“අර්බුද” කළමනාකරණය


  • නිශාන්ත කමලදාස

අභ්‍යන්තර කැරලි තරමට ම වරින් වර පැමිණෙන අර්බුද ද කළමනාකරණය කිරීමට කළමනාකරුවන්ට සිදු වේ. සාමාන්‍ය අපට ද ඇතැම් විට සිදු වේ.

අර්බුද පැන නගින හේතු දෙකකි. එකක් නම් නොසිතූ වෙනස් කම් බාහිර ලෝකයේ සිදු වීම ය. දෙවැන්න වන්නේ අභ්‍යන්තර ව එවැන්නකට මුහුණ දීමට සූදානමක් හෝ ශක්තියක් අප වෙත නොතිබීම ය. මේ සඳහා හොඳ ම උදාහරණය සපයන්නේ අප රට මුහුණ පෑ ආර්ථික අර්බුදය ය. එයට බල පෑ බාහිර හේතුව වූයේ කෝවිඩ් වසංගතය ය. එහෙත් කෝවිඩ් වසංගතයට මුහුණ පෑවේ අප රට පමණක් නොවේ. ඊට අමතර ව, සෙසු රටවලට සාපේක්ෂව කෝවිඩ් අපට අසාමාන්‍ය බලපෑමක් කළේ යැයි ද කිව නොහැකි ය. ඇත්තට ම ඉන් අප බැට කෑවේ සාපේක්ෂව අඩු මට්ටමකට ය. එහෙත් එය කළමනාකරණය කළ නොහැකි අර්බුදයක් අප රට තුළ ඇති කළේ ය. එයට හේතුව කුඩා හෝ වෙනසකට මුහුණ දිය හැකි ශක්තියක් ඒ වන විට ආර්ථික වශයෙන් අපට නොතිබීම ය. දස අතේ ණය වී තිබීම ය. ගෙවා ගන්නට බැරි තරමට ම ණය වී සිටීම ය. බදු කපා දමා ආදායම ද අඩු ම මට්ටමකට හෙළා තිබීම ය. ඒ තත්වය යටතේ ලැබෙමින් පැවති ආදායමේ පුංචි අඩු වීමකට හෝ ඉඩක් තිබුණේ නැත. ඉතින් ආදායම අඩු ව ගිය විට අපේ පස්ස ම බිම ඇනුණේ ය.

එයින් අදහස් කරන්නේ කෝවිඩ් වසංගතය නාවේ නම් මේ අර්බුදය ඇති නොවන බව නොවේ. අර්බුදය අපේ අභ්‍යන්තර දුර්වලකම් නිසා කොහොමටත් සිදු විය හැකි ව තිබුණු එකකි. කෝවිඩ් වසංගතය සිදු කළේ එය ඉක්මන් කිරීම පමණකි.

කැරලි සම්බන්ධයෙන් කල් ඇති ව දැන ගැනීමේ ලා තොරතුරු ඉවහල් වන ආකාරය අප පසුගිය කලාපයේ කතා කළා ඔබට මතක ඇත. අද මේ කියන්නට යන්නේ අර්බුද සම්බන්ධයෙන් ද එය එසේ ම අදාළ බව ය. වෙනසකට ඇත්තේ කැරලි මෙන් අර්බුද සම්බන්ධයෙන් සූදානමක දී අභ්‍යන්තර මෙන් ම බාහිර තොරතුරු ද තීරණාත්මක වන බව ය. ඇන්ටෙනා බාහිර ලෝකයට ද දමා ගෙන සිටිය යුතු බව ය.

අභ්‍යන්තර තොරතුරු සොයන, ඒවා ගැන සංවේදී, බොහෝ කළමනාකරුවන් පවා බාහිර ලෝකයේ තොරතුරු සම්බන්ධයෙන් දක්වන්නෙ ඇල් මැරුණු උනන්දුවකි. එයට එක් හේතුවක් වන්නේ බාහිර ලෝකයේ තොරතුරු දැන ගත්ත ද ඒ සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නැතැයි සිතීම ය. ඔවුන් පරාජයට පත් වන්නේ ඒ නිසා ය. බාහිර ලෝකය වෙනස් කරන්නට බැරි යැයි කීම වැරදි ය. අමාරු යැයි කීම හරි ය. වඩාත් හරි වන්නේ අප බාහිර ලෝකයේ ඇති තතු දැන ඊට අනුරූප ව අභ්‍යන්තරික ව සකස් විය යුතු ය යන්න ය. විශේෂයෙන් ම අප ජීවත් වන්නේ අතිශයින් ගෝලීයකරණයට ලක් වූ ලෝකයක නිසා මෙය වඩාත් හරි ය.

ලෝකයේ වෙනත් කලාපයක සිදු වන යුද්ධ පැතිරෙන වසංගත තරමට ම අපට බල පාන්නේ ය. යුක්රේන් යුද්ධය හා පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් තෙල් මිලට ඍජුව ම බල පා තිබෙන්නේ ය. දේශපාලන පෙරළි ද අපට බල පාන්නේ ය. ඊළඟ වටයේ දී ඇමරිකාවේ ජනාධිපති බවට ට්‍රම්ප් පත් වුවහොත් එය ඇමරිකාවට පමණක් නොව මුලු ලොවට ම විවිධ අයුරින් බලපානු ඇත්තේ ය.

ඇතැම් ඒවා අයහපත් අතට පමණක් නොව යහපත් අතට ද බලපාන්නේ ය. ඇතැම් ඒවා තර්ජන ගෙනෙන විට ඇතැම් ඒවා අපට අවස්ථා ගෙනෙන්නේ ය. තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු වෙමින් පවතින බොහෝ දේ සම්බන්ධයෙන් මෙය සත්‍යය ය. බැටරි තාක්ෂණය වර්ධන වන වේගය අනුව අපට නුදුරේ දී හිරු එළියෙන් ම අපට අවශ්‍ය බල ශක්තිය උපයා ගැනීමට හැකි වීමේ ඉඩ ප්‍රස්ථා ඇති විය හැකි ය. ඒ නිසා ම නුදුරේ දී ලංකා විදුලි මණ්ඩලය වසා දැමීමට වුව හැකියාවක් ඇත්තේ ය.

ඇතැම් විට අප අර්බුදයට ලක් වන්නේ බාහිර තර්ජන විසින් ම නොවේ. ලෝකය අප වෙත ඉදිරිපත් කරන්නේ තර්ජන පමණක් නොවේ. බොහෝ විට අවස්ථා ද ඉදිරිපත් වේ. ඇතැම් තැනක අර්බුදයට හේතු වන්නේ මෙසේ ඉදිරිපත් වන බාහිර අවස්ථා අප විසින් ප්‍රයෝජනයට නොගැනීම ය. තොරතුරු තාක්ෂණය මීට දිය හැකි හොඳ ම උදාහරණයකි. තොරතුරු තාක්ෂණය නිසි ලෙස භාවිතයට ගැනීමට අප බිය නොවන්නේ නම් අපේ ගමන් බිමන් බොහෝමයක් අඩු කර ගැනීමේ හැකියාව ඇත. දැනට මත් අප විසින් එක්තරා දුරකට ඒවා භාවිතා කරමින් සිටිතත් තව බොහෝ දුරක් යෑමේ ශක්‍යතාව ඒ සම්බන්ධ ව අපට තිබේ.

ඇතැම් තැනක අපේ ප්‍රශ්නය වන්නේ එක ම වෙනස තුළ යහපත ද අයහපත ද තිබීම ය. එසේ තිබිය දී එකක් දැක අනෙක නොදැකීම ය. කලින් පැවති ආණ්ඩුව විසින් පාසල් සිසුන්ට ටැබ් ලබා දීමට ගෙනා යෝජනාව තුළ බොහෝ අය දුටුවේ ළමුන් ඒ හරහා අපචාරයට ලක් වීමේ ඉඩ කඩ ය. ඒවා වැළැක්වීමට කොතෙක් මාර්ග තිබුණ ද ඒවා නොදුටු නොඇසූ ලෙසින් ම නරක ම උලුප්පන ලද්දේ ය. අප ඒ දේ කර තිබුණේ නම් කෝවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනය මේ තරම් දරුණු පසුබෑමකට ලක් වන්නේ නැත. ඒ, පොත් පත් මුද්‍රණය අවශ්‍ය නොවීම, ඒ නිසා පරිසරයට සිදු වන හානිය අවම වීම, රජයට දරන්නට වන පිරි වැය අවම වීම, පොත් බෑග් අවශ්‍ය නොවීම, ඒ නිසා විශාල පොත් ප්‍රමාණයක් සහිත බෑග් උසුලා ගෙන යෑමට සිදු වීම හේතුවෙන් දරුවන්ට හා නොදිරන බෑග් එකතු වීමෙන් පරිසරයට සිදු වන හානි පමණක් නොව පවුලේ ආර්ථික බර ද අඩු වීම වැනි තවත් බොහෝ වාසි අතර ය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ අභ්‍යන්තර තොරතුරු තරමට ම රටේ හා ලෝකයේ සිදු වන වෙනස් කම් හා නැඹුරුතා පිළිබඳ ව ද ආයතනයක කළමනාකරුවෙකු, රටේ පුරවැසියෙකු මෙන් ම, අප වැනි සාමාන්‍ය මිනිසුන් ද අවධානයෙන් සිටිය යුතු බව ය. ඒවා සම්බන්ධ තොරතුරු එක් රැස් කළ යුතු බව ය. ඒවා අපගේ අභ්‍යන්තර තොරතුරු සමග ගලපමින් අප සිටින්නේ මේ සිදු වන හෝ සිදු වීමට නියමිත වෙනස් කම් වලට මුහුණ දිය හැකි හා ඒවා අපේ වාසියට භාවිතා කළ හැකි මට්ටමක ද යන්න පිළිබඳ ව නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතු බව ය.

කැරලි පමණක් නොව අර්බුද ද වැළැක්විය හැක්කේ, කළමනාකරණය කළ හැක්කේ, ඒ අවධානය අපට තිබුණොත් පමණ ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අභ්‍යන්තර මෙන් ම බාහිර තොරතුරු පිළිබඳ ව ද සංවේදී වීම ය.

Leave a comment