Image: Robert Ryman, Untitled, oil on linen (1963-64)

මේ තිබෙන්නේ ‘දයලෙක්තිකය’ එසේත් නැතිනම් ‘අපෝහකය’ (‘dialectic’) යන සංකල්පය සඳහා ඉතාම සරල පැහැදිළි කිරීමකි. මේ වචනය බොහෝ දෙනෙක් අසා තිබෙන්නේ වුවත් මෙහි නිශ්චිත අර්ථය පිළිබඳව එතරම් යහපත් අවබෝධයක් බොහෝ දෙනෙකුට නැත. මේ උත්සාහ කරන්නේ එයට කෙටි පිළියමක් යෙදීමටයි.

ඉතා වැදගත්: මෙම සටහන තබන්නේ අප දයලෙක්තිකවේදීන් (dialecticians) වන නිසා නොවේ. මෙතනදී අපි හේගලියානු දයලෙක්තික සමපේක්ෂණයෙන් සහ, ඒ අනුව, මාක්ස්වාදී දයලෙක්තික භෞතිකවාදයෙන් තීරණාත්මක ලෙස වෙන් වෙමු. ඒ වෙනුවට අප උත්සාහ කරන්නේ මේ උරුමයන් දෙකේ නව සංයෝජනයක් වන ‘සමපේක්ෂී භෞතිකවාදය’ වෙනුවෙන් පෙනී සිටීමටයි.

නමුත් අප දයලෙක්තිකය ප්‍රතික්ෂේප කරන්නේ ඇයිද කියා පැහැදිළි කර ගැනීම සඳහා දයලෙක්තිකය යනු කුමක්ද කියා වටහා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මේ සටහන ලියවෙන්නේ ඒ සඳහා කෙටි මග පෙන්වීමක් ලෙසයි.

දයලෙක්තිකය පිළිබඳව අදහස පදනම් වන්නේ සත්‍යය යනු සමස්තයයි (truth is the whole) යන හේගලියානු තිසීය මතයි. මෙය තේරුම් ගැනීම සඳහා දෘෂ්ඨිවාදය විචාරය කිරීම යන අදහස අපට උපකාර කරගත හැක. ඉතාම සරල අර්ථයෙන් ගත්විට දෘෂ්ඨිවාදය විචාරය කිරීම යන සම්භාව්‍ය අදහසේ මූලික අර්ථය වන්නේ සැඟවී ඇති සැබෑව නිරාවරණය කර ගැනීම යන්නට වඩා මධ්‍යස්ත ලෙස ලෝකය තේරුම් ගැනීම මතයි. සාමාන්‍යයෙන් අප ලෝකය දකින්නේ අපේ පාර්ශවීය දෘෂ්ඨි කෝණයෙනි. එය අපේ පක්ෂපාතීත්වයන්ට, අවශ්‍යතාවයන්ට සාපේක්ෂ වෙයි. නමුත් මේ මගින් අපට මග හැරී යන්නේ සමස්තයයි. එම නිසාම අප අත්දකිනා නිශ්චිත දේ සමස්තය මත රඳා පවත්නේ කෙසේ ද යන්න අපට වැටහෙන්නේ නැත.

නමුත් කෙනෙකුට සමස්තය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් තිබෙන්නේ නම් අප වෙත ඉදිරිපත් වී ඇති දෙය එම සමස්තයේ ප්‍රතිඵලයක් වන්නේ කෙසේද කියා තේරුම් ගත හැක. අප යනු ද සමස්තයේ තවත් එක් කොටසක් වන නිසා එහිදී අපට අපගේ පාර්ශවීය දෘෂ්ඨි කෝණය ද එම සමස්තයේ කොටසක් ලෙස වැටහෙයි. එම නිසා ඒ මගින් අපට යම් යම් දේ අප අත්දකිනා ආකාරය සහ අපේ අත්දැකීම් වලින් ඔබ්බෙහි ඇති සමස්තය මගින් තීරණය වන ආකාරය යන දෙකම එක් වරම අවබෝධ වෙයි. එම නිසා සමස්තය වටහා ගැනීමෙන් අපට අපගේ සාපේක්ෂ දෘෂ්ඨි කෝණය මගින් බහිශ්කරණය කර ඇති දෙය යළි අත්පත් කර ගැනීමට ද හැකි වෙයි. එම අර්ථයෙන් අපට මෙම යළි අත්පත් කරගැනීම සම්පූර්ණ කිරීමට හැකි වන්නේ සමස්තයේ දෘෂ්ඨි කෝණයෙන් ලෝකය තේරුම් ගත හැකි විට පමණි. එහිදී අප ‘මම’ සහ ‘බාහිර ලෝකය’ ලෙස දෙකඩ වී ඇති දෙය තනි සමස්තයක් ලෙස තේරුම් ගනියි.

සංක්ෂිප්ත වශයෙන් දයලෙක්තික චින්තනය යනු මෙයයි. දේවල් ඒක පාර්ශවීය ලෙස තේරුම් ගැනීම වෙනුවට දයලෙක්තිකව තේරුම් ගන්නවා යනු එය සමස්තයේ දෘෂ්ඨිකෝණයෙන් තේරුම් ගැනීමයි. එහිදී දෙය සහ එහි නිශේධය සත්‍ය වශයෙන්ම අනන්‍ය වනවා කියා අප වටහා ගනියි. මෙහි පූර්වකල්පනය වන්නේ සමස්තය යන්න පවත්නා බව සහ එය අපට ‘අවබෝධ’ කරගත හැකි වන බවයි.

ප.ලි. මෙය දයලෙක්තිකය යන වචනය සඳහා ඉතාම සරල පැහැදිළි කිරීමක් පමණක් බව සලකන්න. ජිජැක් වැනි චින්තකයන් කැන්ටෝරියානු සමස්ත-නොවීම (not-All) පිළිබඳව අදහස මත පදනම්ව සිට දයලෙක්තිකය සිතන්න උත්සාහ කරනා බව අපි හොඳින් දනිමු. එය අවසානයේ දී අසාර්ථක වන්නේ ඇයිද කියා පෙන්වීම මෙවැනි සරල සටහනක සීමාව බොහෝ ඉක්මවා යයි.