රූපය: Francesca Woodman, ‘Untitled, New York’, 1979-80

රැඩිකල් නිරාගමිකයෙක් වීමේ දී කෙනෙක්ට ගැනීමට බලකෙරෙන සංකීර්ණ දාර්ශනික තෝරා ගැනීමක් තිබේ. නිරාගමිකයෙක් වෙනවා යනු අවසානයේ දී ලෝකෝත්තරත්වය (transcendence) ප්‍රතික්ෂේප කිරීමයි. ලෝකෝත්තරත්වය යනුවෙන් අදහස් කරන්නේ අපගේ වර්තමාන ලෝකයේ සිට, මෙම ලෝකයේ දැනුම ලබා ගැනීමේ කොන්දේසි වල සිට වටහා ගත නොහැකි අනේකත්වයකි. එම නිසා එය අපට පූර්ණ අනේක්ත්වයක් (wholly Other) ලෙස නම් කළ හැක. දෙවියන් වහන්සේ යනු මෙයට තිබෙනා පහසුම නිදර්ශනයයි. නමුත් ලෝකෝත්තරත්වය යන්නෙන් අදහස් වන්නේ දෙවියන් වැනි පැවැත්මක් පමණක් නොවන බවත් මෙහිදී අවධාරණය කළ යුතුය. මේ ලෝකයේ සිට තේරුම් ගත නොහැකි නිවන වැනි පූර්ණ අවසානයක් යනු ද මෙවැනිම ලෝකොත්තරත්වයකි. මේ දෙකම අපට වර්තමානයේ සිට සිතා බැලිය හැකි නොවේ. එසේත් නැතිනම්, මේ දෙකම අපට දැනුමින් ග්‍රහණය කරගත හැකි නොවේ.

නමුත් අප මෙහිදී උනන්දු වන්නේ මෙවැනි ආගමික කතිකාවන් වල සිටිනා අය සම්බන්ධයෙන් නොවේ. අප උනන්දු වන්නේ මෙවැනි ලෝකෝත්තරත්වයන් ප්‍රතික්ෂේප කරන නිරාගමිකයන් මුහුණ දෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙනි. එම ප්‍රශ්නය වන්නේ මේ ලෝකය නියාමනය කරන උත්තරීතර බාහිරත්වයක් නොමැති වන්නේ නම් – මේ ලෝකය මෙලෙස තිබෙන්නට හේතු වන දෙවි කෙනෙක් හෝ අවිද්‍යාවක් හෝ නොමැති වන්නේ නම් – මේ ලෝකයේ ස්ථාවර වනවා කියා අප ගන්නා කිසිවක් මෙසේ තිබීම අනිවාර්යයය වනවා කියා කිව නොහැකි වීමයි. මේ මගින් අපට ලෞකිකත්වය (immanence) යන්නෙහි සැබෑ ස්වරූපය නිරාවරණය කරයි. මෙම ලෝකයට බාහිර වූ උත්තරීතර ලෝකෝත්තරත්වයක් නොමැති වන්නේ නම් මේ ලෝකයේ ස්වභාවික නියාම ධර්ම වල ස්ථාවරත්වය බාහිර සිට සහතික කරන කිසිවක් පැවතිය නොහැකි වේ. අප කෙතරම් මූලධාර්මික ස්වභාවික නියාම ධර්මයක් හඳුනා ගන්නේ වුවත් එය අපට ගැනීමට හැකි වන්නේ මේ ලෝකයේ තිබෙනා තවත් එක් කරුණක් ලෙස පමණි. එම නිසාම මෙවැනි ස්වභාවික නියාම ධර්ම අපට ගත හැකි වන්නේ මේ ලෝකය තුළින්ම උත්පාද වූ දේ ලෙස පමණි.

එම නිසාම අපට මෙවැනි නිගමනයකට ද පැමිණිය හැකිය. මේ විශ්වය තුළ දැන් තිබෙනා දේ මේ විශ්වයේ අභ්‍යන්තර වෙනස්වීම් ලෙස උත්පාද වූ දේ පමණි. ඒවා එය ඉක්මවූ බාහිර සහ උත්තරීතර සාධකයක් මත යැපෙන්නේ නැත. එම නිසාම මේ ආකාරයට නවීනත්වයේ සිදුවීම් ලෙස නව නීති උත්පාද වීමට හේතු කාරක වන්නේ මේ ලෝකයේ පාරිශුද්ධ ලෞකිකත්වය මිස අන් දෙයක් නොවේ. මේ ලෝකය වියවුල්කාරී ලෙස මේ ලෝකය තුළටම පතිත වන්නේ එය පදනම් වන පරම වූ පොළොවක් නොමැති නිසාය. එහි සීමාවන්ගෙන් ඔබ්බෙහි කිසිවක් පවතින්නේ නැත. එය අකණ්ඩව පැවතීම සහතික කරන දෙවි කෙනෙක් පවතින්නේ නැත. එනිසාම අපට මෙම ලෝකය තේරුම් ගත හැකි වන්නේ එහි නියාම ධර්ම එය විසින්ම බිඳ දැමීමේ හැකියාව ඇති, දෙවි කෙනෙක් නොමැති ලෝකයක් ලෙස පමණි. එම ලෝකයේ අරුත්සුන් බව විසින් එහිම කොන්දේසි විනිවිද යන්නේ දැන් පවත්නා නියාම ධර්ම වෙනුවට නව නියාම ධර්ම ඇති කරමිනි.

මේ ලෝකයේ ඇතිවන නව උත්පාදවීම් වල ප්‍රභවය ලෙස කිසිවක් ස්ථාපනය නොකළ යුතු වන්නේ මෙම නිසාය. මෙම ලෝකයේ පවත්නා දේවල් වල කල්පැවැත්ම බිඳ දමන්නේ මෙම ලෝකයේ පදනම් විරහිත බව විසින් ඇති කරන හිස්බවයි. ස්වභාවික නියාම ධර්ම විසින් සිය නෛතික රාමුවට පිටින් තිබෙනා සිදුවීම් උත්පාද වීමට සෑම විටම අවස්ථාව ලබා දෙනවා කියා පිළිගැනීමට අපට සිදුවන්නේ මෙම නිසාය. එම අර්ථයෙන් ස්වභාවික නියාම ධර්ම ද කල් ඉකුත් වීමට හැකි වනවා කියා අප පිළිගත යුතුය. නමුත් ඒවා කල් ඉකුත් වන්නේ දෙවි කෙනෙක් ඒවා ඉවත් කරන නිසා නොව ඒවා අකණ්ඩව පවත්වා ගැනීමට සමත් දෙවි කෙනෙක් නොමැති නිසාය. එම අර්ථයෙන් ගත්විට සෑම ප්‍රාතිහාර්යයක් යනුම දෙවියන්ගේ නිර්-සාංදෘෂ්ඨිකත්වය සම්බන්ධ පරීක්ෂණාත්මක තහවුරු කිරීමකි. එමගින් තහවුරු කරන්නේ ලෝකෝත්තරත්වයේ ක්‍රියාකාරිත්වය නොව එවැන්නක නොමැත්තයි. ජීවයේ ප්‍රභවය ප්‍රාතිහාර්යයක් ලෙස නම් කිරීම – ‘miracle of life’ – අතිශයින් දෝෂසහගත වන්නේ මෙම නිසාය. එමගින් පෙන්වා දෙන්නේ මේ ලෝකයේ ඇති අසීමාන්තික විකාරරූපිත්වයයි. එමගින් පෙන්වා දෙන්නේ මෙම ලෝකයේ වියවුල්කාරී උත්පාදවීම් බාහිර සිට නියාමනය කරන කිසිදු මූලධර්මයක් නොමැති වනවා යන්නයි. එමගින් පෙන්වා දෙන්නේ මේ ලෝකයේ පැවැත්මවල් ඇති වීමේ නීතියක් නොමැති බවයි.

ඒ වෙනුවට තිබෙන්නේ නීති යන්නෙහිම ඇති වීම පමණි. ජීවයේ ඇති වීම යනු කිසිදු අවසාන හේතුවක් හෝ බාහිරත්වයක් හෝ නොමැති වන මෙම ලෝකයේ ඇති පූර්ණ උමතුබව සඳහා තියුණු සාක්ෂියකි. මෙම ලෝකය තුළ පැවැත්මවල් ඇතිවීම නම් ක්‍රියාවලිය එහි තාවකාලික ස්ථාවරත්වයන් ඉක්මවා යාමේ හැකියාව සෑම විටම විවෘත වෙයි.