහන්න යන රජවරු වෙනවා සල්ලං

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිදී ලංකාවේ ආණ්ඩුවත් ඉස්සර අපි ලංකාවේ හිටපු කාලේ පෙන්නපු චිත්‍රපට වගේ, මතකද ඒ දවස්වල වියලි කලාපේ හුලං සැරට කොල සරබර ගාන තඩි මාර ගහයි,සරමක් කැහැපොට ගහගෙන බිම ඉඳගෙන ඉන්න හේමසිරි ලියනගේ උන්නැහේයි, දූවිලි අවුස්සගෙන වැව් බැම්මෙ යන පරණ කොට ටාටා බස් කබලයි, වැව් පිට්ටනියේ බිම වැටිලා තියන පරණ හරක් ඔලු කටුවයි පෙන්නන ෆිල්ම් අතරින් මෙහෙම දෙයක් හරි තියෙන්න ඕනේ නේද?

      Delete
    2. තව පොඩ්ඩක් අල්ලන් ඉමු මචන්.. දිරච්ච ගහ කඩන් වැටුනොත් හුගක් විට ගහේ වහපු ගිජු ලිහිනියොන්ට යන එන මන් නැතිවෙයි ... 🥲😪

      Delete
  5. මාතලන් මම lawyer කෙනෙක් හෝ tax professional කෙනෙක් නෙවේ. නමුත් දන්නා දේ කියන්නම්.

    රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර ඇති වයස දහ අටට වැඩි හැමෝම ටැක්ස් ෆයිල් එකකට Register නොවුණොත් ඔබේ ආදායම් තත්වය කුමක් උනත් දඩයක් වදින්න පුළුවන් (50,000 හෝ ඉට අඩු).

    හැබැයි සාමාන්‍ය ක්‍රමය අනුව නම් ඕකේ register උනා කියල tax ගෙවන්න වෙන්නේ නැහැ ඔබේ ආදායම් අඩුයි නම්.අනිත් බොහෝ රටවල ක්‍රියාත්මක වන ක්‍රමයක් මේ.

    ලංකාවේ ආර්ථික කඩාවැටීමට හේතු උන ප්‍රධාන කාරණයක් තමයි රජයට අවශ්‍ය තරං ආදායම නොලැබීම (වියදම ට සාපේක්ෂව). ඉතින් රජයට අවශ්‍ය ආදායම ලබාගන්න මේ ක්‍රමය පිටුවහලක් වෙන බව සිතිය හැකියි.

    මගේ පුද්ගලික අදහස මෙක හොඳ දෙයක්. අපි වගේ විදේශගත අය වගේම ලංකාවේ ඉඳගෙනත් නිවැරැදි විදියට සල්ලි හොයන සාමාන්‍ය මිනිස්සු හෝ, නීත්‍යනුකූල ව්‍යාපාර කරන අය මෙකට බය වෙන්න ඕන නැති බවයි මට හිතෙන්නේ.

    මේක හරියටම ක්‍රියාත්මක වෙනවා නම් බය වෙන්න ඕනෙ නීත්‍යනුකූල නොවන විදියට මුදල් උපයන අය, කලු සල්ලි තියන අය, වගේ අය වියයුතුයි. පේන විදියට එහෙම අය සාමන්‍ය ජනතාව බය කරලා එයාලට ඕනේ වැඩ කරගන්න යනවා මම හිතන්නේ. (අපට ආරංචි විදියට බහුතර දේශපාලන set එක මෙකට විරුද්ධ බවයි)

    හැම දෙයක්ම transparent වෙන්න ඕනේ. Tax වලින් කරන දේ දැනගන්න අපිට අයිතියක් තියනවා.

    දැන් තමන්ගේ සල්ලි තමයී රජය වියදම් කරන්නේ කියන එක වෙනදාට වඩා ඔලුවට ගිහිල්ලා තියන හන්දා සාමාන්‍ය අයත් ඒ ගැන උනන්දු වෙන එක ඉතාම හොඳයි. දැන් රජය පිස්සු වැඩ වලට සල්ලි යොදවන කොට අපි ප්‍රශ්න කරමු. අවශ්‍ය අයට විරුද්ධව නීති මාර්ගයට බහිමු. ඒවා ක්‍රියාත්මක කරන්න හදන අය ඊළඟ ඡන්දයෙන් ගෙදර යවමූ.

    රජයේ බදු ආදායමින් ලැබෙන මුදල් අවභාවිත වෙන ප්‍රධාන තැනක් රාජ්‍ය සේවය. මතක විදියට රාජ්‍ය වියදම් වලින් ලොකු ප්‍රතිශතයක් යන්නේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට. ඒවාට හේතුව කිසිම සැලසුමක් නැතිව වැඩක් නැති විදියට රාජ්‍ය සේවය වැඩි කරපු එක. අනික තේරුමක් නැති ගොඩනැගිලි සහ සමහර අනවශ්‍ය පාරවල් හදන ඒවාට.

    ඔය වගේ දේවල් ගැන ප්‍රශ්න කරමු.

    1 ) මෙම බදු ලියාපදිංචිය ගැනීම/නොගැනීම මත සිදුවිය හැකි නිතිමය තත්වය,

    2 ) කඩ කළ පුද්ගලයින් සඳහා දිය හැකි අවම /උපරිම දඩුවම.

    3) රටේ පවතින ආර්ථික බිදවැටීම හමුවේ මෙය ක්‍රියාත්මක කිරිමේ හැකියාව.

    4) පුරවැයෙකු ලෙස මානව හිමිකම් උල්ලංඝනය විමක් සිදු වන බව තහවුරු කිරීමට අදාල නිතිමය තත්වය.

    5) දඩුවමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් නීතියක් ඇතුළත් කිරීමේ දී සැලකිලිමත් වන නිර්නායක.

    6) පුරවැසියන් පිඩාවට පත් වන බව හැගේ නම් එවැනි නීතියක් දණ්ඩනීති සංග්‍රහයට ඇතුළත් කළ හැකි ද

    මේ සියල්ල සදහා පිලිතුරු ලබා දිය හැකි නීති වේදියෙකු නෙත් ගැටෙවා

    * මෙමගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ/දණ්ඩ නීති සංග්‍රහය හෑල්ලුවකට ලක් නොකරන අතර අධිකරණය ස්වාධීනත්වයටද බලපෑම් නොකරමි.

    ලංකාව තුල නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවන නිසා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පරමාර්ථය කර ගනිමින් මම මෙම කරුණු විමසීම සිදු කොට ඇත. බොහොම ස්තූතියි.

    ReplyDelete
  6. මෙහෙමයි මාතලන් ලංකාවේ රජයේ නව ප්‍රතිපත්තිය අනුව 2024 ජනවාරි 01 වෙනිදා වෙනකොට වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් Tax file එකක් open කළ යුතුයි.

    මුලින්ම කියන්න ඕනෙ tax file එකක් open වුනු පමණින් tax ගෙවන්න ඕන නෑ. ඒකට ඔයාට බදු අය වන ආදායමක් (Taxable Income) තියෙන්න ඕන. අවුරුද්දට 1,200,000 ක ආදායම ඉක්මවා යන කෙනෙක්ට බදු ගෙවන්න සිද්ධ වෙනවා.ඒ නිසා පටලවගන්න එපා.මෙතන සිද්ධ වෙන්නේ 18 ට වැඩි අය බදු සදහා registration එකක් මිසක් 18 ට වැඩි හැමෝම බද්දක් ගෙවන්න ඕන කියන එක නෙවෙයි.

    ඒකෙදි වෙන්නේ TIN - Tax Identification Number (බදු හඳුනාගැනීමේ අංකයක්)දෙනවා විතරයි. Register උනා කියල බදු ගෙවන්න ඕන නෑ. මේකට register වෙන්න පුළුවන් online.

    මේ සඳහා www.ird.gov.lk website එකෙන් ලියාපදිංචිය කරගන්න.

    Registration එක වගේම Payments, Returns submit වගේ දේවල් දැන් online කරගන්න පුළුවන්.එහෙම බැරිනම් ළඟම තියන දේශීය ආදායම් බදු කාර්යාලයට ගිහින් මේ වැඩ ටික කරගන්නත් පුළුවන්.

    අපි බලමු කාටද දැන් Tax ගෙවන්න වෙන්නේ කියලා. ලංකාවේ නේවාසිකයෙක් විදියට සලකන හැම කෙනෙක්ම, ඒ කියන්නේ ලංකාවේ ඔයා දවස් 183 ට වඩා වැඩිපුර ඉන්නවනම් ඔයා නේවාසිකයෙක් විදියට තමයි සලකන්නේ.

    ඊට වඩා අඩුවෙන් ඉන්නවනම් අනේවාසිකයෙක් (Non Resident) විදියට තමයි Tax වලදි සලකන්නේ.
    මේක මං මෙතනදි කීවෙ පොඩි හේතුවක් නිසා.

    ඒ තමයි, ඔයා නේවාසිකයෙක් නම්, ඔයා ලංකාවෙ උපයන ආදායම් විතරක් නෙවෙයි ඔයා වෙනත් රටවල් වලින් ආදායම් උපයන කෙනෙක් නම්,ඔයා අනිවාර්යයෙන්ම tax ගෙවිය යුතුයි. නමුත් අනේවාසිකනම් විතරයි ඔයා ලංකාවේ උපයන ආදායමට විතරක් tax ගෙවිය හැකි වෙන්නේ. විදේශ රටවල සේවය කරන දවස් 183 කට වැඩිය කාලයක් පිටරට ඉඳගෙන වැඩ කරන කෙනෙක්ට ලංකාවේ දැනට පවතින ආදායම අනුව පමණක් ටැක්ස් ගෙවන්න ඕන අනිත් ආදායම බදුවලින් නිදහස්

    දැන් ඔයා හිතනව ඇති ඔයා මේ හොයන මුලු ආදායමටම ඔයා tax ගෙවන්න ඕනද කියල
    නෑ..

    ඔයා ලංකාවේ ඉඳගෙන අවුරුද්දකට 1,200,000ට වඩා ආදායමක් උපයනවනම් මේ ඔක්කොටම tax ගෙවිය යුතු නැහැ.මේකෙන් යම් අඩු කිරීම් කරන්න ඉඩ දෙනවා.

    ♦️කුලී ආදායම් වලින් යම් අඩු කිරීමක්
    ♦️ගෙදර solar panel එකක් තියනවනම් උපරිම 600,000ක්
    ♦️ලංකාවෙ අනුමත පුණ්‍ය ආයතනවලට කල පරිත්‍යාග

    මීට අමතරව මේක තව අඩු කරගන්න ඔයාට පුළුවන් Tax advisors ලගෙන් සහය අරන්.

    මෙහෙම අඩු කිරීම් කලාට පස්සෙ ඉතිරි වෙන මුදලෙන් 1,200,000 ක් බද්දෙත් නිදහස් වගේම

    ඉතිරි,

    ♦️පළවෙනි 500,000 - 6%
    ♦️දෙවෙනි 500,000 - 12%
    ♦️තුන්වෙනි 500,000 - 18%
    ♦️හතරවෙනි 500,000 - 24%
    ♦️පස්වෙනි 500,000 - 30%

    ඉතිරි balance එකට 36% ත්
    විදියට Tax ගෙවීම් කරන්න සිද්ධ වෙනවා.

    සාරාංශ කලොත් ඔයා අවුරුද්දකට ලක්ෂ 37කට වඩා වැඩිපුර ආදායමක් ගන්නව නම් ඔයාගෙ ආදායම 36 % දක්වා Tax වෙනවා.

    VAT
    °°°°°

    VAT එක අපි හැමෝටම බලපානවනෙ.ඉතින් මේක ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඉමු.

    මුලින්ම පහුගිය ගෝටාභය රජය යටතේ මේ VAT එක තිබුනේ 8% ට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආපසු කෙමෙන් කෙමෙන් ඒක 12% , 15% ටත් වැඩි වෙලා දැන් 18% වෙලා.

    ගොඩක් භාණ්ඩ වලට මේ පාර VAT ගෙවන්න වෙනවා කියල කවුරුත් දන්නවනේ.ඒ අතරින් VAT වලින් නිදහස් භාණ්ඩ කිහිපයකුත් තියෙනවා.

    ♦️ළමා කිරිපිටි
    ♦️ආබාධිත අය පාවිච්චි කරන උපකරණ
    ♦️රෝහල් කාමර ගාස්තු
    ♦️පාන් පිටි
    ♦️සහල් පිටි
    ♦️සහල්
    ♦️ඖෂධ

    වගේ භාණ්ඩ 43ක් විතරයි මේ පාර VAT වෙන්නෙ නැත්තේ.

    එතකොට සමහරු කියනවනේ 3% යි VAT වැඩි වෙන්නේ කලින් තිබුනේ 15% නිසා කියල.
    නෑ.
    එහෙම වෙන්නේ කලින් VAT වුනු භාණ්ඩ ටික ඒ විදියටම මේ අවුරුද්දෙත් VAT වෙන නිසා ඒ ටික විතරක් 3% කින් වැඩි වෙලා.අලුතින් VAT වුනු භාණ්ඩ ටික 0% සිට 18% තෙක්ම වැඩි වුනා. ඒ හින්දා ඒ කාරණා දෙක පටලගන්න එපා.

    විශේෂම කාරණය තමයි මේසැරේ VAT registered නැති කිසිම ආයතනයකට ඔවුන්ගේ විකුණුම් මිලට VAT එක එකතු කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ.

    මගෙන් කිහිපදෙනෙක් අහපු ප්‍රශ්න ටිකක් අනුව තමයි මම මේක ලිව්වේ.මේ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.

    මේවා ගැන දැනටමත් දන්න අයත් ඉන්නවා.නොදන්න කෙනෙක් හරි මේ ගැන පැහැදිලි අවබෝධයක් නැති කෙනෙක් හරි ඉන්නවනම් අදහසක් ගන්න තමයි මම මේක දැම්මේ. කියවපු හැමෝම idea එකක් ගන්න ඇති කියල මං හිතනවා.

    ReplyDelete
  7. අයිසේ, මාතලන් දැන් ඉගෙන ගන්නේ නැතුව ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන් කියලා පොර ටෝක් දෙන උන් ලංකාව පුරාම වැහි වැහැලා, ඔහොම පොර ටෝක් දුන්න සමහරක් ඔන්ටපනර්ලා හෙනට හොර ගේම් දීලා මාට්ටු වෙලා හිරේත් හිටියා පහුගිය දවස්වල

    ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන 8ක්. ඒ අතරින් විධිමත් අධ්‍යාපනයක් නැතුව ජීවිතේ අති සාර්ථක කරගත්ත ක්‍රීඩකයො, නලු නිලියො, ව්‍යාපාරිකයො සහ වෙනත් රැකියා කරන අය සිය ගණනක් ඉන්නව.මේ ප්‍රතිශතය ලෝක ජනගහනයෙන් ඉතාම සුලු නොගිනිය හැකි තරමේ බින්දුවයි දශම බින්දුවයි බින්දුවයි බින්දුවයි ගණන්වල ඉතාම ක්ෂුද්‍ර ප්‍රතිශතයක්.

    ඒ විදියට සාර්ථක උන ප්‍රතිශතයට වඩා අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම නිසා නන්නත්තාර උන ප්‍රතිශතය අතිශය විශාල ගණනකින් වැඩී. උදාහරණ විදිහට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අයගෙන් අතිශය සුළු ප්‍රමාණයකට අතිශය සාර්ථක සිට සාමාන්‍ය තරමේ සාර්ථක විය හැකි වුණත් අති බහුතරය ඉතාම අසාර්ථක වී වෙනත්ම ක්ෂේත්‍ර වල ඉතාම සාමාන්‍ය මට්ටමේ රැකියා වලට විසිවෙනවා

    ඒ වගේම විධිමත් අධ්‍යාපනය නිසාම ජීවිතේ සාර්ථක කරගත්ත දොස්තරවරු, ඉංජිනේරුවන්, කලමනාකරුවන්, තාක්ෂණික දැනුම ඇති විශේෂඥයන් ව්‍යවසායකයන්, පරිපාලන දැනුම ඇති ව්යාපාරිකයො පරිපාලන නිලධාරීන් ඇතුලු වෙනත් රැකියා කරන විශාල පිරිසක් ඉන්නව. මේ ප්‍රතිශතය උඩ කිව්ව ප්‍රතිශතයට වඩා අතිශය විශාල ඉතාම ඉහල අගයක් ගන්නව. හොදට ඉගෙනගෙන ජීවිතේ අසාර්ථක උන අය ඉන්නෙ ඉතාම අතලොස්සක්. ලංකාවේ සමහර කලා උපාධි වගේ කරපු පිරිසක් හැරෙන්න වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන අධ්‍යාපනය ලබපු අය හැමෝම වගේ සාර්ථකව රැකියා හෝ ව්‍යාපාර කටයුතුවල යෙදෙන බව පැහැදිලිව පේනවා

    හැබැයි මේ දවස්වල ලංකාවේ youtube , facebook ඇතුලු හැම තැනම promote කරන්නෙ ඉගෙනගන් නැතුව ගොඩයන ක්‍රම. ඒකට හේතුව විදිහට මම දකින්නෙ මහන්සි නොවී ලේසියෙන්ම පහසුවටත් ඉතාම ඉක්මනටත් සාර්ථක වෙන්න මිනිස්සුගෙ තියන ආශාව.

    ඒක නිසා ඔහේ රැල්ලට අධ්‍යාපනය බල්ලට දමල ගහල වෙන මොනවහරි දෙයක් කරන්න කලින් තමන් කව්ද , තමන්ගෙ හැකියාවන් මොනවද, තමන්ගෙ හැකියාවම තියන ඒ දේම කරන අනිත් අයට සාපේක්ෂව තමන් කොතනද ඉන්නෙ, මේ කරන්න යනදේ අනාගත අවධානම මොකක්ද කියල සිය පාරක් වත් කල්පනා කරන්න කියලා නූතන තාරුණ්‍යය දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.

    හුගක් ලේසී O/L fail වෙලා ප්‍රකෝටිපතියෙක් උන මිනිස්සු දෙතුන් දෙනෙක් පෙන්නල පරම්පරාවක් නොමග යවන්න. හැබැයි ඒ පස්සෙ ගිහින් ලක්ශ ගානක් තරුණ ජීවිත සම්පූර්ණයෙන්ම විනාස උනාම උන්ගෙ ජීවිත ආපහු ගොඩ ගන්න එක ලේසි නෑ ! ඒක ගැන කියන එකත් අපේ වගකීමක් නේද?

    ReplyDelete
  8. අඩෝ ගෝතලන් බොලාගේ රනිල් හාමුදුරුවන්ට කියාපිය ආණ්ඩුවේ බදු සල්ලි Global Life style Lanka එකේ දාල බලන්න කියලා 😃😄😅🤣😂

    පහුගිය දවසක ෆෝන් එකෙන් උඩට පහළ ට යනකොට මම දකිනවා ෆෝන් එකෙන් දැන්වීම් ලියලා පැය දෙකක් වැඩ කරලා සුමානෙට දහ අටදාහක මුදල් උපයන්න පුලුවන් කියලා ඇඩ් එකක්.ලස්සනයිනෙ .හිත යනවා ඉතිං .මං ගොනාත් කතා කලා.බොහොම හොඳට කතා කලා මනුස්සයෙක්.රෑට සූම් මීටින් එකක් තියෙනවා කියලා ජොයින් වෙන්න කිව්වා කෝඩ් එහෙමත් එව්වා.ජොයින් උනා.සුපිරි .ආයෙ ඉතිං ගෙදර ඉඳලා අවුරුද්දක් ඇතුළත මං ගොනා ගේත් හදලා වාහනත් අරන් බිස්නස් එකකුත් දාලා රටත් ගිහින් හම්මට සිරිවෙයි ඕයි මම ඒ ගහපු ප්ලෑන සුපිරි ඈ.

    දෙවෙනි දවස උන්ගෙ ඔෆිස් එක තියෙන්නෙ මහරගම කියලා එන්න කිව්වා.මොන මරාලෙට කරගහන්න යනවද දන්නෙ නෑ කියලා අපේ හාමිනා මට බැණ බැණ ආවා මා එක්ක.ගියාම කෑමට කියලා දාහක් ගත්තා.කමක් නෑ.කන්නනෙ.දුන්නා.කොහොමත් විසිපහක් විතර ඇවිත් හිටියා.විස්සෙ කොලුවෙක් දා හතේ කොලුවෙක් ඇරුනම අනික් ඔක්කොම තිස් ගණං හැට ගණං අතර ගැහැනු පිරිමි.

    ඔන්න දේශනාව පටන් ගත්තා.සරලවම කියනවනම් ඒක සුපිරි.උං කියන විදිහට අවුරුද්ද ඉවරවෙද්දි අපිට කෝටිගාණක් ලැබෙනවා මුදල්.අපිට කරන්න තියෙන දේ නෙවෙයි උං කියන්නෙ .අපිට ලැබෙන සල්ලි .

    තුන් දෙනෙක් කතා කලා.එක්කෙනෙක්ගෙ මේකට සම්බන්ද වෙන්න කලින් ජීවත් වෙච්ච අන්ත දුගී පැල්පතයි දැන් ඉන්න මාලිගාවයි දැන් පදින බෙන්ස් එකයි පෙන්නුවා.ඒ මනුස්සයත් හෙන පෝසත් පාටයි .ඉතිං ඒ මනුස්සයා අවුරුදු විසිහතරෙදි මේකට ජොයින් වෙලා තිස් තුන වෙනකොට කෝටිපතියෙක් උනාලු.අනික් දෙන්නත් වාහන අරන් ටුවර්ස් ගිහින් ගෙවල් හදලා සුඛෝපභෝගී ජීවිත ගතකරන ගමන් අනික් මිනිස්සුන්ගේ සුභ සිද්දිය උදෙසා මෙහෙම උදව් කරනවා කිව්වා.
    .
    අම්මපා බ්‍රේන් වොෂ් කරනවා කිරිල්ලක් වෛද්‍ය වෘත්තීය තියෙන්නෙ හැත්තැපස් වෙනි තැනලු ආර්තික වටිනාකමින් .උං ඉන්නේ හතරවෙනි තැනලු.හැබැයි තාමත් උං කියන්නෙ නෑ අපිට මොකක්ද කරන්න තියෙන්නෙ කියලා .කොහොමහරි ලක්ෂ ගානක් ණය තියෙන මිනිස්සු එතනට ඇවිත් හිටියා.ඒ මිනිස්සුන්ගෙ ණය ඔක්කෝම ගෙවෙන හැටි රූපසටහන් ගණං හදලා මේ පුද්ගලයා කිව්වා .ඒක අහගෙන ඉද්දි ඉතිං අනේ අම්මපා ඒ වැඩේ තමා ජීවිතේ ගොඩ යන්න තියෙන එකම දේ කියලා හිතෙනවා .

    කෝමහරි අංතිම පැය බාගෙ තමා උං කියන්නෙ අපි කරන්න ඕනෙ දේ.උංගේ ප්‍රඩක්ට් තියෙනවා .ලක්ෂ තුන ලක්ෂ දෙක ලක්ෂ එකයි විසිපහ වගේ.සෝලා සිස්ටම් මොකක්ද ගැජමැටික් කෑල්ලක් වතුර ෆිල්ටර් ,ඔරලෝසු, හෝම් තියටර් සිස්ටම්, පෝසිලෙන් බාජන.ඕවා තමා ලක්ෂ ගණං වලට යන්නේ.අපි කරන්න ඕනෙ දෙදාස් පන්සිය ගානක් දීලා රෙජිස්ටර් වෙලා අර භාණ්ඩෙ ගන්න ඕනෙ.ඊටපස්සෙ අපි ත් ඇඩ් එකක් දාන්න ඕනෙ ගෙදර ඉඳලා මෙච්චරක් ගන්න අමතන්න කියලා .ඔන්න මං වගේ ගොං ගස් කතා කරනවා.එතකොට මං උංට පැහැදිලි කරනවා.උං ඊටපස්සෙ අර මම ගියා වගේ පච අහන්න යනවා.පච අහලා මොළේ හෝදන් සල්ලි ගෙවලා අර මෙලෝ වැඩක් නැති මකබාව ගන්නවා.අන්න එතකොට මගෙ එකවුන්ට් එකට සල්ලි දානව( ලු) එතකොට මාව සම්බන්ද කරගත්ත එකාටත් සල්ලි යනවා.ඌව සම්බන්ද කරපු එකාටත් යනවා.ඌව සම්බන්ද කරපු එකාටත් යනවා. හැබැයි පුතා මේක පිරමීඩ නෙවෙයිලු.

    කොහොමහරි වැඩේ ගැන අපැහැදිලි කමක් තිබ්බා මට.ආ තව එකක් ඒ දේශනේට ඇවිත් රෙජිස්ටර් උනාට පස්සෙ බඩුවත් ගත්තට පස්සෙ දවස් දෙකක වර්ක් ෂොප් එකක් තියෙනවා දුරක.එහෙ හොටෙල් එකක නැවතිලා ආපහු මොළ හෝදන වැඩක්.උං ඒක කොහොම කියනවද කියන්නෙ ආයෙ ඉතිං නොගොස් ඉන්න්නට බැරිය තමා.කෝමහරි අපි රෙජිස්ටර් උනේ නෑ.අනේ යකෝ මට ඊයෙ ඉදලා කෝල් වොයිස් මැසේජ් කොච්චර ද දන් නෑ.

    සෑර් මේක කරන්න අනිවාර්යයෙන් කරන්න .සෑර් අනිවා එනවද

    සල්ලි බඳිනවද

    පුදුම උනන්දුවක් තිබ්බේ අපිට සල්ලි අරන් දීලා අපේ අනාගතේ හදන්න.මොකද අපි රෙජිස්ටර් උනොත් උංට අනිවාර්යයෙන් ස්ල්ලි ලැබෙනවා ඇති.උං තමා මේ පිරමීඩේ මුල්ම පුරුක්.අදත් කෝල් කලා.වොයිස් මැසේජ් ආවා .මම කිව්වා මේක හරියන්නෙ නෑ.අපි කැමති නෑ කියලා .යකඩෝ මූ වොයිස් මැසේජ් එවනවා කොන්ද පණ නෑ ඔයාගෙ.බයවෙලා.අපි නම් සැලෙන්නෙ නෑ.අපි ට තේරුනා ඔයාගෙ මොලේට 🐓 කොටනවා කියලා .මේක සුපිරි වැඩක් ගගා අංතිමට මිනිසා කෝල් කරලා කිව්වා ආපහු මේකට කොෝල් කරන්න එපා අපි ඕක කරන්නෙ නැෑ කියලා .

    ඒක ඇත්තටම හෙනම ජාවාරමක්.හැබැයි ඔය ඇඩ් එක දැක්කම කතා කරන්න හිතිලා කතා කලොත් ඉතිං බඩුම තමා.මොකද ඒ මනුස්සයෝ පට්ට මොළ හේදිල්ලක් හෝදන්නේ.අංතිමට අතේ අමාරුවෙන් ඉතුරු කරගත්ත තුට්ටු දෙකත් නැති කරන් එන්න වෙන්නේ.

    මේ ටිකේම ඇඩ් යනවා ගෙදර ඉඳලා සල්ලි උපයන විදිහ ගැන.අවසානය මේක තමා.කෝටිගණං තියා අපි ගන්න මෙලෝ වැඩ්ක් නැති බඩුවේ සල්ලිවත් අපිට ලැබෙන්නෙ නෑ.හැබැයි උංගේ දේශන ඇහුවොත් බඩුම තමා. ආයෙ ඉතිං අහුවෙන්නෙපා හැබැයි හරිද 🙏

    ReplyDelete
  9. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරපු ඔය මිනිස්සුන්ට පාන් කියාගන්න බැරි තරමට බරපතල ලෙස බදු වැඩිකිරීම කියන කිඹුල කනවටත් වඩා අමාරු පොරගේ කොහිල කටු තමයි මේ බදු ගෙවන්න තියෙන ක්‍රමවේදය නිසා ඇතිවෙච්ච මහා වධය, ලංකාවේ ඔය ලක්බේ බදුගෙවිල්ලත් මහා පණයන වැඩක්. හරි නම් අපෙන් අයවියයුතු බද්ද IRD එක අපෙන් අයකරන්න ඕන අපිට කරදර නොකර පුලුවන් තරම් මහජන සහාය සහිතව.

    ඒ වෙනුවට දැන් වෙලා තියෙන්නේ එක අපිම සේරම වැඩ ඇරගෙන දවස් ගණනක් මහන්සි වෙලා සේරම හදලා form වර්ග දහයක් දොළහක් විතර හරියටම පුරවන විදිය ගැන හොයල බලල සේරම විස්තර දැනගෙන පුරවලා සියලුම අවශ්‍ය කරන කිසිම අදාලත්වයකුත් නැති බහුබූත supporting document අටෝරාසියක් attach කරලා අපිම වැඩ සේරම ඇරගෙන ගිහින් පෝලිම් වල කට්ට කාගෙන කාගෙන වද විඳලා බද්ද බැංකුවට ගෙවලා රිෂිට් එකක් අරගෙන ඒගොල්ලන්ට ඒ රිසිට් ගිහින් පෝලිමේ ඉඳලා වැඩ ඇරගෙන ඒක බාර දීලා සේරම ඕකේකර ගන්න ඕන. ලක්බේ ආදායම් බදු නිලධාරීන්ට කරන්න කිසිම වැඩක් නෑ, අඩුම තරමේ ඔය නිකම්ම ඉන්න වෙනත් රජයේ සේවයේ ලක්ෂ ගණනක හාල්පාරුවන්ට ඕකට හොඳම පුහුණුවක් දීලා බදු එකතුකර ගන්න යොදවන්න බැරිද රනිල්ට? එහෙම වත් කිසිම ආකාරයක දැක්මක් නෑනේ

    ඒ නිසා කියනවා මෙහෙම;

    මේ වසර තුල වයස අවුරුදු 18 ලබන හෝ සියලුම වයස දහ අටට වැඩි පුද්ගලයින් පෙබරවාරි 01 වැනිදා සිට බදු ලිපිගොණුවක් විවෘත කිරීම අනිවාර්ය වන අතරම ලංකාවේ සියලුම ලියාපදිංචි බැංකු සහ මූල්‍ය ආයතන වල ඉතිරිකිරීමේ හෝ ජංගම ගිණුමක් ආරම්භ කිරීම, ස්ථිර තැන්පතු, ඉඩම් නිවාස සහ දේපළ මිලදී ගැනීම සහ ගොඩනැගිලි සැලසුම් අනුමැතිය, ඕනෑම වාහනයක් ලියාපදිංචි කිරීම, ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම, සියලුම රජයේ ලියාපදිංචි වෘත්තීය ආයතන වල සාමාජිකත්වය ලබාගැනීම සහ ඉඩමක අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු ලියාපදිංචි අංකය (ටින් අංකය) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

    - පුවතක්

    ReplyDelete
  10. මම මගේ දරුවන්ට රසායන විද්‍යාව ඉගැන්වූවෙමි. ඒ අතර ජීවිතය ගැනද විනය ගැනද ඉගැන්වූවෙමි. ඔවුන් වැඩි දෙනෙක්ම අද දොස්තර වරුන් ඉන්ජිනේරු වරුන් විද්‍යාඥයන් වාස්තුවිද්‍යා ආකිටෙක්ට්වරුන් ගණකාධි කාරිවරුන් සහ වෙනත් වෘත්තීයවේදීන් ලෙස රටට සේවය කරන්නවුන්.ලන්කාවෙ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල.
    අද මා විස්‍රාමිකය .එහෙත් ඔවුන් අදත් මා බලන්නට එන්නේ හද පිරි දයාවෙනි. ඇත්තෙන්ම මට හරි සතුටුයි.

    ReplyDelete
  11. හති වැටිලා ඇති කියලා හිතෙන වෙලාවට තමයි තව පොඩ්ඩක් අමාරැවෙන් අල්ල ගෙන ඉන්න ඕනී....
    අමාරැම ඍතුව දරාගෙන පසුකරන්නට ධෛර්ය ඇති අයට තමයි වසන්තය හොදම සතුට සොම්නස ලබා දෙන්නේ...... 💫🌈

    ReplyDelete
  12. මාලදිවයිනේ ජීවත් උන, එහෙ තියන රිසොර්ට්ස් ගණනාවක් විගණනය කල කෙනෙක් විදියට ලංකාවේ සංචාරක කර්මාන්තය වගේම මාලදිවයිනේ සංචාරක කර්මාන්තය ගැන හොඳින් දන්නා මම මේකට කොමෙන්ට් එකක් දාන්නේ කිසිම අධ්‍යනයක් නැතිව ඔහේ දාන කොමෙන්ට්ස් තියන නිසා.

    මාතලන් දේශපාලනයට සම්බන්ධ පොස්ට් දමනවා නම් හැමෝමට අදහස් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න ඕනා. එහෙම නැත්නම් දේශපාලනය සම්බන්ධ පොස්ට් නොදා ඉන්න ඕනා. ඩයනා ගමගේ කියන දේවල ලංකාවේ බොහෝ ලෝකය නොදත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ලංකාවේ රජයට සංචාරක කර්මාන්තය කරන්න මැදිහත් වෙන්න ඕනා නැහැ, ලංකාවේ සංචාරක කර්මාන්තය කරන අති දැවැන්ත සමගම් ඔය FB එකේ ඉන්න බොහෝ බකපඩියන්ට වඩා Subject එක දන්නවා.

    බුකියේ ඉන්න රට ගොඩනැගීමට උපදෙස දෙන අය හරියට අර බුකියේ ක්‍රිකට් විචාරකයෝ වාගේ. කවදාවත් හර්ඩ් බෝල් ක්‍රිකට් ගහලා නැහැ, නමුත් දසුන් සානකගේ වැරදි කියනවා.

    උදාහරණ විදිහට මාලදිවයින කියන්නේ කරගන්න වෙන මොකුත්ම නැති නිසා සංචාරක කර්මාන්තය කරන කරක්. රටක් එකම කර්මාන්තයකට කොටු වෙන එක ඉතා අවදානම්.

    අනෙක ස්වබාව සෞන්දර්ය ලංකාවේ හෙන ඉහලයි කියලා සමහරු හිතන් උන්නට ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉතාලිය, ඉන්දියාව, ඔස්ට්‍රියාව වගේ රටවල ස්වබාව සෞන්දර්ය කියලා නිම කරන්න බැහැ. ලංකාවට වඩා මාලදිවයිනේ වෙරල ස්වාබවයන්ම ලස්සනයි, පිරිසිදුයි, රළු නැහැ.එකට හේතුව ඒ රටවල ගස්කොලන්, කඳු ආදිය නැති කම. මුහුදට හොදන් එන්න අපිරිසුදු දේවල් නැති කම. ලංකාවේ මුහුද රළුයි. ,මුහුදු ජලය අපවිත්රයි. මේ සබ්ජට් එක කරන අය මේවා නොදැන අතපත ගානවා කියලා හිතන්න එපා. මාලදිවයිනට එන්නේ මුහුදට ආසා කරන අය, කිමිදෙන්න කැමති අය. එහෙම නැතිව ඒ අය තේවතු බලන්න ආසා නැහැ. සංචාරක කර්මාන්තයේ නිච් තියනවා. ඒවා විශේෂිත සංචාරක කණ්ඩායම්. ඒ අයව වෙන දේවල් වලින් ආකර්ෂණය කරන්න බැහැ. මාලදිවයිනේ යන්නේ අධි සුකොපබෝගී සංචාරක කර්මාන්තයක්. එය වියදම් ඉතා ඉහලයි. ලෝකේ ප්‍රශ්නයක් වෙලා සංචාරකයන් එන එක නැවතුනොත් හෝටල් බංකොලොත් වෙනවා. ලාබය ඉහලයි වගේම ඉතා අවදානම් වෙළඳපොළක් ඒක. මාලදිවයිනත් ලංකාව වගේ බංකොලොත් වෙලා IMF එක තමා ගොඩ ගත්තේ. ඒක මාතලන් ලියලා නෑ මෙතන...

    ReplyDelete
  13. දැන් ජෙප්පන්ට සම්බන්ධවෙලා ඉන්නව උපාධිකාරයො පිරිසක්. මේ අතරේ ලෙක්චර්ස්ලා, දොස්තරලා, ඉංජිනේරැවො වගේ අයත් ඉන්නවා. මුංට අර වියත්මගේ එවුංට වගේ කිසිම ප්‍රායෝගික දැනුමක් නෑ. අමු මැටි ගොන්නු. මුං කරන්නෙ වෛරී දේශපාලනය. අනුර කුමාරය ඇතුළු සෙට්එක කවදාවත් රාජ්‍ය බලය නොගත්ත නිසා උන්ට කටට එන දෙයක් කියන්න පුළුවන්. රටේ ණය කළමනාකරණය කරගන්නෙ කොහොමද? විදේශ ආයෝජනවලට ඉඩ දෙනවද? Tax අඩුකරනවද? ඉන්ධන, ගෑස්, පොහොර ලාබෙට දෙනවද? මේවට මුංට උත්තර නෑ. ජෙප්පො සහ උන්ට රැවටිලා ඉන්න ගොන්නු හිතන්නෙ හිටපු ජනාධිපතිවරැන්ගෙ සහ මන්ත්‍රීවරැන්ගෙ විශ්‍රාම වැටුප් නැතිකළාම රට දියුණු වෙනවයි කියල. මොන තරං ගොං කතාවක්ද. හිටපු මන්ත්‍රී ජෙප්පො ඔක්කොම වාහන පර්මිට් විකිණුවා, අදටත් විශ්‍රාම වැටුප් ගන්නවා. ලාල් කාන්තය පැරදිලත් මන්ත්‍රී නිළ නිවාසයකට රිංගගෙන ඉන්නවා. මුංට කවදාවත් ජනතාව බලය දෙන්නෙ නෑ. දැන් ලංකාවෙ කුලභේදය එතරම් සලකන්නෙ නෑ. ඒ උනාට ජෙප්පන්ගෙ බහුතරයක් ඉන්නෙ එවැනි කුළවල එවුං. ඒක අනෙක් මිනිස්සු ගණන් නොගත්තට, උංට ප්‍රශ්නයක්. හීනමානයක්. ජෙප්පන්ට අවශ්‍ය බෙහෙත් දෙන්න නම් සුදුසුම එකා රනිල්. කෝ දැන් පෙළපාලි? උස්ඝෝෂණ? වැඩවර්ජන? මොකුත්ම නෑ. ඒකම ලොකු දෙයක්. අනුර කුමාරයගෙ කයිවරැත් මේ මැතිවරණයෙන් අහවරයි. හරිනි දැනටම රනිල් එක්ක රහස් සාකච්ඡාකරල අවසන්.

    හඳුන්නෙත්ති කියන මේ හතරබීරි කතාව ඇහුවාද?

    මේකේ කතාව තියෙනවා

    https://shorturl.at/uBEI1

    ReplyDelete
  14. වැට් එක වැඩි කලා අයි.එම්. එෆ් හින්දා
    පඩි වැඩි කලා චන්දෙත් ඕනම හින්දා
    නාහන කෙනෙක් නාහෙට ජනපති හින්දා
    වාතෙට හොඳයි පිතටත් අගුනද මන්දා

    ReplyDelete
  15. රනිල්ගේ පාලනය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කොන්දේසි රාශියක් යටතේ ක්‍රියාත්මක වන ඔය වැඩසටහන ලංකාවට වැදගත් වෙන්නෙ ණය ප්‍රතිව්‍යූහගත කරගන්නට විතරයි. ඒ සඳහා ලංකාවෙ මූල්‍ය වගවීම ජාත්‍යන්තරයට පෙන්වන්නට ඕනැ. මූල්‍ය වගවීම සම්බන්ධයෙන් ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහතිකය තමයි ලොව පිළිගත් අයිඑම්එෆ් ආයතනයේ වැඩසටහන. ඊට වඩා දෙයක් ඒකෙ නැහැ. ඒකෙ තියෙන්නෙත් රටේ ආදායම් අනුව වියදම් තුලනය කරගැනීම.

    ලංකාවෙ රජයට ඔයිට වඩා සෙල්ලං දාන්න බැහැ. රජය පවත්වාගෙන යාම පවා දුෂ්කරයි. රටේ ජනගහනයෙන් 10%ක් ඍජුවම රජයෙන් වැටුප්, විශ්‍රාම වැටුප් ලබන අය. රජය සමග කොන්ත්‍රාත් කරන එක ව්‍යාපාරවලත් ප්‍රධානම කොටස. රජයෙන් අතින් කන මේ අය නඩත්තු කිරීම හා ඔවුන් නඩත්තු කිරීම සාධාරණීකරණය කළ හැකි මට්ටමින් මහජන සේවය තමයි රජය කරන්නෙ. කවුරු බලයට ආවත් මේ ක්‍රමය තව දශක ගණනකට වෙනස් කරන්න බැහැ.

    හැබැයි, රනිල් මේ රට හරි පාරට අරගෙන යාමට යන්තමින් පටන්ගෙන තියෙනවා. වෙන බහුබූතයෙකු ඇවිත් ආයෙ ට්‍රැක් පන්නන්න ඉඩ තියෙනවා. ඒ නිසායි අපි රනිල් රැකගන්න ඕනේ

    වර්තමාන ජනාධිපති රනිල් කියන්නෙත් එදා හිටපු රනිල්ම තමයි. මගේ වැඩේ මං කරනවා, උඹලගෙ වැඩේ උඹල කරපල්ලා කියන එක තමයි තියරිය. රනිල් වටේ කැරකිලා, ඔලුව කහ කහ, සේර් කියලා මොනව හරි තනතුරු කෑලි ටිකක් සෙට් කරගෙන රනිල්ගෙන් උලාකන හරක් ටිකක් රනිල් වටේ ඉන්නවා. සත පහක වැඩක් නැති ගොන් භිජ්ජො ටිකක්.

    මෙදාසැරේත් රනිල්ව ගොඩදැම්මොත් ගොඩදාන්නෙ මෙලෝරහක් නැති යූඇන්පිය නෙමෙයි, ඔච්චර බැනුම් අහන පොහොට්ටුවේ උන් ටික තමයි, මහින්ද රාජපක්ෂ පවුලේ සහාය සමගම, පොහොට්ටුවෙ රමේෂ්ලා කාංචනල දිලුම්ල ෂෙහාන්ල වගේ පොඩි එවුන් ටික, තව ලන්සලා, අනුර ප්‍රියදර්ශනලා, ප්‍රසන්නලා, චාමර සම්පත්ලා, රුවන් ෆර්ඩිනැන්ඩස්ලා වගේ අය තමයි.

    ඇත්තටම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අයිඑම් එෆ් එකට ඕන විදියට කරගෙන යන එක තමයි රනිල් වික්‍රමසිංහ උන්නැහේ කරන්නෙ. රටේ ජනතාව ගැන හිතල නිසිවිකල්ප වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නහැකි කිසිම දේශපාලන ව්‍යාපාරයක් රටේ නොමැතිවීම රනිල්ට අයි එම් එෆ් එක සතුටු කිරීමේ සහ ඔවුන්ගේ පොතේ හැටියට ඔවුන්ගේ භූදේශපාලනික න්‍යාය පත්‍රයට අනුව රටේ සියලුම ආර්ථික දේශපාලනික මර්මස්ථාන පාලනය කරගෙන යන්න හොඳ වාසිදායක තත්වයක් ඇතිකරල තියෙනවා. ඒකෙන් වෙන අවසන් ප්‍රතිඵලය බොහෝ දුරට දුර්වල ඉන්දියාවේ සහ ඇමරිකානු බලපෑම් වලට අනුව නැටවෙන සදාකාලික සංවර්ධනය වෙමින් පවතින පතෝල රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය උගුලක හිරවීමයි. අපට ඒකට කරන්න දෙයක් නෑනේ, ජනතාව බහුතරයකට කිසිම අවබෝධයක් නෑ ඔහේ එක එකා උන්ගේ ඇජෙන්ඩා වෙනුවෙන් හදන රැලිවලට අහුවෙලා රැල්ලට රගනවා විතරයි. ලංකාවේ තවමත් ඉන්න අනාගතයක් තියෙන තරුණ පරපුරට කළහැකි හොඳම දේ ලංකාව දාල වෙන සාර්ථක පැහැබර අනාගතයක් තියෙයි කියලා හිතෙන වේගයෙන් සංවර්ධනය වෙන හෝ සංවර්ධිත රටකට ඉක්මනට මාරු වෙන එක විතරයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න