පහතින් තිබෙන්නේ “The Lord of the Rings” චිත්‍රපටිය දෘෂ්ඨිවාදී විචාරයකට ලක් කිරීමට ගන්නා උත්සාහයකි. සාකච්ඡා වන දේවල් වලට අදාළ තොරතුරු මෙහි ඇතුලත් කරන්න හැකිතාක් උත්සාහ කළ ද මෙය මෙම චිත්‍රපටිය නරඹා ඇති අයට වඩාත් පහසුවෙන් ගෝචර වනු ඇත. 2024 වර්ෂයේ අපේ රටේ දේශපාලනයේ තිබෙනා තෝරා ගැනීම් පිළිබඳව සිතීමට මෙවැනි ප්‍රවේශයක් ප්‍රයෝජනවත් වනවා කියා අපි සිතමු. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙක් ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක දේශපාලන සංවිධානයකට අපේ රටේ රාජ්‍ය යන්ත්‍රණයේ සුක්කානම මාරු වීමේ ඉඩක් 2024 දී තිබේ. ‘ප්‍රභූන්’ වෙනුවට ‘ජනතාවගේ’ පැත්තේ සිට දේශපාලනයේ තීරණ ගැනීමේ අත්හදාබැලීමක් කිරීමේ ඓතිහාසික අවස්ථාවක් මෙමගින් අපට විවර විය හැක. මේ තිබෙන්නේ ඒ පිළිබඳව අප ඇති කරන්න උත්සාහ කරන සාකච්ඡාවක පෙරවදනකි.

***

J. R. R. ටෝල්කීන් ගේ සුප්‍රකට නවකතාවක් මත පදනම් වූ පීටර් ජැක්සන් ගේ ‘The Lord of the Rings’ චිත්‍රපටියේ තිබෙන්නේ මධ්‍යයේ පෘථිවිය (Middle Earth) ලෙස හැඳින්වෙන මනක්කල්පිත ලෝකයක දිගහැරෙන සිදුවීම් පෙළකි. එය අපේ ලෝකයට භූගෝලීයව සහ ස්වභාවිකව බොහෝ සමාන වෙයි. එහි මිනිසුන් සතුන් ගස් කොලන් ඇල දොළ ගංගා ආදිය තිබේ. භෞතික විද්‍යාවේ නියාම ධර්ම, ජීව විද්‍යාවේ නියාම ධර්ම ආදිය අඩු වැඩි වශයෙන් එලෙසම ක්‍රියාත්මක වේ.

නමුත් මෙය අපේ ලෝකයෙන් වෙනස් වන ලක්ෂණ ද තිබේ. පළමු වෙනස වන්නේ මේ ලෝකයේ මිනිසුන්ට අමතරව සිතීමේ හැකියාව ඇති තවත් ජීවීන් සිටීමයි. එල්ෆ්වරුන් ලෙස හැඳින්වෙන මිනිසුන්ට සමරූපී හම සුදු අමරණීය ජෛව විශේෂයක්. කුරු ජීවීන් (dwarves) ලෙස හැඳින්වෙන මිනිසුන්ට සමරූපී නමුත් බොහෝ කුරු සහ තරබාරු ජීව විශේෂයක්, හොබිට්වරු ලෙස හැඳින්වෙන හැම අතින්ම මනුෂ්‍යයන් හා සමරූපී වන නමුත් උසින් මිනිසෙකුට වඩා අඩක් පමණ වර්ධනය වන ජීව විශේෂයෙක්, ඕක්වරුන් ලෙස හැඳින්වෙන කළු, විරූපී පෙනුමක් ඇති ‘ම්ලේච්ඡ’ ජීව විශේෂයක්, උරුක්-හායි ලෙස හැඳින්වෙන තවත් එවැනිම කළු, කුරිරු, ‘ම්ලේච්ඡ’ ජීව විශේෂයක්, එන්ට්වරුන් ලෙස හැඳින්වෙන ඇවිදින ශාකයක පෙනුම ඇති ජීව විශේෂයක් ආදී විවිධ ජීව විශේෂ – මිනිස් වර්ගයාට අමතරව – මෙහි වාසය කරයි. එයට අමතරව මන්තරකරුවන් (wizards) ලෙස හැඳින්විය හැකි විශේෂ වර්ගයක චරිත කීපයක් ද මෙහි සිටියි.

මේ සියලු ජීව විශේෂ මිනිසුන් හා සම මට්ටමට දැමිය හැකි පොදු සාධකය වන්නේ ඔවුන් සියලු දෙනාට භාෂාව කතා කිරීමට හැකි වීම, ඇඳුම් පැළඳුම් සහිත වීම, තාක්ෂණික ඥානය තිබීම ආදී සාමාන්‍ය මිනිසුන්ගේ සුවිශේෂ ලක්ෂණ මේ සියලු දෙනාට උරුම වීමයි. පුළුල් අර්ථයෙන් සංස්කෘතියක් උරුම වන ජීව විශේෂ ලෙස මේ සියල්ල හැඳින්විය හැක.

නමුත් මේ ජීව විශේෂ අපට ඉතා පහසුවෙන් ‘යහපත්’ සහ ‘අයහපත්’ ලෙස වර්ගීකරණය කිරීමට හැකි වෙයි. පොදුවේ ගත්විට මිනිසුන්, එල්ෆ්වරුන්, කුරු ජීවීන්, හොබිට්වරුන් සහ මන්තරකරුවන් ‘යහපත්’ ජීවීන් වෙයි. ඔවුන්ගෙන් යම් යම් අය ඉඳ හිට දූෂිත චරිත බවට පත්වී අයහපත් වීමේ හැකියාව තිබේ (නිදර්ශනයක් ලෙස සිය ජෛවීය පක්ෂපාතීත්වයන් පාවා දෙන සරුමාන් නම් මන්තරකරුවා සහ ඔහුට උපකාර කරන ග්‍රීමා නම් මනුෂ්‍යයා ගත හැක). නමුත් පොදුවේ ගත්විට මෙම ජීව විශේෂ වලට අයත් වන්නේ යහපත් ජීවීන් ය. ඔවුන් නෛසර්ගිකව, ස්වභාවිකවම ‘හොඳ’ ජීවීන් ය.

අනෙක් අතට ඕක්වරුන් සහ උරුක්-හායිවරුන් වැනි ජීවීන් නෛසර්ගිකවම අයහපත් වේ. කතාවේ කොතැනකවත් අපට යහපත් අතට හැරෙන ඕක්වරයෙක් හෝ උරුක්-හායි වරයෙක් හෝ හමු වන්නේ නැත. ඔවුන් හම කළු, විරූපී මුහුණක් තිබෙන, අපිරිසිදු දත් සහිත, සිත් පිත් නැති ඝාතකයන්ය. ඔවුන්ගේ අරමුණ වන්නේ ‘යහපත්’ ජීව විශේෂ විනාශ කිරීම පමණි. එමගින් මුළු ලෝකයම ඔවුන්ගේ ආධිපත්‍යයට යටපත් කිරීමට ඔවුන් උත්සාහ කරයි.

ඔවුන්ට නායකත්වය දෙන්නේ සරෝන් නම් අදෘශ්‍යමාන තවත් සුවිශේෂ ජීව විශේෂයකට අයත් චරිතයකි. එම ජීව විශේෂයට අයත් වෙනත් අය සිටින්නේ ද කියා අප නිශ්චිතව දන්නේ නැත. පොදුවේ ගත්විට මේ කිසිවෙක් මෙසේ සිටින්නේ ඇයිද කියා අප නිශ්චිතව දන්නේ නැත. මේ ලෝකය මවා තිබෙනා සර්වබලධාරී දෙවි කෙනෙක් වැනි මූල හේතුවක් නැත. මේ ලෝකයෙන් එහා ලෝකයක් ගැන කතාවේ සඳහන් වුවත් එය නැවකින් ගමන් කර යා යුතු ලෝකයකි. එය සුදු වැලි තිබෙන ලෝකයක් කියා ද එක තැනක කියවෙයි. මරණයින් පසුව සියලු දෙනාම එයට යන බව ද කියවෙයි. නමුත් සරෝන් සහ ඔහුගේ ප්‍රමුඛ අනුගාමිකයා වන අන්ග්මාර් හී දුෂ්ඨ මන්තර රජු මරණයෙන් පසු පූර්ණ හිස්බවක් (nothingness) වෙත යන බව ද කිය වෙයි. අප දන්නේ මේ ලෝකයේ සියලු දෙනා කුමන හෝ හේතුවක් නිසා ස්වභාවිකව යම් යම් ආකාරයන්ට අනුව මෙසේ පවතින බව පමණි. සමහර අය උපතින්ම අයහපත් වෙයි. සමහරුන් උපතින්ම යහපත් වෙයි. සමහරුන් උපතින්ම වංශවත් ප්‍රභූන් වෙයි. සමහරුන් උපතින්ම යටත් වැසියන් වෙයි.

මේ අනුව මේ ලෝකයේ ප්‍රමුඛ ගැටලුව වන්නේ අයහපත් ජීවීන් සහ ඔවුන්ගේ නායකයන් පරාජය කිරීමයි. ඉන් පසුව අපට ප්‍රශ්න නොමැති ස්වභාවික ලෝකයක් ලැබෙනු ඇත. එම ලෝකයේ මූලික ලක්ෂණ මොනවාද කියා විශේෂයෙන් පැහැදිළි නොවන්නේ වුවත් එය අපට එක් එක් සංස්කෘතියට හිමි වන ජීවන රටාවන් අනුව ජීවත් වන ජීවීන්ගෙන් පිරි ලෝකයක් කියා සිතිය හැක. හොබිට්වරුන් යනු සම්ප්‍රදායික එංගලන්ත ගැමි ජීවිතය බොහෝ සිහිපත් කරන සරල ජීව විශේෂයකි. ඔවුන් උගතුන් හෝ බුද්ධිමතුන් හෝ නොවේ. එය ඔවුන්ට ප්‍රශ්නයක් ද නොවේ. ඒ වෙනුවට ඔවුන් කැමති වන්නේ කා බී විනෝද වී නිවී සැනසිල්ලේ ජීවත් වීමටයි. එල්ෆ්වරුන් යනු පොත්පත් කියවන, ඉහළ තාක්ෂණික නිපුණතාවයක් තිබෙන, මාංශ වෙනුවට එළවලු, පාන් ආහාරයට ගන්නා අයයි. කුරුජීවීන් යනු අධික ලෙස ධනයට ආශා කරන මත්පැන් පානය කරන ඛනිජ නිධි සොයා පොළොව හාරන ජීව විශේෂයකි. අවසානයේ දී මනුෂ්‍යයන් යනු යහපත් වීර රජවරුන් අතින් පාලනය වන ජීව විශේෂයකි. අයහපත් ජීවීන් ඉවත් කිරීමෙන් පසු මේ විවිධ සංස්කෘති වලට සාමාකාමී ලෙස සිය සංස්කෘතික ඉලක්ක හඹා යාමේ නිදහස ලැබෙනු ඇත.

මේ යහපත් ජීව විශේෂයන්ගේ ලෝකය ද අතිශය ධූරාවලිගත එකක් කියා මතක තබා ගත යුතු වේ. එහි ප්‍රභූවරුන්, ප්‍රභූවරියන්, කුමාරවරුන්, වංශවතුන් ආදීන් සිටින්නේ අන් අය ගැන කිසිවක් ගණන් නොගෙනයි. මින් අදහස් වන්නේ මේ ප්‍රභූන් විසින් අන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරනවා යන්න නොවේ. ගැන්ඩෆ් වැනි මන්තරකරුවෙක් හොබිට්වරුන්ට සලකන්නේ සුරතල් සතුන්ට ආදරය කරන ඔටාරා ගුණවර්ධන කෙනෙක් තරම් කරුණාවෙනි. නමුත් ඔහු අවශ්‍ය වූ විට ඔවුන් කතා කළ යුතු තැන්, කතා නොකළ යුතු තැන් ආදිය මොනවාද කියා තීරණය කරයි. ඔවුන්ට ලැබිය යුතු “නිසි තැන” ඔහු හොඳින් දනියි. ඔහු පොදුවේ ලෝකය සහ එහි අවසාන සත්‍යය ගැන නිරන්තරයෙන් අපට දැනුම ලබා දෙයි. ඔහු කියනා දේ නිවැරදි වන්නේ ඇයිද කියා අපට ප්‍රශ්න කළ නොහැක. එවැනි දැනුමක් වෙත සාමාන්‍ය මිනිසුන්ට ළඟා විය නොහැක.

මෙම ධූරාවලිගත වීම ස්වභාවික කරුණක් වන නිසා මේ ලෝකයේ මනුෂ්‍ය රජවරුන්ට ඔවුන් යටතේ පාලනය වන මිනිසුන්ට ඕනෑම දෙයක් කිරීමේ අයිතිය තිබේ. එම අයිතිය හුදු සමාජ සම්මුතිය ඉක්මවා ගිය පාරභෞතික විද්‍යාත්මක අනිවාර්යයතාවයක් කියා ද අපට යම් යම් සිදුවීම් වලින් පැහැදිළි වෙයි. නිදර්ශනයක් ලෙස ගොන්ඩෝර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරා වන ඇරගෝන් හට පමණක් කළ හැකි දේවල් තිබේ. සාපලත් මළවුන් පිරිසකට විමුක්තිය ලබා දීමේ හැකියාව තිබෙන්නේ ඔහුට පමණි. ඔහු සාමාන්‍ය ජනයාට වඩා විශේෂ උත්තරීතර මනුෂ්‍යයෙක් වන්නේ මේ නිසාය. නමුත් ඔහු යහපත් මනුෂ්‍යයෙක් වන නිසා මෙහි ප්‍රශ්නයක් නැත. ඔහු යටතේ සිටින මිනිසුන්ට තිබෙන්නේ ඔහු කියන දෙය කිරීමට පමණි. රෝහාන් රාජ්‍යයේ රජු සිය මිනිසුන්ට ගෙවල් දොරවල් අත්හැර හෙල්ම්ස් ඩීප් නම් කඳවුරකට ගෙන යයි. නැවතත් මිනිසුන්ට තිබෙන්නේ රජු කියන කියන දේ කිරීම පමණි.

රජවරුන්ගේ ධර්මිෂ්ඨ පාලනය යටතේ මිනිසුන්ට උරුම වන්නේ නිශ්චිතව කුමක්ද කියා තේරුම් ගැනීමට අපට හොබිට්වරුන් වාසය කරන ශයර් රාජ්‍යයෙන් ආදර්ශයක් ලැබෙයි. ඔවුන්ට නිල පාලන ක්‍රමයක් තිබෙනවා ද කියා පැහැදිළි නැත. ඔවුන් සිය ඉඩකඩම් වල වගා කරගෙන, එම අස්වැන්න පරිභෝජනයට ගනිමින්, සත්ව ගොවිපොළවල් වලින් මාංශමය ආහාර නිපදවමින්, පබ් එකින් බීර පානය කර සතුටින් ජීවත් වෙයි. ඔවුන් උගතුන් හෝ බුද්ධිමතුන් නොවන නිසා ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය එතරම් ප්‍රමුඛ නොවනවා කියා අපට උපකල්පනය කළ හැක. ඔවුන් දැනුම යන්න පොත පතේ දැනුම වෙත සීමා නොකර තිබෙනවා කියා ද අපට කිව හැක.

මේ අනුව අපට මේ මගින් මෙවැනි නිගමනයකට පැමිණිය හැක. මේ ලෝකයේ මිනිසුන්ට එරෙහිව තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ නෛසර්ගිකවම අයහපත් වන දුෂ්ඨ බලවේග වලින් යහපත් මිනිසුන් විනාශ කරන්න යාමයි. එම බලවේග ඉවත් කළ පසු අපට යහපත් ප්‍රභූන් සහ ඔවුන් කියන දේ කරන ජනතාව ලෙස බෙදී තිබෙන සාමාන්‍ය යහපත් ලෝකය ලැබෙයි. එහිදී ජනතාවට දේශපාලනය, පාලන ක්‍රමය ආදිය ගැන සිතන්න දෙයක් නොමැත. අපට තිබෙන්නේ පාලකයන් කියන දේ කිරීමයි. එම පාලකයන් යහපත් වන නිසා අපට ප්‍රශ්නයක් නැත. එම පාලකයන් සහ ඔවුන්ගේ අතවැසියන් ලෙස සමාජය බෙදී තිබීම අනිවාර්යය සහ සාමාන්‍ය වෙයි.

අර්වෙන් නම් වංශවත් එල්ෆ් කාන්තාව ‘එහා ලෝකයට’ යාමට තවත් පිරිසක් සමග යන විට හදිසියේ සිය තීරණය වෙනස් කර අසු හරවා ආපසු යයි. එතෙක් ඇයගේ සහයට සිටි සේවකයා තුෂ්නිම්භූතව ‘Lady Arwen?’ කියා ඇයට අමතයි. නමුත් ඔහුට පිළිතුරු දීමට අවශ්‍යතාවයක් ලේඩි අර්වෙන් ට නොමැති වේ. එතනින් එහා අර්වෙන් කුමරියගේ තීරණ ප්‍රශ්න කරන්නට ඔහුට හැකි වන්නේ ද නැත. ඉන් පසුව එම කීකරු සේවකයාට කුමක් වූවාද කියා අප දන්නේ නැත. ඔහු සිටින්නේ මේ සියල්ලට එකඟ වෙමින්ද? ඉන් පසුව ඔහුගේ ජීවිතයට සිදු වූයේ කුමක්ද? ඔහුගේ ජීවිතයේ දෘෂ්ඨිකෝණයෙන් මේ කතාව ලියවූවානම් අපට මේ කතාව කෙසේ ලියවෙනු ඇති ද?